ප‍්‍රීතිකා රණවීර රාජගිරිය ජනාධිපති බාලිකාවේ සිටි දඟකාර කටකාරම සිසුවියකයැයි හැඳින්වුවහොත් එය නිවැරැදිය. ක‍්‍රීඩා අංශයෙන් කැපී පෙනුණු ඇගේ බොහෝ ක‍්‍රියාකාරකම් කොලූගැටයකුගේ ක‍්‍රියාකාරකම්වලට බෙහෙවින් සමීපය. අයියලා දෙදෙනකු හා මල්ලී කෙනෙකුගෙන් සමන්විත පවුලේ ඇය තුන්වැනියාය. පාසල් අවධියේ සිටම ඇගේ ජීවිතයම ක‍්‍රිකට් යැයි කීවොත් එහිද වරදක් නැත. පන්දු යැවීම, පන්දුවට පහරදීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම දක්‍ෂතා දැක්වූ ඇය තක්සලාවෙන් නික්මෙද්දීම නොමැඞ්ස් ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ වීමට තරම් ඇගේ දක්‍ෂතා කැපී පෙනුණි. ඉන් අනතුරුව කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජයටත් ජාතික සංචිතයටත් ඇතුල්වන ඇය ක‍්‍රිකට් වෙනුවෙන්ම ඇගේ ජීවිතයෙන් සමුගන්නට තරම් අවාසනාවන්ත වූවාය. පසුගිය 07 වැනිදා ඛෙත්තාරාම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අවසන්වුණු ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප‍්‍රතිඵලය ඇයට මරු කැඳවන්නට තරම් සමත් වේය යන්න එම තරගය ඇරඹීමට පෙර ඇගේ යෙහෙළියකට ඇය විසින්ම පැවැසීම එක්තරා ආකාරයකට දෛවෝපගතය. දෙනෙතට නැගෙන්නට අර අදින කඳුල වළකාගෙනම ඇගේ සැමියා වූ මහේෂ් කෝදාගොඩ අප සමඟ ප‍්‍රීතිකා සහ ඇගේ මරණය ගැන බොහෝ දේ හෙළිදරව්කිරීමට ඉදිරිපත් විය. ‘‘තරගය දවසෙ හවස නුගේගොඩ එයාගෙ යාළුවෙක් ප‍්‍රීතිකාට දුරකතන ඇමතුමක් දීලා කිව්වා අද තරගයෙන් අපි පරදිනවා කියලා. එතකොට ප‍්‍රීතිකා කිව්වා තරගය පැරදුනොත් මම හාර්ට් ඇටෑක් හැදිලා මැරෙයි. ඒ කිව්වත් වගේ තරගයේ ප‍්‍රතිඵලය එයාට මරණය ගෙනාවා.’’ ළය පළාගෙන එන ශෝකය තුනීකරගෙන ඔහු එහෙම කිව්වා. ප‍්‍රීතිකා මහේෂ් හමුවීම ගැන ඔහු කීදේ හරිම අපූරුය. ‘‘අපි පවුල් දෙක තුනක් කතරගම විනෝද ගමනක් යද්දී ඒ ගමනට ප‍්‍රීතිකාත් ආවා. දවල් දවසම ඇය ඇඳගෙන හිටපු තරුණයො අඳින ටී.ෂර්ට්, කලිසම්, කැප් තොප්පි නිසා මම හිතුවෙ එයා කොල්ලෙක් කියලා. අපි එදා කතරගම නතරවෙලා පහුවෙනිදා උදේ ඇය දකිද්දි තමයි මං දැනගත්තෙ එයා කෙල්ලෙක් කියලා. මම දවල් දවසෙම එයාට කතා කළේ ‘‘මල්ලී’’ කියලයි. ප‍්‍රීතිකාට හිටපු හුඟක් යාලූවෝ පිරිමි ළමයි. එයා හරිම මිත‍්‍රශීලීයි. කිසි දවසක අනුන්ගෙ ඕපාදුපයක් හොයන්නෙ නැහැ. එයාගෙ සපත්තු, සෙරෙප්පු, ඇඳුම් පැළඳුම් ගොඩක් ඒවා පිරිමි අය පළඳින ඒවා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට එයා ගොඩක් දක්‍ෂයි. පාසලෙන් අස්වෙද්දිම නොමැඞ්ස් ක‍්‍රීඩා සමාජයටත් පස්සෙ කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජයටත් ජාතික සංචිතයටත් එයා ඇතුල් වුණා. එයා ගමේ අයත් එක්කත් පවුලෙ අය එක්කත් ගොඩක් එකතුයි. පුංචි ළමයි තමයි එයාගෙ යාලූවෝ. ‘‘මම ඩොක්යාර්ඞ් එකේ වැඩ කරන නිසා ටිකක් කාර්ය බහුලයි. එයා සෙල්ලම් කරන තරග බලන්න බොහෝ වෙලාවට මට යන්න වෙන්නෙ නැහැ. ඒවාට එයා යන්නෙ අම්මත් එක්ක. රොෂාන් මහානාම, චම්පක රාමනායක යන හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් එයා ගොඩක් අත්දැකීම් ලබාගත්තා. අන්තිමට ක‍්‍රිකට් එයාගෙ ජීවිතයම වුණා. එයා එක තරගයක කඩුළු 7ක් ලබාගෙන වාර්තාවකුත් තිබ්බා’’ ඔහුගේ හඬ බෙහෙවින් ශෝකාකූලය. ඔවුන්ගේ ජීවිතයේ සියලූ සිහින ප‍්‍රීතිකා හොරෙන් රැගෙන ගියාය. එපමණක් නොව ඔවුන්ගේ කැදැල්ලට එක්වන්නට සිටි අලූත් අමුත්තාද ඇගේ මරණයත් සමගම ඇය ගිය ලෝකයටම යාම කොතරම් ශෝකජනකද? අවුරුදු හයක දියණියට අමතරව ඇයට ලැබෙන්නට සිටි දෙවැනි දරුවා ප‍්‍රසූතකිරීමට තිබුණේ තවත් දෙසතියක පමණ කාලයකි. දෛවය කෙතරම් මහේෂ්ගේ කැදැල්ලට අකාරුණික වූවාදැයි යන්න අලූතෙන් කිවයුතු නොවේ. ‘‘එයාට මීට කලිනුත් හෘද සැත්කමක් කරලයි තිබුණේ. හැම මාසෙකම ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. මම එයාගෙ අසනීප වෙනුවෙන් ලක්‍ෂගාණක් යටකළා. එයා රෝගියෙක් කියලා මානසිකව වැටෙන්න මම ඉඩ තිබ්බෙ නැහැ. නිතරම එයාව සතුටින් තියන්න මම හුඟාක් උත්සාහ කළා. දොස්තරවරු කළින් කියල තිබුණ අධික සතුටත්, අධික දුකත් මෙයාට දැනෙන්න සලස්වන්න එපා කියලා’’ ‘‘තරගය දවසෙ මම වැඩ ඇරිලා ඇවිත් ඇඟට මහන්සි නිසා මැච්එක ටිකක් බලල කලින් නිදාගත්තා. එයා මැච් එක බැලූව. පස්සෙ නිදාගන්න ආවත් ආයෙත් රෑ 12.00ට විතර එයා සාලෙට ඇවිත් ඉන්නවා තාත්තා දැකලා තිබුණා. එයා එහෙම ඇවිත් තිබුණේ අමාරුව වැඩි වෙලා. පාන්දර 2.30ට විතර එයාට හුස්ම ගන්න බැහැ. ඉක්මණින් ඉස්පිරිතාලෙ ගෙනියන්න කියල මාව ඇහෙරෙව්වා. අප ඉක්මනට එයාව කාසල් රෝහලට අරන් ගියා. ඉක්මණින් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළා. ඒ ඇතුල් කරද්දිත් එයාගෙ බෙල්ල කඩාගෙන වැටෙනවා මම දැක්කා. නමුත් ඒ රෝහලේ දොස්තරවරු හෙදියෝ ඇතුළු හැමෝම දෙවිවරු වගේ මගේ බිරිඳට ප‍්‍රතිකාර කරන්න මහන්සි ගත්තා. ඒක මම හරිම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ. හෙටත් මම බස් එකක ඉඳගෙන ගියත් එතැනදී නැගිටලා ගෞරව කරනවා’’ මහේෂ් එසේ කීවේ හදවතින්මය. දියණියකට මවක අහිමිවීම, සැමියකුට දයාබර බිරිඳක අහිමි වීම මෙන්ම රටකට ක‍්‍රීඩා සමාජයකට දක්‍ෂ ක‍්‍රීඩිකාවක අහිමි වීම ගැන කෝල්ට්ස් ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරියක වන ඉන්දිකා පෙරේරා මහත්මිය ප‍්‍රීතිකා ගැන කතා කළේ හැඬූ කඳුළෙනි.‘‘අපට ආයෙත් ප‍්‍රීතිකා වගේ ළෙන්ගතු මිතුරියක් දක්‍ෂ ක‍්‍රීඩිකාවක් කවදාවත් හමුවන එකක් නැහැ. මට අන්තිමට ඇය හමුවුණේ එයාගෙ උපන් දිනය දවසේ. එයාගෙ ජීවිතයම ක‍්‍රිකට්. දරුවා ලැබෙන්න තව සති දෙකක් තිබුණත් එයා කතා කළේ දරුවා ලැබිලා ඊළඟ තරගයට ක‍්‍රීඩා කරන්නෙ කොහොමද කියලා. එදා තරගය අවසන් වුණාම මම එයාට ඇමතුමක් දුන්නත් ජංගම දුරකථනය වැඩ කළේ නැහැ. මට විදේශ රටක ඉන්න මිතුරියක් තමයි ප‍්‍රීතිකාගෙ මරණය ගැන කිව්වෙ. තරගයේ ප‍්‍රතිඵලය තමයි එයාගෙ මරණයට බලපෑවේ. එයාට කවදාවත් තරහාකාරයෝ හිටියෙ නැහැ. එයාට බැන්නත් එයා තරහ වෙන්නෙ නැහැ’’ දිවි ගමන් මගේ 35 වැනි කඩඉමකදී දයාබර දියණියක හා සැමියකුගෙන්ද මෙලොව එළිය දකින්නට සිටි කිරිකැටියකුගෙන්ද සමුගන්නට තරම් ප‍්‍රීතිකා අවාසනාවන්ත වූවාය. සුදු කොඩිවැලින් සරසා තිබූ නාවල කොස්වත්තේ ද මැල්වත්ත පාරේදී දුටු සෑම මුහුණකම අප දුටුවේ ශෝකාකූල හැඟීමකි. ඒ දසුන ප‍්‍රීතිකාගේ ළෙන්ගතු බවේ මිනිස්කමේ කැඩපතක් බඳුය.
සටහන දුෂ්‍යන්ත කුමාර / ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය
මහේෂ් හා පී‍්‍රතිකා විවාහය දා... නිවෙස