2011 නොවැම්බර්  13 දා ඉරිදා ලංකාදීප පත‍්‍රයේ පළවූ කතුවැකිය  මගින් අලි මිනිස් ගැටුමේ විනාශයට ස්ථිර විසඳුමක් අවශ්‍යයි.” මාතෘකාව යටතේ ප‍්‍රධාන කාර්තෘතුමා විසින් පළකරන ලද ඉතා කාලෝචිත අදහස් වඩා විස්තරාත්මකව  ප‍්‍රකාශ කරමින් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ගැටලූව විසඳනවා වෙනුවට "පැලැස්තර” දමමින් සිටින බවද වියළි කලාපීය  ගොවි ජනතාව මුහුණ පා සිටින  මෙම මහා වින්නැහිය අවම කිරීම සඳහා ගතයුතු පියවර කවරේද යන්න සංක්‍ෂිප්තව පෙන්වා දෙමින් "නිමක් නැති අලි මිනිස් ගැටුම සහ කි‍්‍රයාත්මක නොවන අලි සංරක්‍ෂණ  ප‍්‍රතිපත්තිය 2006” මාතෘකාව යටතේ මා විසින්  සකසන ලද ලිපිය 2012 ජනවාරි 22 වැනිදා ඉරිදා ලංකාදීපයේ පළවිය. එම ලිපියෙන් මා ප‍්‍රකාශ කළේ 2006 වසරේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ම  බිහිකරන ලද අලි සංරක්‍ෂණ හා කළමනාකරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් නිර්දේශ  කි‍්‍රයාවට නැංවීමට  අමාත්‍ය  මණ්ඩල  අනුමැතිය (අම්‍ය 06/1662/221/004/සස)  ලබාදී තිබියදීත් දෙපාර්තමේන්තුව ඒවා පසෙකලා වසර ගණනාවක් තිස්සේ සාම්ප‍්‍රදායිකව කරගෙන ආ අලි වෙඩි පුපුරවා අලි එලවීම, හානිදායක අලි  අල්ලා වෙනත් ප‍්‍රදේශවල නිදහස් කිරීම, හිතුමතයට විදුලිය වැට ඉදිකිරීම ආදී වැඩ පසුවිපරමකින්ද තොරව කරගෙන යන බවය. එබැවින් මා විසින් දන්වා සිටින ලද්දේ අනුමැතිය ලත් නිර්දේශ කි‍්‍රයාවට නැංවීම සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවීමට ජනාධිපති තුමන්ගේ අවධානය යොමුවීම ඉතා අත්‍යවශ්‍ය බවයි. එම ලිපි පළවී මාස ගණනාවක් ගතවී ඇතත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කිසිම වෙනසක් නොමැතිව "ඉබි” ගමනේම යෙදෙන බව පෙනේ.  මාගේ එම ලිපිය ජනාධිපති තුමන්ගේ අවධානයට ලක්වී ඇති සැටියක්ද නොපෙනේ. කෙසේ වෙතත් වියළි කලාපයේ උග‍්‍ර වෙමින් පවතින අලි- මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන අකල් මිනිස් මරණ සහ අකල් අලි -මරණ දිනපතා පුවත්පත් සහ විද්‍යුත් ජනමාධ්‍ය  රටට හෙළිදරව් කරමින් සිටී. මෙම වින්නැහිය අවම කරලීමට අමාත්‍ය මණ්ඩල  අනුමැතිය ඇතිව පත්කරන ලද විද්වත් මණ්ඩලයක් විසින් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන්  නිරේදේශ  (අලි) සංරක්‍ෂණ සහ කළමනාකරණ  ප‍්‍රතිපත්තිය (2006) 2012 ජනවාරි 22 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ මාගේ ලිපිය මගින් පෙන්වා දුන් නමුත් ඒවා "බීරි අලින්ට” වීණා වාදනය කිරීමක් වීම ගැන මම බෙහෙවින් කනගාටු  වෙමි. උක්ත ගැටුම හේතුවෙන් වියළි කලාපීය  ගොවිජනතාව මුහුණදී සිටින අවාසනාවන්ත තත්ත්වය වසර 30ට අධික කාලයක් එම ප‍්‍රදේශවල සේවය කොට ඇති මා ඉතා හොඳින් දන්නා බැවින් හඬක් නොමැති ඔවුන් වෙනුවෙන් හඬක් නගා වගකිව යුත්තන්ගේ අවධානය යොමුකරවා අසරණයන්ට පිළිසරණක් වීම මෙම ලිපිවල ප‍්‍රධාන අරමුණ  බව සඳහන් කරන අතර එම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් මා සේවය කොට තිබෙන බැවින් වර්තමානයේ දෙපාර්තමේන්තුව කරමින් සිටින අමානෝඥ කි‍්‍රයාකාරකම් රැසක් පෙන්වා දීම ඊළඟ අරමුණයි. ඒවා  සාරාංශගත කොට පහත දක්වමි.   1. අලි සංරක්‍ෂණ සහ කළමනාකරණ ප‍්‍රතිපත්ති  2006 සමස්තයක් හැටියට  කි‍්‍රයාත්මක නොවීම. වන අලි සංරක්‍ෂණය සහ කළමනාකරණය කිරීම පිළිබඳ හසල දැනුමක් ඇති  විද්වතුත් රාශියක කමිටුවක් විසින් සම්පාදනය කරන ලද මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි අලි-මිනිස් ගැටුම අවම කිරීම අරමුණ කරගත් කාර්යයන් 38 ක් අන්තර්ගත වේ. 2009 වසරේ මා රාජ්‍ය සේවයෙන් (වනජීවී සංරක්‍ෂණ දෙපාර්ත මේන්තුවෙන්) විශ‍්‍රාම ගැනීමට පෙර ආරම්භ කළ එම වැඩපිළිවෙළ මා විශ‍්‍රාම යාමත් සමග නතර කොට ඇති අතර විකල්ප  වැඩපිළිවෙළක්ද ආරම්භ කොට නොමැති බව දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මා සමග පවසා තිබේ.   2. විදුලිය වැට පද්ධතිය  අකි‍්‍රය වීම. අලි-මිනිස් ගැටුම අවම කිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්ත මේන්තුව 2011 වසර අවසානය වන විට ඉදිකොට තිබූ කී.මී. 1500 පමණවූ විදුලිය වැට පද්ධතියෙන් 80%ක්ම මේ වනවිට කැඞී බිඳී ගොස්ය. මීට හේතුව වැට ඉදිකිරීමෙන් පසුව කළ යුතු නඩත්තු  වැඩ අමතක කොට තිබීමයි. විදුලිය වැට නඩත්තු සඳහා දෙපාර්තමේන්තුවට මූල්‍ය ප‍්‍රතිපාදන නොමැති බවද එම කටයුත්ත හානියට ලක්  ගම්වැසියන්  කළයුතු බැව් කියමින්  වගකීමෙන් නිදහස්ව  සිටී. එහෙත් අලි මිනිස් ගැටුම අවම කිරීමේ විවිධ කාර්යයන් ඉටුකිරීමට  මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් වැයකරගත නොහැකිව ආපසු  භාණ්ඩාගාරයටම යවා තිබේ. 2009 වසරේ මා විශ‍්‍රාම යාමට  පෙර හිටපු වනජීවී අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ උපදෙස් පරිදි සකසන ලද -අලි මිනිස් ගැටුමෙන් තොර ශ්‍රී ලංකාවක්” නම් වූ ව්‍යාපෘතිය 2009 සිට 2011 දක්වා වසර 3 කාලය තුළ කි‍්‍රයාවට නංවා අවසන් කිරීම සඳහා ජනාධිපති තුමන් විසින් මුදල් අමාත්‍යවරයා හැටියට අය-වැය හරහා රුපියල් මිලියන 900ක් දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී. 2009 වසර  සඳහා අනුමතවූ එම ව්‍යාපෘතියේ (පිටපතක් අමුණා ඇත.) ඇස්තමේන්තු ගත ප‍්‍රාග්ධන  වියදම  රුපියල් මිලියන 243.8 කි. (ඇමුණුම I )   පුනරාවර්තන වියදම රුපියල්  මිලියන 56.2 ක් වූ අතර ඒ යටතේ අලි-මිනිස් ගැටුම  අවම කිරීමේ විදුලි වැට නඩත්තු කම්කරු වැටුප් ගෙවීම සඳහා  ලබාදුන්  මුදල් ප‍්‍රතිපාදනය රපියල් මිලියන 3. 2කි. අභාග්‍යයේ මහත කොතරම්ද කිවහොත් වසර 3 තුළ ලැබුණු රුපියල් මිලියන 900 න් වියදම් කරගත නොහැකිව රුපියල් මිලියන 216 ක්ම ආපසු භාණ්ඩාගාරයටම යැවිණි. වියදම් කරන ලද රුපියල් මිලියන 684 න් මිලියන 20 වැය කරන ලද්දේ අලි මිනිස් ගැටුම අවම කිරීමට නොව වනජීවි සංරක්‍ෂණ  දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල නව ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදිකළ කොන්ත‍්‍රාත්කරුවන්ගේ හිඟ මුදල් ගෙවීමටය. වර්ෂ අවසානය ළංවනවිට ලබාදී  ඇති මුදල් ප‍්‍රතිපාදන  ඉතිරි වන  බව පෙනී ගිය විට කළේ ව්‍යාපෘතියේ ඉලක්කගත  වැඩ කි‍්‍රයාවට නංවනවා වෙනුවට අලි-මිනිස් ගැටුමට අදාළ නොවූ කාර්යයන් සඳහා මුදල් යොදවා ආපසු භාණ්ඩාගාරයට යැවෙන  මුදල අඩුවෙන් පෙන්වීමයි.   3. ඉවක් බවක් නැතිව විදුලිය වැට ඉදිකිරීම අලිමිනිස් ගැටුම පවතින ප‍්‍රදේශවල සේවය කරන පහළ ශ්‍රේණිවල  වනජීවී සේවකයන් හෝ ගම්වැසියන් විදුලිය  වැටක් ඉදිකර දෙන්නැයි  ඉල්ලූම් කරන විට "කෝකටත් තෛලය” මෙන් ඉවක් බවක් නැතිව විදුලිය වැට ඉදිකරනු ලබන්නේ ඉන් ලැබෙන ප‍්‍රතිඵල ගැන පූර්ව අධ්‍යනයකින් තොරවය. නැතහොත්  ශාක්‍යතාව ගැන තැකීමක් නොමැතිවය. මේ හේතුවෙන් විදුලිය වැට ඉදිකිරීමෙන් අනතුරුවද අලි හානියේ අඩුවීමක් නොමැති අවස්ථා තිබේ. වන අලින්ගේ පාරම්පරික සංක‍්‍රමණික මාර්ග පිළිබඳ හැදෑරීමකින් තොරව විදුලිය වැට ඉදිකිරීම නිසා එම මාර්ගවල සංක‍්‍රමණය වූ අලි නව ප‍්‍රදේශවලට යොමුවී අර්බුදය උග‍්‍ර වී  තිබේ. උදාහරණයක් වශයෙන් 2011  වසරේදී ඉඟිනිමිටිය වන අලි රංචුවල සංක‍්‍රමණික මාර්ගය හරහා විදුලිය වැටක් ඉදිකිරීම හේතුවෙන් එම අලි එදා සිට පරිහරණය කළ නිකවැරටිය  හා කොටවෙහෙර වාසභූමි ප‍්‍රදේශ කරා යාමට නොහැකිව ගල්ගමුව ප‍්‍රදේශයට යොමුවීමෙන් එම ප‍්‍රදේශයේ අලි හානි වැඩිවී ඇත. 2010 වසරේ ගල්ගමුව ප‍්‍රදේශයේ වන  අලි පහරදීමෙන් සිදුවූයේ  එක් (1) මිනිස් මරණයක් වුවද ඉහත පරිදි විදුලිය වැට ඉදිකිරීමෙන් පසුව 2011 වසරේදී මිනිස් මරණ (4)  හතරක් සිදුවී තිබේ. මේ එක් උදාහරණයක් පමණි.  අනෙකුත් ප‍්‍රදේශවලද මෙවැනි අදූරදර්ශී කි‍්‍රයා රැසක් සිදුවෙමින් පවතින බව දෙපාර්තමේන්තුවේම නිලධාරීහු පවසති.   4. වන අලි සංගණන දත්ත ප‍්‍රයෝජනයට නොගැනීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන ගණනාවක් වැය කරමින් පසුගිය වකවානුවේ වනඅලි  සංගණන  කීපයක් පවත්වමින් ලංකාවේ වන අලි ගණනය ඇස්තමේන්තු කරන ලදී. එම දත්ත  වලින් මේ දක්වාම අලියාටවත් මිනිසාටවත් යහපතක් සිදුවී නොමැත.  නැගෙනහිර අපි‍්‍රකාව, දකුණු අපි‍්‍රකාව, ඉන්දියාව වැනි රටවල් එවැනි සංගණන සිදුකොට ගහණයේ අඩු වැඩි වීම් හදාරා ගහණ කළමනාකරණය කිරීමේ වැඩ පිළිවෙළකට  යන නමුත්  අප රටේ එසේ සිදුනොවේ. අලි සංසරක්‍ෂණ කළමනාකරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මගින් සිදු කළ යුතු කළමනාකරණ පියවර නිර්දේශ කොට ඇතත් ඒවා සියල්ල අමතක කොට තිබේ. මෙහිදී වැදගත් ප‍්‍රශ්නය වන්නේ එම සංගණන කළේ කිනම් අරමුණක් සඳහාද යන්නය. මේ දක්වාම එම දත්ත අල්මාරි සහ පරිගණක තුළ සැඟව පවතී.   5. ලූණුගම්වෙහෙර හානිදායක අලි රැඳවුම් බිම (Temparary Holding Ground) අකි‍්‍රය වීම විවිධ පළාත්වල  නිරන්තරයෙන් මහජනතාවට හානි කරන අලින් පුනරුත්ථාපනය වීම සඳහා මායිම දිගේ විදුලිය වැට ඉදිකොට විශාල ප‍්‍රදේශයක ඔවුන් තාවකාලිකව රඳවා තැබීමේ කි‍්‍රයාවලිය (ප‍්‍රතිපත්ති  ප‍්‍රකාශනයේ නිර්දේශ කොට ඇති පරිදි) 2007 වසරේ අපි ආරම්භ කළෙමු. ඒ අනුව ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට උතුරු දෙසින් ඊට යාබදව අක්කර 1500 ක්  පමණ වූ ප‍්‍රදේශයක් තෝරා ගෙන  හානිදායක වනඅලි රැඳවුම් බිමක්  ස්ථාපිත කළෙමු. ඉක්බිතිව වනජීවි පශු වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කරන ලද හානිදායක වන අලි ගණනාවක් එකී රැුඳවුම් බිමෙහි නිදහස් කරන ලද්දේ අති  විශාල වියදමක් දරමිනි. මේ වනවිට එම අලින් "කාටත් හොරෙන් ”රැඳවුම් බිමේ අකි‍්‍රයව  පවතින විදුලිය  වැට බිඳගෙන පලාගොස් තිබේ. ඉදිකළ රැඳවුම් බිමේ විදුලිය වැට නඩත්තු පැහැර හරිමින් අලින්ට  "පැනයාමට” ඉඩදී තවත් රැඳවුම්  බිම් 3ක්  ඉදිකිරීමට සැලසුම් කරනුයේ කිනම් අරමුණක්  සඳහාද.   6. අලිසංරක්‍ෂණ භාරය - 2008 කි‍්‍රයාත්මක නොවීම ශ්‍රී ලංකාවේ මිලියන 20 කට අධික ජනතාවක් අතරේ අලින්ගේ පැවැත්මට ඇති ඉඩකඩ ශීඝ‍්‍රයෙන් අහිමි වෙමින් පවතී.  අලි-මිනිස්  ගැටුම් අර්බුදය  සමථයකට පත්කිරීම සඳහා රජය අති විශාල මුදලක් දිගින් දිගටම වැය කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබාගත හැකි අරමුදල් සීමාව ඉක්මවයි. එබැවින් ශ්‍රී ලංකාව තුළ හා විදේශයන්හි සිටින වනඅලි සංරක්‍ෂණය සම්බන්ධයෙන් උනන්දුවන්නන් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ලබාගන්නා  ප‍්‍රදාන යොදාගනිමින්  කි‍්‍රයාත්මක කිරීම සඳහා හිටපු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා විසින් ලබාගන්නා ලද අමාත්‍ය මණ්ඩල අනුමැතියක් පරිදි (අමප/07/1249/359/023) 2008 වසරේ -අලි සංරක්‍ෂණ භාරය  ස්ථාපිත කළෙමු. ඒ සඳහා පණත් කෙටුම්පතද නීති කෙටුම්පත් සම්පාදක විසින් සකසන ලද අතර අමාත්‍යතුමන් විසින් පත්කරන ලද භාරකරුවන් 7 දෙනාගේ මුල්ම රැුස්වීමද පවත්වන ලදී. මා 2008 වර්ෂයේ විශ‍්‍රාම ගත් අතර ඉන් ඔබ්බට  සිදුවූ දෙයක් නොමැත. එම "භාරය” කි‍්‍රයාත්මක වූයේ නම් විදුලිය වැඩ නඩත්තුව සහ වෙනත් වැඩ මූල්‍ය අර්බුදයකින් තොරව කරගෙන යා හැකිව තිබුණි.   7. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අධීක්‍ෂණ හා නිරීක්‍ෂණ සඳහා ක්‍ෂේත‍්‍රයට නොයාම වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පවතින සියලූම කාර්යයන් ක්‍ෂේත‍්‍ර ගත රාජකාරීන්ය. විශේෂයෙන් අලි සංරක්‍ෂණ සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමට අදාළ රාජකාරිය වර්තමානයේ සිදුවන පරිදි කොළඹ කාර්යාලයේ වායු සමීකරණ කාමරවල සිට හරියාකාරව මෙහෙයවීම කළ නොහැකිය. පහළ ශ්‍රේණිවල නිලධාරීන් සහ සේවකයන්  ඉටුකරනු ලබන රාජකාරීන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අධීක්‍ෂණය  නොකිරීම නිසා සහ ක්‍ෂේත‍්‍රයේ සැබෑ  තත්ත්වය අධ්‍යනය නොකොට  අසාර්ථක විදුලිය වැඩ ඉදිකිරීම හේතුවෙන්  රජය වැයකරනු ලබන මහජන මුදල් සම්භාරයට සරිලන පරිදි ප‍්‍රතිඵල නොලැබෙන බව පැහැදිලිවම පෙනේ. දෙපාර්තමේන්තුව වර්තමානයේ යන්නන් වාලේ යන ගමනක යෙදෙන බව පෙනේ.   8.ජනමාධ්‍යවලට සවන් නොදීම අලි - මිනිස් ගැටුම හේතුවෙන් දිනපතා සිදුවන අකල් මිනිස් මරණ සහ අකල් අලි මරණ, දේපළ හානි, වනා හානි  ඇතුළුව විදුලි වැට පද්ධතියේ බිඳවැටීම් විවිධාකාර අඩුපාඩු ජනමාධ්‍ය මගින් පෙන්වා දුන්නත් ඒවාට දෙපාර්තමේන්තුව සවන් නොදෙන තත්ත්වයක් වාර්තමානයේ විද්‍යමාන වෙයි. මීට ඉහත වර්ෂවලදී ජනමාධ්‍ය මගින් හෙළිදරව් කරනු ලැබූ එවැනි දෑ  පිළිබඳ අමාත්‍යාංශය විසින් වනජීවි අධ්‍යක්‍ෂවරයාගේ නිරීක්‍ෂණ ගෙන්වා ගැනීමේ පිළිවෙතක් අනුගමනය  කරනු ලැබුවද වර්තමානයේ දී ඒවා "බීරි අලින්ට” කියන දේවල් බවට පත්ව තිබේ. ඒවා පිළිබඳ සොයා බලන්නට කෙනෙකු නොමැත. ඉහත සඳහන් කළ කරුණුවලින් බොහෝමයක් මාගේ පසුගිය ලිපිය මගින් පෙන්වා දුන්නෙමි. එහෙත් ඒවා වගකිව යුත්තන්ගේ අවධානයට යොමු නොවීම වියළි කලාපීය ගොවි ජනතාවගේ  අභාග්‍යයකි. එවැනි හානියට ලක්ව සිටින ගොවි ජනතාවගේ නාමයෙන් පහළ මට්ටමේ නිලධාරීන් මෙහෙයවීමට ජනාධිපතිතුමන්ගේ අවධානයට යොමු වේවායි මම නැවතත් ප‍්‍රාර්ථනය කරමි.
වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එඞ්මන්ඞ්  විල්සන්