IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


අර්බුද විසඳීමට සම්මුති අවශ්‍යතාව

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සහ පසු අවස්ථාවක අධිකරණ ඇමැතිවරයා විසින් යම් යම් විනිසුරුවරුන් සහ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද විවේචන පිළිබඳව මේ දිනවල දැඩි කතා බහක් පවතී.

මෙකී තත්වය සීමාව ඉක්මවා ගොස් අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර මෙන්ම විධායකය අතර ද ගැටුමක් දක්වා වර්ධනය වීමේ අවාසනාවන්ත තත්වය හේතු කොටගෙන යම් මධ්‍යස්ථ සමාජ බලවේග අතර බියක් මතුව පවතී. එබැවින් මෙකී කරුණු පිළිබඳව මෙන්ම එම තත්ව වළක්වා ගැනීම ගැනත් තුලනාත්මක විග්‍රහයක යෙදීම මේ මොහොතේ අවශ්‍යතාවක්ව පවති.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිරික්සීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදී ඇති බලයකි. මෙය එක්තරා ආකාරයට පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලයත්, අධිකරණයට ඒවා විමර්ශනය කිරීමට ඇති බලයත් තුලනය කරන වගන්තියක් ලෙස ද සැලකිය හැකිය. වෙනත් ලෙසකින් කිවහොත් පාර්ලිමේන්තුවට අනන්‍ය නීති සම්පාදන බලය රැක ගනිමින් එකී නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නොගැටී මෙන්ම ජනතා අයිතිවාසිකම් සමග ද ගැටීමකින් තොරව සම්මත විය යුත්තේ කෙසේද යන්න නිගමනය කරන ප්‍රතිපාදනයකි. තවත් ලෙසකින් කිවහොත් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධිනත්වයද එක ලෙසින්ම පිළිගන්නා නෛතික ප්‍රතිපාදනයකි.

එසේ වන්නේ 1972 ට පෙර මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ පැවති සහ ඉන්දියාව, ඇමෙරිකාව වැනි තවත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල තවමත් පවත්නා පාර්ලිමේන්තු පනත් ප්‍රශ්න කිරීමට අධිකරණයට ඇති බලය හා සසඳා බැලීමෙනි. පාර්ලිමේන්තු පනත් සම්මත වී කලකට පසුවද ඒවායේ වලංගුභාවය ප්‍රශ්න කොට අදාළ පනත එහි යම් ප්‍රතිපාදන අහෝසි කිරීමට අධිකරණයට ඇති මෙකී බලය බොහෝ විවේචනයට ලක් වූවකි. මන්ද එය පාර්ලිමේන්තු කටයුතුවලට අධිකරණය අනවශ්‍ය ලෙස සිදු කරන මැදිහත්වීමක් බවට වන විවේචන නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත 121 වගන්තිය මෙකී තත්වයේ තුලනයක් ඇති කරයි. එනම් පනත සම්මත වීමට පෙර අධිකරණය විසින් එහි අඩුපාඩුවක් පෙන්වා දී එය ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව සම්මත විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මග පෙන්වීමක් ලබා දෙයි.

එහෙයින් අධිකරණය විසින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහිලා නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තවට ඇති අයිතියට ගරු කිරීමත්, පාර්ලිමේන්තුව විසින් අධිකරණයට සිය අනපනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජනතා අයිතීන්ට ගැළපෙන ලෙස පිරිපහදු කිරීමට ඇති අයිතිය පිළිගැනීමත් මෙකී රිතියේ අත්‍යවශ්‍ය කොන්දේසියකි.

ඉහත සිදුවීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නය ප්‍රශ්න කරනු ලබයි. එසේම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) (2) මගින් කියවෙන නීතිය ඉදිරියේ සමාන රැකවරණය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් ආරක්ෂා කෙරෙන බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදෙන මෙන්ම සාදාචාරය සමඟත් ගැටෙන බව ප්‍රකාශ කරයි. එසේ හෙයින් ජනමත විචාරණයකින් තොරව එය සම්මත කළ නොහැකි බවට හඟවයි. වෙනත් ලෙසකින් බැලුවහොත් එය මුළු පනතම අධිකරණය විසින් ව්‍යංගයෙන් ප්‍රතික්ෂේප කිරීම හා සමාන තත්වයකි. මෙහිදී අධිකරණයේ මෙකී නඩුවේ හරය පිළිබඳව මෙන්ම හේතු දැක්වීම පිළිබඳවද මෙකී ලියුම්කරු සතුවද ශාස්ත්‍රාලීය විවේචන බොහොමයක් පවතී. කෙසේ වුවද එකී කරුණු මෙම ලිපියේ මුඛ්‍ය අරමුණු බවට පත් නොවේ.

ඊළඟ අදියර වශයෙන් අප දකින්නේ මෙම අධිකරණ නිගමනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ විවේචනාත්මක ප්‍රකාශයයි. එමගින් අධිකරණ තීරණය නොපිළිගන්නා ජනාධිපතිවරයා පනතින් අපේක්ෂිත අරමුණුවලට වෙනස් අර්ථකථන අධිකරණය මගින් ලබා දී ඇතැයි ද හඟවයි. තවත් ඔබ්බට ගොස් මේ අධිකරණ තීරණය පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කිරීමට ද යෝජනා කරයි. මේ තත්වය පිළිබඳව කෙරෙන විග්‍රහයකදී පෙනී යන්නේ ව්‍යවස්ථානුකූලව අධිකරණය තම නිගමනය ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට දැනුම් දිය යුතු බවය. මෙහිදී අධිකරණ තීරණය පිළිබඳව මූලික විරෝධය හෝ එකඟතාව පළමුව පැමිණිය යුත්තේ පාර්ලිමේන්තුව මගිනි. මෙහිදී ජනාධිපතිවරයා නැතහොත් විධායකය පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුව කළ යුතු දේ පිළිබඳව හැඟවීමක් සිදු කර ඇත.

මෙහිදී අදාළ නඩු තීන්දව පිළිබඳව විමසා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා කරන යෝජනාව විවාද සම්පන්න කරුණකි. සාමාන්‍ය නීති තත්වය වනුයේ අධිකරණය විසින් යෝජනා කරනු ලබන සංශෝධනවලට අනුකූලව පාර්ලිමේන්තුව කටයුතු කරමින් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව ක්‍රියා කිරීමය. එනම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවට හෝ ජනමත විචාරණයකට යායුතු බවට අධිකරණය යෝජනා කොට ඇති විටක (පනතේ සමහර වගන්ති සම්බන්ධයෙන්) ඒවා ඉවත් කොට හෝ අධිකරණය විසින් යෝජනා කර ඇති ආකාරයට කාරක සභා අවස්ථාවලදී සංශෝධනයට ලක් කොට සාමන්‍ය පනතක් ආකාරයෙන් බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමය. එසේ වුවද ප්‍රස්තූත කාන්තාවන් බල ගැන්වීමේ නැතහොත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ අදාළ අධිකරණ තීරණයේදී අධිකරණය සමස්තයක් වශයෙන් පනත පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකේ බහුතරයකින් සහ ඊට අමතරව ජනමත විචාරණයකින් අනුමැතිය ලැබිය යුතු බවට දක්වයි. එසේ නොමැතිව සංශෝධනයට ලක්කොට නිවැරදි කොටගත හැකි වගන්ති පිළිබඳව වෙනම සඳහන් කර ගැනීමක් නොමැත. ඒ අනුව රජය පැත්තෙන් සිතනු ඇත්තේ මේ පනත් කෙටුම්පත මගින් හඳුන්වා දීමට රජය අපේක්ෂා කළ රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය ක්‍රියා කොට ඇති බව විය හැකිය.

එසේ වුවද මේ තත්වයට පිළිතුරක් ලෙස මෙම අධිකරණ තීරණය ගැන විමසා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට කෙරෙන යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව පිළිගත හැකි තත්වයක් නොවේ. මීට කලින් අවස්ථාවල ඉහළ අධිකරණය විසින් පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් ලබා දෙනු ලැබ ඇති නියෝග ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තුව යම් යම් අවස්ථාවලදී ක්‍රියා කොට ඇතත් ඒවා මේ අවස්ථාවේදී පූර්වාදර්ශ ලෙස ගැනීම උචිත නොවේ. මක්නිසාද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තියට අනුකූලව පනත් කෙටුම්පත්වල වලංගුභාවය ප්‍රශ්න කිරීමට අධිකරණයට ඇති අනන්‍ය බලය භාවිත කිරීමක් වන හෙයිනි. එම තීරණය රජය මගින් නොපිළිගැනීම මත එය විමර්ශනය සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් කටයුතු කිරීමට රජය ක්‍රියා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කිරීමට ඉඩ පාදන්නක් විය හැකි බැවිනි.

විශේෂයෙන්ම එවැනි පාර්ලිමේන්තු උත්සාහයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසරයක් හිමි නොවේ. අනෙක් අතට එය අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අනවශ්‍ය අභියෝගයට ලක් කිරීමක් වන බැවිනි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පදනම් මුලධර්මයක් වන බලතල බෙදීමේ න්‍යායටද, අධිකරණයේ ස්වාධිනත්වයට ද දැඩි බලපෑමක් වන බැවිනි. මෙය එසේ ක්‍රියාත්මක වුවහොත් හා එය පූර්වාදර්ශයක් බවට පත් වුවහොත් අනාගතයේදී නැවත එවැනි තත්වයක් උද්ගතවීම අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය වීමක් වන හෙයිනි.

එසේම මෙහි අනිත් පැත්තද විමර්ශනයට භාජන විය යුතුය. එනම් රජය පැත්තෙන් රජයේ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු පනත් මගින් ගන්නා යම් යම් උත්සාහ අධිකරණයෙන් ප්‍රතික්ෂේප වීම රජයන් විසින් පිළිගත යුත්තේ කුමන ආකාරයෙන්ද යන්නයි. මෑත ඉතිහාසය දෙස බලන විට රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යම් යම් පාර්ලිමේන්තු පනත් මගින් ක්‍රියා කොට ඇති අවස්ථාවලදී ඒවා විවිධ සමාජ හා මහජන විරෝධයන්ට ලක් වුවද අධිකරණය යම් සංශෝධනවලින් ඒවා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව ලබා දී ඇති බව පෙනේ. උදාහරණ ලෙස බදු සංශෝධන පනත, මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මෙන්ම විදුලිබල මණ්ඩල සංශෝධන පනත ද එවැනි උදාහරණ අවස්ථාය. ඒ අවස්ථාවලදී රජයේ ප්‍රතිපත්ති වඩාත් ව්‍යවස්ථානුකූල කොට සම්මත කර ගැනීමට අධිකරණය සහාය දී ඇති බව පෙනේ.

මෙහිදී යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත පුළුල් දෘෂ්ටියකින් විමසා බලන විට නූතන සමාජීය හා මානසික අවශ්‍යතාවද මානව හිමිකම් ක්ෂේත්‍රය ද වැදහත් ප්‍රවණතාවක් නෛතිකකරණයට දැරූ යම් උත්සහායකි. එය විවිධ මිනිස් අයිතිවාසිකම් පදනම් කොට ගෙන මිස ආගමික හෝ සදාචාරමය දෘෂ්ටිකෝණයකින් බලා විමර්ශනය කළ යුතු නීති තත්වයක් නොවේ. මෙවැනි තත්වයකදී වුවද රජයේ පාර්ශ්වයෙන් වඩාත් ආවේගකාරී නොවී මධ්‍යස්ථව ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම වඩාත් උචිතය. විශේෂයෙන්ම අධිකරණයේ විවේචනයට ලක්ව ඇති කරුණු අතර කාන්තාවන් බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ නීති තත්වය සාකච්ඡා කිරීම සමාන ලිංගිකයන් අතර විවාහ සඳහා ඇති ඉඩ ප්‍රස්ථාව වැනි කරුණු වඩාත් පැහැදිලි අර්ථයෙන් පැහැදිලි කොට දී එකී අඩුපාඩුකම් ඉවත් කොට සුපරික්ෂාකාරී සහ කාලය ලබාගෙන සකස් කරන නව පනත් කෙටුම්පතක් මගින් තම ප්‍රතිපත්තිමය අවශ්‍යතා සඳහා පිවිසීමට ඇති අවස්ථාවක් රජය සතුව පවතී. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ සහයෝගයේ මැදිහත්වීම හරහා වඩාත් ව්‍යස්ථානුකූල සහ ජනතාවාදී නීති සම්මත කර ගැනීමෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය මගින් ලබා දී ඇති ඉඩ හසර අවභාවිතයට ලක්වී අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අන්‍යවශ්‍ය වූත්, සිදු නොවිය යුතු වූත් අර්බුදයක් නිර්මාණය වීම පමණි.

(***)



අදහස් (0)

අර්බුද විසඳීමට සම්මුති අවශ්‍යතාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තරගයේ වීරයා කවුද?
2024 ජුලි මස 17 1135 3

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, 2024 වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. අවුරුදු පහක ධුර කාලයට ඡන්ද


ජනතා ප්‍රාර්ථනා අවබෝධයේ යහ දැක්ම
2024 ජුලි මස 17 778 0

රට ඉතා අසීරු තත්වයකට පත්ව සිටියදී හා මහජනතාව විවිධාකාරයේ දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අවස්ථාවක වැඩවර්ජන පැවැත්වීමෙන් රට තුළ ඇතිවන භයානක ප්‍රතිඵල පිළ


විපක්ෂයේ ආණ්‍ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු
2024 ජුලි මස 17 350 0

පාර්ලි​මේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එකම යෝජනාවකට එකඟත්වය පළ කරන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් සිදුවන එකඟත්වයක් පසුගියදා පාර්ලිමේන්තු


ඡන්ද කාලේ දේශපාලන යටිසූත්තර
2024 ජුලි මස 16 276 2

බරපතළ ආර්ථික අර්බුදයකින් පසු ශ්‍රී ලංකාව තාවකාලික ස්ථාවර තත්වයක් ළඟාකරගෙන සිටී. සැලැස්මකට අනුව ගමන් කළහොත් අනාගතය පැහැදිලිය. පොදු ජනතාව බලවත් දුෂ්කර


​තිරසර ණය යට කුමන්ත්‍රණ
2024 ජුලි මස 15 296 0

මීට දෙසතියකට පමණ ඉහතින් ඉකුත් 26 වැනිදා ශ්‍රී ලංකාණ්ඩුව ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කළ බැව් ප්‍රකාශය


පුරන් කුඹුරු අස්වද්දන ගොවීන් අමාරුවේ දාන්න එපා
2024 ජුලි මස 15 619 1

වසර 15කට වැඩි කාලයක් පුරන්ව තිබූ මීගොඩ වෙල්යායේ අක්කර 20ක පමණ කුඹුරු යායක් යළි අස්වැද්දීමට ගත් උත්සාහයක් වැළකී ගොස් ඇතැයි එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කර


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 127 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 993 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1875 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site