යහපාලන ආණ්ඩුව සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ තිබුණේ අවිනිශ්චිතභාවයකි. 2009 මැයි මාසයේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කළ ද 2015 න් පසුව නැවතත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිර්මාණය වූ ප්‍රශ්න ඊට හේතු විය. විශේෂයෙන්ම පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය සමග නැවතත් රට තුළ ත්‍රස්තවාදයක් නිර්මාණය වේද යන බිය ගොඩනැගිණි. අද ආර්ථිකය ගැන බොහෝ දෙනකු කතා කළත් ඒ මොහොතේ මේ රටේ තිබූ ප්‍රමුඛ ප්‍රශ්නය වූයේ ආරක්ෂාවයි. එක විට පුපුරා ගිය දාම බෝම්බ සමග ආගමික වශයෙන් නිර්මාණය වූ ආතතිය නැවතත් 2009ට පෙර පැවැති තත්ත්වයට ජන මානසිකත්වය ඇද දැමුවේය. ජනාධිපතිවරණයකින් නොනැවතී මහ මැතිවරණයකින් තුනෙන් දෙකක බලයක් දීම දක්වා ජනතාව තල්ලු කළේ එම අවිනිශ්චිතභාවය මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි හටගත් විශ්වාසයයි. සැබැවින්ම පොරොන්දු ප්‍රකාරවම ආණ්ඩු පාලනය හෙබ වූ අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්පසු කිසිදු ප්‍රශ්නයක් ඇතිවුණේ ද නැත.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය සමග ලෝකය පුරා හටගත්තේ අනපේක්ෂිත තත්ත්වයකි. ලොව සංවර්ධිත රාජ්‍යවල ආර්ථිකයට පවා මාරක ප්‍රහාරයක් එල්ල කළ කොරෝනාව හමුවේ ලංකාවට දැඩි පීඩනයක් එල්ල වීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් ආණ්ඩුවක් හැටියට ආර්ථික කළමනාකරණයට පියවර ගැනීමට අපි කඩිනමින් කටයුතු කළෙමු. ප්‍රශ්නය නම් එය බොහෝ දෙනකුට නොවැටහීමය. ආයාත සීමා පැනවීම එහි ප්‍රමුඛ පියවරකි. අපේ අපනයන වැඩිවුණේ ද ඒ නිසාය. බොහෝ දෙනකුට නොපෙනුණ ද මේ වනවිට ලංකාව පුරා සැලකිය යුතු නිෂ්පාදනයක් තිබේ. නිදසුනකට ගතහොත් කහ ආදී මෙතෙක් ආනයනය කළ බෝග දේශීය ගොවීන් ලවා වගාකරවීමට ආණ්ඩුව කටයුතු කිරීම දැක්විය හැකිය. පොළොන්නරුව, මොණරාගල ආදී පෙදෙස්වල සුළු අපනයන බෝග වගා කරන ගොවීන්ගේ නිෂ්පාදන ගැන සොයා බැලුවොත් මේ තත්ත්වය දැකගත හැකිය. මෙය දේශීය ගොවීන්ට දිය හැකි හොඳම උත්තේජනයකි.
 
වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ආදී කිසියම් ආදායමක් ඇති ඉහළ මධ්‍යම පාන්තිකයන් ද මොණරාගල ආදී පෙදෙස්වල වගාවට යොමුවීමෙන් එහි තරම ගැන අපට අදහසක් ඇතිකරගත හැකිය. මහවැලි කලාපයේ පමණක් එසේ වගා කිරීමට ඉල්ලුම් කර ඇති පිරිස සංඛ්‍යාවෙන් එක්දහස් හත්සීය ඉක්මවයි. මීට හේතුව නම් දේශීය නිෂ්පාදනවලට තැනක් ඇති බවට නිර්මාණය වූ මතයයි. ආණ්ඩුව ආර්ථිකය නිසියාකාරව කළමනාකරණය නොකළේ නම් මෙවැනි මතයක් නිර්මාණය වන්නේ නැත. වාහන ආනයනකරුවන් ආදී ඇතැම් පාර්ශ්වවලට මෙම ප්‍රතිපත්තියෙන් යම් පාඩුවක් විය. අපි එය ප්‍රතික්ෂේප නොකරමු. එහෙත් අපේ විදේශ විනිමය සංචිත රැකගැනීම සඳහා ආණ්ඩුවට එවැනි පියවරකට නොයා සිටින්නට ද නොහැකි විය.

කොරෝනා මර්දන වැඩපිළිවෙළේදී මනා ආණ්ඩුකරණයක් පෙන් වූ පාලනයක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ආණ්ඩුවේ අපේක්ෂාව ලැබිය යුතු සියලුම පාර්ශ්වවලට කොරෝනා එන්නත ලබාදීමය. මේ සියලු සුබසාධන වැඩ මධ්‍යයේ වුව මහාමාර්ග ඉදිකිරීම් ආදී සංවර්ධන ව්‍යාපෘති නතර කර නැත. වැඩ අතර ජනතාවගෙන් නැගෙන පැමිණිලි ගැන ද ආණ්ඩුව සංවේදීය. මහජන සංවේදීව වැඩපිළිවෙළ අවශ්‍ය තැන්වල වෙනස් කරන්නේ එහෙයිනි. සැබැවින්ම මේ ආණ්ඩුව ත්‍රිරෝද රථයක් වාගේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන චරිත ත්‍රිත්වය මේ පාලනයේ රිය සකයි. මේ ආණ්ඩුවේ ද විවිධ පක්ෂ සිටින අතර මේ දිනවල ඇතැම්හු විවිධ අදහස් පළකරමින් සිටිති. එහෙත් අවධාරණය කළ යුතු කරුණක් තිබේ. එනම් බැසිල් රාජපක්ෂ මහතා වේදිකාවේ පසුපස සිට කළ සේවය නොවන්නට මෙවැනි ජයක් ලබන්නට කිසිවෙකුටත් නොහැකි බවය. අදටත් ආණ්ඩුවේ වැඩපිළිවෙළ  දියත් වන්නේ ඔහුගේ විශාල දායකත්වයක් සමගිනි. එනිසා ආණ්ඩුව ආරක්ෂා කරගැනීම හවුල්කාර සියලු පාර්ශ්වවල වගකීමකි.

ආණ්ඩුකරණයේදී අප විශේෂ අවධානය යොමු කළ යුතු පැතිකඩක් නම් විදෙස් පිළිවෙතයි. අපට ලෝකයේ හුදෙකලා වූ රජයක් හැටියට පවතින්නට නොහැකිය. ශ්‍රී ලාංකීය අනන්‍යතාව ආරක්ෂා කරගැනීම මෙන්ම රට ගොඩනැගුමට විදෙස් අතහිත ලබාගැනීම ද එක සේ වැදගත්ය. මේ නිසා අදහස් ප්‍රකාශ කිරීමේදී මිත්‍ර රටවල් තරහ කර නොගැනීමට අප පරෙස්සම් විය යුතුය. ලංකාව ඇතුළේ සද්ද දැමුවා යැයි කියා ජාත්‍යන්තරය බියවන්නේ නැත. හානියක් වනවා නම් ඒ අපේම රටටය. ලංකාවේ සිට යුරෝපා රටවලට බැණ වැදුණු විට ගැලරිය සතුටු කරන්නට පහසුවෙන් පුළුවන. එහෙත් මේ සියලු දේ තානාපති කාර්යාල ඔස්සේ ඒ ඒ රටවලට වාර්තා වන අතර විරසකවීම් ඇතිවන්නේ ආණ්ඩුව සමගය. ආණ්ඩුවේ සිටින ඇතැම් පාර්ශ්වකරුවන් මේ තත්ත්වය තේරුම් ගත යුතුය. මන්දයත් මේ වනවිට ආණ්ඩුවේ ඇතැම් හවුල්කාර පාර්ශ්ව ගැලරිය පිනවන කතා කියන්නට පටන්ගෙන ඇති නිසාය.

ඉන්දියාවේ ආර්ථිකය කොරෝනා මධ්‍යයේ වුව ශක්තිමත්ය. ඊට හේතුව ඉන්දියාව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියයි. අතීතයේදී තනිව නිෂ්පාදන කටයුතු කළ ඉන්දියාව අද වනවිට ඇමෙරිකාවත් ජපානයත් ඒකාබද්ධ කරගෙන නිෂ්පාදන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයමින් තිබේ. මෙම තත්ත්වය හමුවේ ඉන්දු ලංකා සබඳතාවේ ස්වභාවය අප තේරුම් ගත යුතුය. මන්දයත් ඉන්දීය සහාය නොමැතිව අපට ක්‍රියාත්මක වීම අපහසු නිසාය. එහෙත් මේ වනවිට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට බාධාව වී ඇත්තේ අභ්‍යන්තරයේ සිට වැඩ අවුල් කරන ඇතැමුන්ය. අසල්වැසි රාජ්‍ය සමග මිත්‍රශීලී විදෙස් පිළිවෙතක් අනුගමනය කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රමයයි. ආණ්ඩුවට කිසිදු ඉන්දීය විරෝධයක් හෝ ඉන්දීය ව්‍යාප්තවාදයක් ගැන බොරු බියක් නැති බව කිව යුතුය. මේ වනවිට කොළඹ වරායේ බටහිර කොටස සංවර්ධනය ඉන්දියාවට බාරදීමට ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ ද ඒ නිසාය. එය මේ මොහොතේ අත්‍යවශ්‍ය පියවරකි. ඒ බව අප තේරුම්ගත යුතුය. ඇතැමුන් පවසන ආකාරයේ ජාතික සම්පත් බිලිදීමක් මෙහි නැත. මෙය තනිකරම දේශීය සම්පත් හවුල්කාරීත්වයෙන් සංවර්ධනය කිරීමකි. අපට තිබෙන ආර්ථිකයේ හැටියට ඩොලර් මිලියන 600 ක් ආයෝජනයකට එකවර යොදන්නට හැකියාවක් නැත. අනෙක් අතට ඉන්දියානු වරායවල් අටක මෙහෙයුම් කරන අදානි සමාගමට ලංකාවේ වරායක එක් පර්යන්තයක් වැදගත් නැත. එහෙත් මේ ඒකාබද්ධ ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාවට ඉන්දීය මිත්‍රත්වය ද ආර්ථික වැඩපිළිවෙළ ද එකවර දියුණු කරගත හැකි උපක්‍රමයකි.

ජනාධිපතිවරයකු හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අයුරකින් දූෂණය අනුමත නොකරයි. ඊට ඉඩක් ද නොදෙයි. පාලන බලය හෙබ වූ කෙටි කාලය තුළ ජනාධිපතිවරයා විසින් චාම් ලෙස සිදුකරනු ලබන ආණ්ඩුකරණ වැඩසටහන් ඊට සාක්ෂි දරයි. ඉතින් රාජ්‍ය නායකයා ආදර්ශවත් වී කටයුතු කරද්දී ඒ අනුව ක්‍රියා කිරීම හැම දෙනාගේම වගකීමකි. එහෙත් ඇතැම් දේශපාලකයන් සිතන බවක් පෙනෙන්නේ ඔවුන් නැත්නම් ආණ්ඩු බලය නොලැබෙන බවකි. එය සාවද්‍යය. මෙම ජයග්‍රහණය පසුපස සිටියේ බැසිල් රාජපක්ෂ මහතාය. බැසිල් රාජපක්ෂ මහතා සකසා නොදුන්නේ නම් ඔවුන්ට ක්‍රීඩා කරන්නටත් පිට්ටනියක් අද නැත. අප දකින්නේ මනාව පිට්ටනිය සැකසූ පසු හොඳින් ක්‍රීඩා කරන දේශපාලකයෝය. එහෙත් දේශපාලනය යනු කථිකත්වයෙන්ම පමණක් කළ හැකි ගැලරි ආමන්ත්‍රණයක් නොවේ. පපුවට ඇමතීම මෙන්ම මොළය පාවිච්චි කිරීම ද අවශ්‍ය ක්‍ෂේත්‍රයකි. පපුවට ඇමතිය හැක්කේ රට ඇතුළේ පමණි. එහෙත් ශූර සංවිධායකයකු වන බැසිල් රාජපක්ෂ මහතාට ජාතික දේශපාලනය මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය ගැන ද මනා අවබෝධයක් ඇත. එය ආණ්ඩු බලය කෙරෙහි වටිනා සාධකයකි. එවැනි යථාර්ථයක බැසිල් රාජපක්ෂ මහතාට දේශපාලනික වශයෙන් පහරදීමට තැත්දැරීම යනු ස්වයංවිනාශකාරීත්වයට අතවැනීමකි. කෙළින්ම කිවහොත් මෙතැන ඇත්තේ පොහොට්ටුවේ බලයයි. හුදෙකලාව ආණ්ඩුවෙන් එළියට බැස සටන් කිරීමේ විපාකය ගැන හොඳම නිදසුනක් හැටියට කේ.එම්.පී. රාජරත්න දැක්විය හැකිය.

ආණ්ඩුකරණයේදී අප දකින ඇතැම් ප්‍රශ්න ඇතැමුන් කතාවෙන් සාදාගත් අනවශ්‍ය ප්‍රශ්නය. ජිනීවාවලදී අපට චෝදනා පත්‍රයක් දී ඇත. එයට අප රටක් හැටියට පිළිතුරු දිය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කෙරෙන ප්‍රශ්න කිරීම් කළමනාකරණය කරගතයුත්තේ රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙනි. නොඑසේව ලංකාවේ සිට කරන කෑ කෝ ගැසීම්වලින් පලක්වන්නේ නැත. අපට විරුද්ධ දෙමළ ඩයස්පෝරාවක් ඇති බව අප පිළිගත යුතුය. ඇමෙරිකානු නව ජනපති ජෝ බයිඩ්න්ගේ පාලනයෙහි දෙක, තුන, හතර යන තනතුරු බොහෝදුරට ඒ ඩයස්පෝරාවට සම්බන්ධය. එනිසා අප වැඩ කළයුත්තේ ඉතා පරෙස්සමිනි. ඇමෙරිකානු බලය අද වනවිට ඉන්දියාව සමග ශක්තිමත්ව බැඳී ඇත. චීනය තනිව වැඩ කරද්දී ඇමෙරිකාව ඉන්දියාව හා ජපානය සමග එක්ව වැඩ කරයි. අපට ඒ කඳවුරුවලින් පලක් නැත. රටවල් හතර සමගම වැඩකිරීමේ හැකියාව අපට තිබිය යුතුය. අපේ විදෙස් පිළිවෙත එයයි. ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කියමින් ලංකාවේ ආණ්ඩු කරන්නට අපට හැකිද? එසේ නම් එය ජේ.ආර්. ජයවර්ධන මහතා තම පාලන කාලයේදී කරනු ඇත. එදා ලලිත් ඇතුලත්මුදලි මහතා ආරක්ෂක ඇමැතිවරයා හැටියට වඩමාරච්චි මෙහෙයුමට සහාය දුන්නත් අවසානයේදී එය නතර කිරීමට සිදුවුණේ ප්‍රභාකරන් පෙනි පෙනීය. එසේ කිරීමට සිදුවුණේ ඉන්දීය බලපෑමට අපට මුහුණදෙන්නට බැරි නිසාය. ඉන්දියාවටත් පහරදී ප්‍රශ්නය අවසන් කරන්නට තිබුණේ යැයි ඇතැමුන්ට කටින් කියන්නට පුළුවන. එහෙත් සැබැවින්ම අප එදා ඉන්දීය හමුදාවට ගහන්න ගියා නම් ලංකාවට සිදුවන්නේ කුමක්ද? ඒ අවස්ථාවේ අසරණ වුණේ ලංකාවේ සිටි පළපුරුදුම දේශපාලන නායකයාය. මෙහෙයුම් නවත්තන්නැයි සඳහන් ලිපිය ඉන්දීය මහකොමසාරිස් ජේ.එන්. ඩික්සිත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ගෙනැත් දුන් විට තරමක වේලාවක් ජනාධිපතිවරයා එදෙස බලාගෙන නිහඬව සිට ඇත. ඉන්පසු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඩික්සිත්ට බැනවැදී නැත. ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිට දුරකථන ඇමතුමකින් කියාඇත්තේ ඉන්දියාව සාධකයක් වී ඇති බැවින් යුද්ධය නතර කිරීමට ලංකාවට සිදුවන බවය. ඉන්දු ලංකා ගිවිසුමක් අස්සන් කෙරුණේ ඒ අනුවය. එය දේශපාලනිකව වැරැද්දක් විය හැකිය. එදා තමන් පෝෂණය කරන ත්‍රස්තවාදය පාරාවළල්ලක් වන බව ඉන්දියාවට ද තේරුණේ නැත. එනිසා ඉන්දියාව අනුගමනය කළේ තමිල්නාඩුවේ බලපෑම මත එල්.ටී.ටී.ඊයට සහාය දක්වන පිළිවෙතකි. යථාර්ථය වටහාගැනීමට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා එල්.ටී.ටී.ඊයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක ඉලක්කයක් වන්නටම සිදුවිය. ත්‍රස්තවාදය මර්දනයට ලංකාවට ඉන්දීය සහාය ලැබුණේ ඉන්පසුය. සැබැවින්ම අවසන් යුද්ධය අවස්ථාවේ වුව ඉන්දියාව යම් මැදිහත්වීමක් කළේ නම් අපට තීරණාත්මක අවසානයකට පහසුවෙන් යා හැකිව තිබුණේද? ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහතා කළේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ භයානකත්වය පෙන්වා දී යුද්ධය කරගෙන යන්නේ සාමාන්‍ය දෙමළ ජනයා විපතේ නොදමා බව ඉන්දියාවට ඒත්තු ගැන්වීමය. රාජ්‍යතාන්ත්‍රිකත්වය යනු එයයි. එනිසා පපුවට අමතන්නන් යථාර්ථය වටහාගෙන ඔළුවෙන් කල්පනා කරනවා නම් වටී.  

සාකච්ඡාව ආරම්භයේදීම සඳහන් කළ පරිදි ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයට පත්කරගැනීමේ ප්‍රධාන සාධකය වූයේ රටට නායකත්වයක් අවශ්‍යය වීමය. සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරය සමග සිංහල බෞද්ධ හා කතෝලික ජනයාගේ විශාල ඡන්දයක් රාජපක්ෂ මහතාට ලැබුණු බව පැහැදිලිය. එහිදී සුළු ජාතීන්ගේ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් නොලැබුණු බව ද පැහැදිලිය. එහෙත් ජනාධිපතිවරයා බලයට පත්වුණේ සමස්ත රටටමය. එනිසා සුළු ජාතීන්ගේ අවශ්‍යතා සොයාබලා රට එක්සත් කිරීම ජනාධිපතිවරයාගේ කාර්යය. ඕනෑම පාලන කාලයක අවසානය වනවිට ඡන්දය දුන් පිරිසෙන් කිසියම් කොටසක් ඛණ්ඩනය වේ. එවැනි විටෙක කිසිදු වැඩකට නැති වාග් ප්‍රහාරවලින් සුළු ජාතීන් ද විරසක කරගැනීමෙන් ආණ්ඩුවට ඇති ලාබය කුමක්ද? සහරාන් බෝම්බ ගැසූවත් සමස්ත මුස්ලිම් ජනයා ඊට සම්බන්ධ ද? නොඑසේව ඊට පලි ද? සියලු දෙමළ ජනයා එල්.ටී.ටී.ඊයට සම්බන්ධ වීද? නැත. සහරාන්ගේ ප්‍රශ්නයත් එසේය. අනෙක් අතට මේ රටට අප නිදහස දිනාගත්තේ සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආදී වශයෙන් ජාති ආගම් බේදයකින් තොරව ඒකාබද්ධව සටන් කරලාය. නියෝජනයෙන් හරි අඩක් ඉල්ලන්නැයි ජී.ජී. පොන්නම්බලම්ට උපදෙස් දෙද්දී ඔහු අවසන කිව්වේ අපේ රටේ ප්‍රශ්න අපි බේරාගන්නම් කියාය. අපට තිබුණු ඒ ඉතිහාසය විනාශ වුණේ ජාතිවාදී ලෙස දේශපාලන පක්ෂ පිහිටුවාගැනීමෙනි. අතීතයේදී සෑම ප්‍රධාන පක්ෂයකටම දෙමළ හා මුස්ලිම් නායකයෝ සිටියහ. සන්ධානගතවීමකින් තොරව දෙමළ මුස්ලිම් නායකයන් උතුරු නැගෙනහිරින් තරග බිමට එවීමේ යෝධ හැකියාවක් එකල එක්සත් ජාතික පක්ෂයට තිබුණේය. කේ.ඩබ්ලිව්. දේවනායගම් 1977 කල්කුඩා ආසනය දිනා ගත්තේ යූ.ඇන්.පී. කාරයකු ලෙසිනි. නින්දවූර් ජයගත් එම්.එම්. මුස්තාපා යූ.ඇන්.පී. කාරයෙකි. වාමාංශයට බර තබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරද්දී බණ්ඩාරනායක මහතාට යෝධ සවියක් දුන්නේ පසු කලෙක රටේ අධ්‍යාපන ඇමැතිවරයකු ද වූ බදියුදීන් මහමුද්ලාය. මේ ජාතික සමගිය නැති වුණේ ජාතිවාදී පදනමින් පක්ෂ පිහිටුවාගත් නිසාය. එයින් ඒ ජාතීන්ටත් සිංහල ජාතියටත් වූ යහපතක් නැත. ඒ ජාතිවාදයේ පදනමට සරිලන සේ ජාතිවාදී ආකාරයෙන් වැඩ කිරීමට ඇතැම් සිංහලයෝ ද ක්‍රියා කළහ. අප සිංහල බෞද්ධ නම් එය වේදිකා මත සිට කෑගැසීමෙන් පලක් නැත. විය යුත්තේ සිංහල බෞද්ධයාට සේවය කිරීමය. සියලු සත්වයෝ සුවපත් වෙත්වා යන බෞද්ධ දර්ශනයේ අනෙකා තලා පෙළන්නට ඉඩක් නැත. අනෙක් අතට ශ්‍රී ලංකාව යනු එක ජාතියකට අයිති රටක් නොව සියලු ජාතීන්ට අයිති රටක් බව දේශපාලකයන් තේරුම් ගත යුතුව තිබේ. ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්ම ආණ්ඩුකරණ පිළිවෙත ක්‍රියාවට නගන්නේ මෙම යථාර්ථයෙහිය. එනිසා අභ්‍යන්තර විවේචන අන්තවාදී නොවී පරෙස්සමින් කළ යුතුය යන්න අවසන අවධාරණය කරමි.


(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)