09_PAGE_06_T     

 

මහනුවර-යාපනය ඒ-9 මාර්ගයේ පලෙයි පොලිස් ස්ථානය දක්වා වැටී ඇති මාර්ගය ඔස්සේ ගමන් කරන ට‍්‍රැක්ටරයකි.පලෙයි ප‍්‍රාදේශීය සභාවට අයත් මෙම ට‍්‍රැක්ටරය ප‍්‍රදේශයේ කැළි කසළ ඉවත් කිරීම සඳහා යොදවා ඇත.

 

6
ඔය ට‍්‍රැක්ටරය එලවාගෙන යන ඩ‍්‍රයිවර් කොටි පොලිසියක ට‍්‍රැෆික්  ඕ.අයි.සී. විදිහට හිටිය කෙනෙක්. මිනිහා දැන් ප‍්‍රාදේශීය සභාවේ ට‍්‍රැක්ටර් රියදුරෙක් විදිහට රස්සාව කරනවා.


පලෙයි පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතා ට‍්‍රැක්ටරය පදවාගෙන යමින් සිටි රියදුරා පෙන්වමින් අපත් සමඟ කියා සිටියේය.


කිලිනොච්චිය ප‍්‍රදේශය කොටින්ගේ පාලනයට නතුව තිබූ කාලයේ කොටි පොලිසියේ ට‍්‍රැෆික්  ඕ.අයි.සී. කෙනෙක් විදිහට හිටිය අද ප‍්‍රාදේශීය සභාවේ ට‍්‍රැක්ටර් රියදුරෙක් ලෙස වැඩ කරන මොහුත් සමඟ ආගිය තොරතුරු කතා බහ කිරීමේ තදබල  ඕනෑකමක් මට ඇතිවිය.


ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතා ට‍්‍රැක්ටරය නවත්වන ලෙස රියදුරාට දැනුම් දුන්නේ මාගේ අවශ්‍යතාවය ඔහුට කීමෙන් පසුවය.
රියදුරා අප ඉදිරියට ආවේ ‘ආයුබෝවන් සර්’ යැයි කියමිනි.


පැහැදිලි සිංහලෙන් ආයුබෝවන් සර් යැයි කීම අසා මම මවිතයට පත්වූයෙමි.


මම අවුරුදු 09ක විතර කාලයක් මහනුවර ටවුන් එකේ සාප්පුවක වැඩ කළා. ඒ හින්දා මට හොඳට සිංහල කතාබහ කරන්න පුළුවනි. ඒ කාලයේ වැඩිපුරම මට හිටියේ සිංහල ජාතික මිතුරෝ යැයි ට‍්‍රැක්ටර් රියදුරු කිව්වේ මෙච්චර හොඳට සිංහල කතා කිරීම ගැන මම මවිතයට පත්වී ඇති බව ඔහුට තේරුම්ගොස් තිබූ නිසාය.

 

99


මගේ අවශ්‍යතාව ඔහුත් එක්ක කීවාට පසු ඔහු කොටි පොලිසියේ තොරතුරු ගැන කීමට කැමැත්ත පළකර සිටියේය.


මේ වැඬේ ඉවර වෙච්ච ගමන් මම සර්ලා ඉන්න තැනට එනව කියාගෙන ඔහු නැවතත් ට‍්‍රැක්ටරයට ගොඩවී නික්ම ගියේ ඔහුට පැවරී ඇති රාජකාරිය නොපිරිහෙළා ඉටුකිරීමටයි.

9ch
කිව්වා වගේම ඔහු අපව සොයාගෙන ආවේය.


එස්. ජෙයබාලන් නමැති මොහු පලෙයි තම්බගාවන් ප‍්‍රදේශයේ පදිංචිව සිටින අයෙකි. 


කොටි පොලිසියේ ට‍්‍රැෆික්  ඕ.අයි.සී තනතුරේ සිට පලෙයි ප‍්‍රාදේශීය සභාවේ ට‍්‍රැක්ටර් රියදුරෙක් දක්වා ආ ගමන් මඟ ගැන ඔහු අප ඉදිරියේ කියන්නට පටන් ගත්තේය.


මම සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ මහනුවර ටවුන් එකේ කඬේක වැඩට ගියා. 1982 වසරේ ඉඳල 1991 වසර විතර වෙනකම් මහනුවර ඒ කඬේ රස්සාව කළා. ඒ කාලයේ මට හරියට සිංහල යහළුවෝ හිටියා. මට හොඳට සිංහල කතාබහ කරන්න පුරුදු වුණේ මහනුවර රස්සාව කරන කාලයේ තමා. 


නිවාඩුවකට ගමට ඇවිත් ආයෙත් මහනුවර කඬේ රස්සාවට යන්න ගියත් එල්.ටී.ටී.ඊ එකෙන් ඔවුන්ගේ පාලන ප‍්‍රදේශයෙන් පිටවෙලා යන්න රන් පවුම් දෙකක් මගෙන් කප්පම් වශයෙන් ඉල්ලූවා. මට රන් පවුම් දෙකක් දෙන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. ඒ හින්දා මට ආයෙත් නුවර කඬේ කර කර හිටිය රස්සාවට යන්න බැරිවුණා.

fgj
මගේ නංගී කෙනෙක් හා මල්ලී කෙනෙක් එල්.ටී.ටී.ඊ පොලිසියේ කොස්තාපල්වරියක් හා කොස්තාපල් කෙනෙක් විදිහට ඒ වෙනකොට රස්සාව කරමින් සිටියේ. අයියේ ඔයත් එල්.ටී.ටී.ඊ පොලිසියට බැඳෙන්න කියා ඔවුන් මට කිව්වා. ඒ වෙනකොට මට රස්සාවක් නැතිව ඉබාගාතේ යමින් හිටියේ. ඒ දෙන්නාගේ කීමට මමත් එල්.ටී.ටී.ඊ පොලිසියට බැඳෙන්න ඇප්ලිකේෂන් එකක් දැම්මා. සම්මුඛ පරීක්‍ෂණයකින් පස්සේ මාව තෝරාගත්තා. 


මාස හයක විතර කාලයක් පුහුණුවීම් ලබාගත්තා. පුහුණු වීම් ලබන කාලය ඇතුළත එල්.ටී.ටී.ඊ පොලිස් නීතියත් ඉගෙනගන්න  ඕනෑ. සාමාන්‍ය ජනතාවට කතාබහ කරන හැටි, ඔවුන් එක්ක සුහදව කටයුතු කරන හැටි පවා අපට මේ පුහුණුවීම් කාලය තුළ උගන්නනවා.


එල්.ටී.ටී.ඊ පොලිසියට බැඳෙන අයට පුුහුණුවීම් ලබාදෙන්නේ කවුද කියා මා විමසුවේ ඔහු කියාගෙන ආ කතාවට බාධා කරමිනි.


අපට පුහුණුවීම් ඒ කාලයේ ලබාදුන්නේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරලා විශ‍්‍රාම ගිය පොලිස් පරීක්‍ෂකවරුන් හා උප පොලිස් පරීක්‍ෂකවරුන්. ඒ සේරම කට්ටිය ද්‍රවිඩ නිලධාරින්. පුහුණුවීම් ලබාදෙන්න විශ‍්‍රාම ගිය පොලිස් නිලධාරින් 15 දෙනෙක් විතර හිටියා. පුහුණුවීම් බාරව හිටියේ කනකලිංගම් කියා විශ‍්‍රාමික පොලිස් පරීක්‍ෂකවරයෙක්. ඔහු අඩි 6 1/2ක් විතර උස කෙනෙක්. එයා දැන් ජීවතුන් අතර ඉන්නවාද නැත්ද කියන එක කියන්න මම දන්නේ නැහැ. මාත් එක්ක 70ක් විතර පොලිස් භටයන් විදිහට පුහුණුව ලැබුවා.


වේල් තුනම හොඳට කන්න බොන්න දීලා රුපියල් 2,200ක මාසික වැටුපක් එල්.ටී.ටී.ඊ පොලිස් භටයකුට ලබාදුන්නා. කන්න බොන්න දෙන නිසා ඒ මුදල මාසයක් ජීවත් වෙන්න හොඳටම ඇති. හැබැයි පගා ගහලා අහු වුණොත් එහෙම කිසිම සමාවක් ලැබෙන්නේනම් නැහැ. පගා අරගෙන අහුවුණොත් අවුරුදු හයක් හිරේ දානවා. ආයෙත් මොනම හේතුවක් නිසාවත් ආයෙත් එල්.ටී.ටී.ඊ පොලිසියට ගන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ පොලිසියේ අය පගා අරගෙන අහුවෙච්ච අවස්ථා හරිම අඩුයි. පොලිස් භටයා ගත්තු පගා මුදල ඔහු ආපසු ඒ පුද්ගලයාට ගෙවීමත් අනිවාර්යයි. පගාව විදිහට ගත්තු මුදල ආපසු ගෙවන්න අපොහොසත් වුණොත් තවත් මාස හයක අමතර හිර දඬුවමක් ලැබෙනවා. මේ වගේ තද නීති රීති තිබෙන නිසා ලෙහෙසියෙන් කෙනෙක් පගා ගන්න යන්න බයයි. පගා අරගෙන අහුවෙන පොලිස් භටයින්ව කොටි පොලිස්පති නඬේෂන්ගෙන් බඩ කට පුරා ගුටි බැට ලැබුණු අවස්ථාත් තිබුණ බව මට මතකයි.
කොටි පොලිස්පති නඬේෂන් ගැන මතකය අවදිකරමින් ජෙයබාලන් මෙසේ කීය.

tfg
නඬේෂන් කොටි පොලිසියේ ලොක්කා වෙන්න කළින් ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. එයාගේ නෝනා විනීතාත් ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරියක්. නඬේෂන් සිංහල සින්දු අහන්න හරිම ආසයි. වැඩිය අහන්න කැමති වුණේ ගුණදාස කපුගේ මහත්තයාගේ සින්දු. සිංහල සී.ඞී තැටි කොළඹින් ගෙන්වා ගන්නවා. ඔහු කොටි පොලිසියේ අයගේ සුබසාධනය ගැන නිතර සොයා බැලූවා. ඒ වගේම කොටි පොලිසියේ කෙනෙක් මොනයම් හෝ වරදක් කරලා අහුවුනොත් එයාගේ ඔෆීස් එකට ගෙන්වාගෙන පහර දෙනවා. නඬේෂන් ළඟ යකඩ චේන් එකක් තියනවා. ඒ යකඩ චේන් එකෙන් පවා පහර දෙනවා. යුනිෆෝර්ම් එක ගලවලා තමා පහරදීම් කරන්නේ. සාමාන්‍ය මිනිසුන්ට හිරිහැර කරදර කරලා අහුවුණාම තමා මේ විදිහට ඔහු පහර දෙන්නේ. කොටි පොලිසියේ අයගෙන් කරදරයක් හිරිහැරයක් වුණොත් ඒ ගැන කෙළින්ම නඬේෂන්ට පැමිණිලි කිරීමට සාමාන්‍ය මිනිස්සුන්ට අවස්ථාව ලබා දී තිබුණා. 


කොටි පොලිස්පති නඬේෂන්ගේ බිරිය විනීතා බලන්න ඒ ගොල්ලන්ගේ පවුලේ අය දකුණේ ඉඳලා එහෙම ආවේ නැද්ද?
එක පාරක් විනීතාගේ සහෝදරයෙක් ආවා. එතකොට මම පලෙයි කොටි පොලිසියේ ට‍්‍රැෆික්  ඕ.අයි.සී විදිහට වැඩ කළේ. 2004 වසරේ සාම ගිවිසුම කාලයේ තමා විනීතාගේ සහෝදරයෙක් කිලිනොච්චියට ආවේ. පලෙයි කොටි පොලිසියේ  ඕ.අයි.සීගෙන් මට  ඕඩර් එකක් ලැබුණා වවුනියාවේ  ඕමන්තට ගිහින් විනීතාගේ සහෝදරයා කිලිනොච්චියට කැඳවාගෙන එන්න කියා. මම කොටි පොලිසියේ වාහනයක් අරගෙන  ඕමන්තට ගියා. මම යද්දී ඔහු ඇවිත් හිටියා. මා ඔහු කැඳවාගෙන කොටි පොලිස්පති ඉන්න නිවසට කැඳවාගෙන ගොස් බාර දී ආපසු ආවා. මම ඔහුත් එක්ක කතා බහ කරන්නනම් ගියේ නැහැ යැයි ජෙයබාලන් මා ඇසු ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසීය.


කොටි පොලිසියට බැඳිලා අවුරුදු තුනක් යනකම් විවාහ වෙන්න තහනම්. ඊට කළින් බඳිනවානම් කොටි පොලිස්පතිගෙන් විශේෂ අවසරයක් ගන්න  ඕනෑ. ඒ විතරක් නෙමේ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යනවානම් ඒ ගැනත් සේරම විස්තර ලිඛිතව දැනුම් දිය යුතුයි. හොර රහසේ පේ‍්‍රම සම්බන්ධකම් පවත්වල අහු වුණොත් රස්සාවෙන් නෙරපනවා. කිසිම සමාවක් නැහැ. පේ‍්‍රම සම්බන්ධතාවය ගැන දැනුම් දුන්නාම ඒ පේ‍්‍රම සම්බන්ධතාවය පවත්වාගෙන යන ගැහැණු ළමයා මුණගැහෙන්න කොටි පොලිසියේ කට්ටියක් යනවා. කැමැත්තෙන්ද කිසියම් බලපෑමක් නිසාද මේ සම්බන්ධය පවත්වාගෙන යන්නේ කියා ඔවුන් විමසනවා. බැරි වෙලාවත් කිව්වොත් බය කරලයි මාත් එක්ක යාළු වුණේ කියා ගෑනු ළමයා කිව්වොත් එහෙම දැඩි දඬුවම් ලබා දෙනවා. පොලිසියෙන් පන්නා දමනවා. නියමිත රාජකාරි වෙලාවට පැයකට විතර කලින් සේවයට වාර්තා කරන්න  ඕනෑ. නැත්නම් පඩියෙන් ගාණක් කපනවා. දවසක් මම පැය කාලක් පරක්කු වෙලා වැඩට ආවා කියා නඬේෂන් මගේ කම්මුලට වැරෙන් පහරක් ගැසුවා. ඒ පාරට මට තරු විසිවුණා. පරක්කු වුණ හේතුවක් ඇසුවේ නැතිව තමා එක පාරට කම්මුලට පහරක් ගැසුවේ යැයි ජෙයබාලන් පැවසුවේ ඒ පාරේ වේදනාව තවමත් දැනෙනවා වගේ යැයි පවසිමිනි.
එතකොට ජෙයබාලන් සේවය කර ඇත්තේ කොටි පොලිස්පති කාර්යාලයේය.


ජෙයබාලන් පවසන ආකාරයට කොටි පොලිසියේ සෑම තරාතිරමක අයකුටම දැඩි විනය නීති රීති මාලාවක් තිබී ඇති අතර ඒවා කඩකරන්නන්ට කිසිදු සමාවක් හෝ අනුකම්පාවක් ලැබී නොමැත.


මාර්ග නීති රීති කඩ කර අසුවන සාමාන්‍ය වැසියන්ටද කොටි පොලිසියෙන් කිසිදු සහනයක් නම් ලැබුණේ නැති බව ඒ කොටි ට‍්‍රැෆික්  ඕ.අයි.සී. ජෙයබාලන් පවසයි. 


අරක්කු බීලා වාහන එළවලා අහුවුණොත් කෙළින්ම හිරේ දානවා. අරක්කු බීලා වාහන එළවලා කෙනෙක් අහුවෙන්නේ බොහොම කලාතුරකින්. හිරේ දානවාට අමතරව රුපියල් 1,500ක දඩයකුත් ගහනවා. ඒ කාලේ හැටියට මේක ලොකු දඩ මුදලක්. ලයිෂන් නැතිව ගියොත් රුපියල් 350ක දඩ මුදලක් අයකරනවා. වේගයෙන් රිය පැදවීමේ දඩය රුපියල් 250ක් වෙනවා. රිය අනතුරු වුණාමත් ඒ අනතුරේ ස්වභාවය අනුව හිරේ දානවා. කොටි උසාවි වලින් තමා ඒ දඬුවම් නියම කරන්නේ. කොටි නායක නායිකාවන් යන වාහන වලට නම් නීතිය ක‍්‍රියාත්මක කළේ නැහැ. ඔවුන්ට ඒ නීති රීති බලපෑවේ නැහැ. කොටි නායක නායිකාවන් යන වාහන චෙක් කරන්න අපට බලයක් තිබුණේ නැහැ.


කොටි පාලන ප‍්‍රදේශවල ඉන්න අයට හෙල්මට් නීතිය බලපෑවේ නැති වුණත් රජයේ පාලන ප‍්‍රදේශවල සිට කොටි පාලන ප‍්‍රදේශවලට හෙල්මට් නැතිව යතුරුපැදි පදවාගෙන ඇවිත් අහුවුණොත් නම් රුපියල් 250ක දඩයක් අය කරන බව කොටි ට‍්‍රැෆික්  ඕ.අයි.සී ජෙයබාලන් කියයි.


රජයේ හමුදා වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භ කරලා කොටි පාලන ප‍්‍රදේශවල බලය තහවුරු කරගන්නට පටන් ගත්තාට පස්සේ කොටි පොලිසිවල වැඩ කටයුතු ක‍්‍රමයෙන් අඩපණ වෙන්නට පටන් ගත්තා. කිලිනොච්චි අල්ලන්න පටන් ගන්නවාත් එක්කම කිලිනොච්චි ටවුන් එකේ තිබුණ කොටි පොලිස් මූලස්ථානය වසා දැම්මා. කොටි පොලිස්පති එයාගේ බිරිය හා දරුවන් ආරක්‍ෂිත ස්ථාන සොයාගෙන ගියා. කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා පිහිටුවා තිබුණ සේරම පොලිස් ස්ථාන වසා දැම්මා. අපි මුලතිව්වලට පලා ගියා. කිලිනොච්චිය අල්ලාගත් හමුදාව මුලතිව් අල්ලාගත්තාට පස්සේ පුදුමාතලන් වලට අපි පැන ගත්තා. එතකොට ඒ පැත්ත යුද මුක්ත කලාපයක් බවට රජය විසින් ප‍්‍රකාශයට පත්කර තිබුණා. සාමාන්‍ය ජනතාව අතරේ සැඟවී පසුව රජයේ පාලන ප‍්‍රදේශවලට පැනගත්තා. වවුනියාවේ සරණාගත කඳවුරකට ආවා. මාස හයක් පුනරුත්ථාපනය වෙලා ආයෙත් පලෙයි වල පදිංචියට ආවා.


මුලක්කාවිල්, මල්ලාවි, පලෙයි, කිලිනොච්චි යන කොටි පොලිස් ස්ථානවල හා කිලිනොච්චි රෝහල් පොලිසියේ ස්ථානාධිපති ලෙසද කටයුතු කර ඇති ජෙයබාලන් ට‍්‍රැෆික්  ඕ.අයි.සී. විදිහට වැඩිම කාලයක් සේවය කර ඇත්තේ පලෙයි කොටි පොලිසියේය.


කොටි පොලිසියේ ට‍්‍රැෆික්  ඕ.අයි.සී පලෙයි ප‍්‍රාදේශීය සභාවේ රියදුරු පත්වීමක් ලබාගෙන ඇත්තේ මීට වසර 1 1/2ක පමණ කාලයකට ඉහතදීය.
බිරිය හා දරු දෙන්නා එක්ක සතුටින් සාමදානයෙන් ජීවත්වෙන බවත් මේ කරන රැුකියාව හරිම තෘප්තිමත් බවත් ජෙයබාලන් පවසයි.


මම මේ ළඟදී කැටපිලර් යන්ත‍්‍ර පැදවීමට පුහුණුව ලැබුවා. ට‍්‍රැක්ටරයට අමතරව ප‍්‍රාදේශීය සභාවේ තියන කැටපිලර් යන්ත‍්‍ර වල රියදුරෙක් ලෙසද සේවය කරනවා යැයි ඔහු කීය.


ජෙයබාලන්ට දැන් වයස අවුරුදු 46ක් පමණය 
මහනුවර කඬේ වැඩ කරපු කාලය මට කවමදාවත් අමතක කරන්න බැහැ. ඒ කාලයේ හිටිය සිංහල යාළුවෝ මට තවමත් මතක් වෙනවා. ඔවුන් බලන්න යන්න මගේ ලොකු ආශාවක් තියෙනවා. ඒත් තවම ඒ ආශාව ඉටුකරගන්න බැරිව ගියා. ඉඩක් ලැබුණු ගමන් ළඟදීම මගේ සිංහල යහළුවෝ හම්බවෙන්න මහනුවර යන්න හිතාගෙන ඉන්නේ යැයි ජෙයබාලන් පැවසුවේ අප හා කළ කතා බහ නිමා කිරීමට මත්තෙනි.

 

m