රට තුළ පවතින දේශපාලන හා ආර්ථික සංවර්ධනය ගැන අප හා මතවාදීව ගැටුණු ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්කෝන්ගේ ප‍්‍රතිචාරයයි මේ. ප‍්‍රශ්නය: මෑතක පැවැති පළාත් සභා ඡන්ද තුන ආණ්ඩුව පැහැදිලි ලෙස ජයගත්තත් ආණ්ඩුව ජනතාවගේ අභියෝගයට ලක්වීම ඇරඹී ඇති බව පෙනී යනවා. පසුගිය මහ මැතිවරණයට සාපේක්‍ෂව ආණඩුවේ ඡන්ද 61,000 ක් අඩුවී එජාප ඡන්ද එක් ලක්‍ෂ විසිහය දහසක් 25% සිට 35 දක්වා ඔවුන් ඉහළ යාම ගැන ඔබ මොකද කියන්නේ? පිළිතුර: මම ජනතාව එක්කම පොළොවෙ පය ගහල ඉන්න කෙනෙක්. 94 සිට වසර 18 ක් වගේ දිගු කලක් බලයේ හිටපු ආණ්ඩුවක් පටන් ගත්ත ජනප‍්‍රියත්වයේ ම ඉඳීම යමෙක් අපේක්‍ෂා කරයි නම් ඒක විහිළුවක්. ලෝකයේ එහෙම වෙන්නෙ නෑ. යථාර්ථය ඒකයි. ඒත් මේ ජනාධිපතිතුමා 2005 ජනපතිවරණය දිනුවේ ඡන්ද එක් ලක්‍ෂ හැත්තෑපන් දහසකින්. ඒක එච්චරම ලොකු වැඩි ඡුන්ද ගණනක් නොවුණත් එදාට සාපේක්‍ෂව ගත්තාම මේ ආණ්ඩු විශාල පරතයක් ඇතිවයි තාමත් ඡන්ද දිනන්නේ. අනික 77 5/6 ක වැඩි ඡන්දයක් අරන් දිනපු එජාපය වසර 17 කදී ඇද වැටිලා 94 දී පැරදුණා. ගෑණියෙක් මිනිහෙක් කිරීම හැර අනිත් ඔක්කොම පුළුවන් යයි කියපු ආණ්ඩුවල ඉරණම වුණේ ඒකයි. වසර 18 ක් තවමත් විශාල ජයග‍්‍රහණ ලබමිනුයි ඉදිරියට යන්නේ. 94 දී පැරදුණු එජාපයට තාම ඔළුව උස්සගන්න බැරිවයි ඉන්නේ. එහෙම එකේ ආණ්ඩුවේ ඡන්ද සුළු ගණනක් අඩුවීම හා එජාපයට සොච්චමක් වැඩිවීම එච්චර ගණන් ගත යුතු නැහැ. අපි පරාදවෙලා නෑ. ඒත් මම කියන්නේ ඒකෙනුත් පාඩම් ඉගෙනගෙන අපෙන් සිදුවූ වැරදි තිබේනම් ඒවා හදා ගැනීමට අපට අවස්ථාව උදාවී ඇති බවයි. අපි අසමත් නැති බව හා සුළු අඩුපාඩු ඇති බවයි ජනතාව පෙන්වාදී තිබෙන්නේ. අඩුපාඩු හදාගන්න අපි සූදානම් බව ජනතාව දන්නවා. අනික මේ ඡුන්දය තීරණාත්මක නැති නිසා ඡන්දය දමන ජනතා ප‍්‍රතිශතය අඩු වෙනවා. එහෙම බැලූවාම ආණ්ඩුව පසුබෑමක් ලබපු බව මට හිතෙන්නෙ නෑ.   ප‍්‍රශ්නය: ඒත් විපක්‍ෂය ඇතුළු බොහෝ අයගේ විග‍්‍රහය වෙන්නේ ඡන්දය නොදුන් 40% ක ප‍්‍රතිශතයෙන් බහුතරයක් විපක්‍ෂයේ ඡන්ද බව නේද? පිළිතුර: එහෙම කොහොමද කියන්නේ? පළාත් සභා තීරණාත්මක ඡන්ද නොවන නිසා අපේ අයත් හුඟ දෙනෙක් ඡන්ද දාන්න එන්නේ නෑ. ඒ නිසා ඡන්දය දාන්න නාව සියලූ දෙනා හෝ බහුතරය අපටයි කියල බොළඳ විදියට හිතලා එජාපය ඇතුළු විපක්‍ෂයට යම් ආස්වාදයක් නම් ලබන්න පුළුවනි. විපක්‍ෂයේ ඉන්නකොට අපිත් ඔකොම තමයි. ඒත් අපේ යම් සෙලවීමක් වෙලා තියෙනවා. ඒක ලොකු ඇද වැටීමක ආරම්භයක් වෙන්න ඉඩ නොතබා ක‍්‍රියා කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒවා ටීවී වල දේශන දීලා නෙවෙයි ක‍්‍රියාවෙන් මහ පොළොවේ කළ යුගුයි. ඒ වගේම මම විපක්‍ෂයටත් කියනවා. සිහින දකින්නේ නැතිව ඇතුළේ මරා ගැනිලි වෙනුවට පුළුවන් නම් ඔය 40% ක  පාවිච්චි නොවූ ඡන්ද අරන් පෙන්නන්න කියලා.   ප‍්‍රශ්නය: ආණ්ඩුව පළාත් සභා ඡන්ද තුන දිනුවත් ඒ එක්කම රට ගිනියම් වුණා. සරසවි ඇදුරන් හා විදුලි බල මණ්ඩල වර්ජන, බඩුමිල යළිත් ඉහළ යාම හා අධිකරණයට ප‍්‍රහාර එල්ලවීම ඉන් මූලිකයි. ඇදුරන්ගේ ගැටලූව විසඳුවාද අනිත් අය මෙන් ඔවුනුත් අන්දලා පැත්තකට කළාදැයි අහන අයට ඔබ දෙන පිළිතුර කුමක්ද? පිළිතුර: ආචාර්යවරු අඥාන පිරිසක් නෙවෙයිනේ කාටවත් රැවටෙන්න. උගතුන් බුද්ධිමතුන් රටට සම්පතක්. ඔවුන් අමනාප කරගන්න නරකයි. සිංගප්පූරුව 1965 කාලේ ලංකාවටත් වඩා පහළ තැනක හිටියේ. ඒ රට අද දියුණුවෙන්න ප‍්‍රධාන හේතුව වුණේ බුද්ධිමතුන් පෝෂණය කිරීම හා ඔවුන්ගේ මග පෙන්වීම අනුව රට ඉදිරියට ගෙනයාමයි. ඒ රටේ උගතුන්ට විතරක් නෙවෙයි හොඳින් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පවා ආණ්ඩුවේ මැදිහත්වීම තුළ විශාල පහසුකම් ලැබෙනවා. ඒක ලංකාවට විතරක් නෙවෙයි හැම රටකටම ආදර්ශයක් බව මගේ පිළිගැනීමයි. අද මේ රටේ විශාල බුද්ධි ගලනයක් එනම් උගතුන් පිටරට යාමක් සිදුවෙනවා. ඊට හේතුව ඔවුන් මේ රටින් නිදහස් අධ්‍යාපනය ලැබුවත් විදේශවලට සාපේක්‍ෂව ඉහළ ආදායමක් හා පහසුකම් අවම වීමයි. ඒ නිසා තවත් ප‍්‍රශ්න ඇති කරගෙන ඉතිරි වටිනාම ආචාර්යවරුන් ටිකත් රට ගියොත් අපේ දරුවන්ට අධ්‍යාපනය හා රටට නිසි මග කියාදෙන්නෙ කවුද? දේශපාලකයන්ට තනියම මේ ඔක්කොම කරන්න බැරි බව අපි තේරුම් ගන්න  ඕනෑ. ඒත් අපි තේරුම්ගත යුතු තවත් යථාර්ථයක් තියෙනවා. මේ රටත් ආර්ථිකයත් වසර 30 ක් ත‍්‍රස්තවාදවෙන් බැට කමින් එක තැන පල්වුණා. ත‍්‍රස්ත ගැටලූව ජනාධිපතිතුමා හා ආණ්ඩුවේ මග පෙන්වීම මත රණවිරුවන් ජයගෙන තවම ගත වුණේ වසර තුනයි. ඒ කෙටි කාලය තුළ ලංකාවට විශ්වයම ජයගන්න බෑ. හැමදේම කරන්න පුළුවන්ද කියලත් අපි තේරුම් ගන්න  ඕනෑ. ඒත් දරුවො හදන්න දරදඬු වෙලාම බැහැ. මොකද දරුවොත් අද සමහර තාත්තලාට වඩා දේවල් දන්නවා. ඒ නිසා අපි තමයි සියල්ල දන්නේ, අපි කියන විදියටම අනිත් අය වැඩ කළ යුතුයි කියලා ආණ්ඩුව වගේම අනිත් පාර්ශ්වත් හිතන්න නරකයි. සියලූ දෙනා සියලූදෙනාගේ හඬට කන්දීලා නම්‍යශීලී වෙලා වැඩ කළොත් කාටවත් වරදින්න පරදින්න විධියක් නෑ. බුද්ධිමතුන් සමාජයේ සුවිශේෂ කොටසක්. හැමෝටම ඒ තත්ත්වයට එන්න බෑ. දොස්තරයි කොන්දොස්තරගෙයි අධ්‍යාපන මට්ටම වෙනස්. ඒත් මේ දෙන්නාම සමාජයේ ඉදිරි ගමනට වැදගත්. උගතුන් තම විශේෂ හැකියාවට සහතිකයක් හා සමාජ පිළිගැනීමක් ලැබූ අය. ඔවුන් ගැන අපි ගෞරවයෙන් ක‍්‍රියා කළ යුත්තේ ඒකයි. ජනාධිපතිතුමා හා ආණ්ඩුවේ බහුතරයක් මේක හොඳින් තේරුම් අරන් ඉන්නේ. උගතුන් ඉල්ලන දේ සාධාරණ ප‍්‍රමාණයකට හරි ඉටු කරන්න ලැබුණොත් එහි ප‍්‍රතිලාභය එන්නේ රටට හා අනාගත පරපුරටයි. ආණ්ඩුව මේක තේරුම් අරන් ඉන්නේ. රටක් ලෙස අපට තියෙන ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර නිසයි. යම් ගැටලූවක් තියෙන්නේ.   ප‍්‍රශ්නය: 6% ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු බව යුනෙස්කෝ සංවිධානය ලෝකයේ සියලූ රටවල් වලින් ඉල්ලූවිට ශ්‍රී ලංකාව ඇතුළු සියලූ රටවල් ඊට එකඟ වුණා. ඒත් 6% ට යාම කෙසේ වෙතත් යුද්ධ කාලේ වෙන් කළ මුදලටත් වඩා අඩු ප‍්‍රතිශතයකුයි අද අධ්‍යාපනයට මේ ආණ්ඩුව වෙන් කරන්නේ? පිළිතුර:x 6% ද 07% ද ගැන මම කතා කරන්නෙ නෑ. පුළුවන් නම් 20% ක් අධ්‍යාපනයට වෙන්කළත් ඒක හොඳයි. ඒත් හැම රටකටම මේක කරන්න අමාරුයි. ළඟ එන අයවැයෙදී අධ්‍යාපනය වෙනුවෙන් උපරිම සාධාරණක් ඉටුවේවි කියලා හිතනවා. මොකද අධ්‍යාපන අවශ්‍යතාව දැන් සමාජ කතිකාවතක් බවට පත්වෙලයි තියෙන්නේ. ඒත් දැනට ලංකාවේ අධ්‍යාපනයට මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා හා වෙනත් අංශ වලින් සැලකිය යුතු ප‍්‍රතිශතයක් වෙන් වෙනවා. ඒත් තවත් වැඩි කළ යුතුයි. ඒක කළ හැකි නම් හොඳයි. බි‍්‍රතාන්‍ය හිටපු අගමැති බ්ලෙයාර් කිව්වෙ රටේ පළමු, දෙවන හා තෙවන ප‍්‍රමුඛතාව විය යුත්තේ අධ්‍යාපනය බවයි. නිසි අධ්‍යාපනයක් ලැබුණොත් මේ ප‍්‍රශ්නවලින් බහුතරයක් විසඳෙන බව විශේෂඥ මතයයි.   ප‍්‍රශ්නය: මේ රටේ වත්මන් ඇතැම් ඇමැතිවරුන්ගේ පුතුන්ගේ හැසිරීම් සමාජ විරෝධී බව කාගේත් පිළිගැනීමයි. මේ ගැන සියලූ ඇමැතිවරුන් නිහඬව සිටියදී ඔබ ඒ ගැන පළකළ යථාර්ථවාදී මතය තුළ ඔබට විශාල ජනතා ප‍්‍රසාදයක් ලැබුණා. ඔබ එතරම් එඩිතර ප‍්‍රකාශයක් කළේ ඇයි? පිළිතුර: මම වෙනත් ඇමැතිවරුන්ගේ පුත්තු ගැන කතා කළේ නෑ. මම කතා කළේ මම දරුවෝ හදපු හැටි ගැනයි.  මගේ පුත්තු 02 යි, දුල 02 යි. ඔවුන් නයිට් ක්ලබ් එකක් දැකලවත් නෑ. මත්පැන් හෝ වෙන වෙන දේවල් පාවිච්චි කරන්නේ හෝ ඊට පස්සෙ කවුරුවත් එක්ක ගුටිබැට ගහගන්නෙත් නැහැ කියලයි මම කිව්වේ. සමහරුන්ට ඒක රිදිල තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. මටත් මගේ බිරිඳටත් ආදර්ශමත් දරුවො හතරක් හදන්න ලැබීම භාග්‍යයක්. ඔවුන් උදේ හවස අපට වඳිනවා. ජනතාවට ආදරේ කරනවා. රණ්ඩු කරගන්නෙ නෑ. නයිට් ක්ලබ් ගානෙ රස්තියාදු වෙන්නෙ නෑ. එහෙම දරුවො මට කොච්චර ආඩම්බරයක්ද? මගේ පියා ටී.බී. තෙන්කෝන් මැතිතුමාගෙන් මට ලැබුණු දේයි මමයි බිරිඳයි අපේ දරුවන්ට දීල තියෙන්නේ. 97 දි මට කම්කරු නියෝජ්‍ය ඇමැතිකම ලැබුණාම මම ගෙදර ගිහින් දරුවන්ට කිව්වේ මේ ඇමතිකම ලැබුණෙ මට විතරයි ඔයාලට නෙවෙයි කියලයි. ඔයාල හිතුවක්කාරීවෙලා ප‍්‍රශ්නයක් ඇති කරගත්තොත් මම මැදිහත්වෙන්නෙ නෑ කියලත් කිව්වා. අප්පච්චිගේ ඒ වචන ටික නිසායි අපි හරියට හැදුනේ කියලයි මගේ දරුවො අද කියන්නෙ. මේ ඇමැතිකම් තාවකාලික බවත් අපේ දරුවො තේරුම් අරන් පොළොවේ පය ගහල ඉන්නේත් ඒකයි. ‘‘පූජාසනයේ  ඔබ හිඳවා පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ’’ කියන ගීතය මගේ හොඳම ගීයයි. අපේ දේශපාලකයො උදේ හවා ඒක ඇහුවොත් හොඳ බව මගේ අදහසයි.   ප‍්‍රශ්නය: එදා එජාප කාලේ විනිශ්චයකාරවරයකුගේ ගෙදරකට ගල් ගැසීමට හූ කීමට එරෙහිව හඬ නැගූ ශ්‍රීලනිප ප‍්‍රමුඛ මේ ආණ්ඩුව අද උසාවිවලටත් ගල්ගසා තීන්දුවලටත් බලපෑම් කරමින් විනිශ්චයකරුවන්ටත් පහරදී පැහැරගැනීමට උත්සාහ කිරීම ඛේදවාචකයක් බවයි සමහරු කියන්නේ? පිළිතුර: හැම ආණ්ඩුවක්ම අධිකරණයට ඍජු හා වක‍්‍රව බලපෑම් කරන්න උත්සාහ කළා. ජේ.ආර්. නෙවිල් සමරකෝන් අග‍්‍රවිනිශ්චයකාරකමට පත්කරලා වාසිදායක තීන්දු ගන්න හිතුවක් ඔහු නීතිය අකුරට කළා. ඊළඟට හිටපු සරත් එන්. සිල්වා අග‍්‍රවිනිශ්චයකාරතුමා වැරදි තීන්දු දීපු බවට හා විපක්‍ෂය සෝද පාළුකළාය කියලා විපක්‍ෂනායකතුමා ඔහුට ප‍්‍රහාර එල්ල කරනවා. වෙනත් ආණ්ඩු අධිකරණයට බලපෑම් කළාට මේ ආණ්ඩුවත් ඒ වැරදි කළයුතු නෑ. මොකද මේ තරම් ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ තිබිල නෑ. ඒ නිසා ජනතා සහය තිබෙන මේ වගේ ආණ්ඩුවකට අධිකරණයේ වක‍්‍ර සහාය ලබාගැනීමේ අවශ්‍යතාවක් නෑ. අධිකරණ සේවා කොමිසමේ ලේකම්තුමාට ප‍්‍රහාර එල්ලවීම රටේ නීතියට එල්ල වූ ප‍්‍රහාරයක්. ජනතාවට සිදුවූ අසාධාරණයක්. ඒ වෙලාවේම ඒක හෙළා දකිමින් ජනාධිපතිතුමා පොලිසියට නියෝග කළේ වහාම සැකකරුවන් අල්ලන ලෙසයි. එතුමා නියෝගකළ යුතුත් නැහැ. වැරදිකරුවන් ඇල්ලීම පොලිසියේ වගකීමක්. ඒත් ජනාධිපතිතුමා ක්‍ෂණිකව ඒ නියෝගය කළේ මේ ප‍්‍රහාරය ගැන ආණ්ඩුවට ඇඟිල්ල දිගුවීම අසාධාරණ නිසයි. කවුරු කළත් මේ ප‍්‍රහාරය නින්දිතයි. ඒ නිසා වරදකරුවන් අල්ලා ගත යුතුමයි. එහෙම කරලා ආණ්ඩුව ගැන සමහරු මතු කරන සැක දුරුකරගැනීම අපි කළ යුතු වෙනවා. මේ ප‍්‍රහාරය ආණ්ඩුවෙන් කළා කියලා මට හිතෙන්නෙ නැහැ. මේ වගේ බලවත් ආණ්ඩුවකට ඔය වගේ පොඩි දෙයක් කරලා නින්දිත විදියට මඩ නාගන්න ජනතා අප‍්‍රසාදයට පත්වෙන්න ඇති වුවමනාව මොකක්ද? සමහරු වගේ මම මේක ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් කියලා විහිළු කතා කියන්නෙත් නෑ. වෙනත් අරමුණු ඇති අය වෙනත් ප‍්‍රයෝජනයක් ගන්න මේ ප‍්‍රහාරය එල්ල කළාද කියන සැකය මට තියෙන්නේ. අධිකරණයට අත ගහපු නායකයො ඉතිහාසයේ කළු පාටින් ලියවිලා තියෙන්නේ. ඒ එක්කම ඔවුන් විනාශවෙලා ගියා. කාගෙන්වත් හොඳක් අහන්නත් ලැබෙන්නෙ නෑ. ඒත් මේ ජනාධිපතිතුමා නීතිඥයෙක්. ත‍්‍රස්තවාදයෙන් රට බේරාගත් කෙනායි. එතුමා මේ වගේ කළුලප ඇති කරගන්න ක‍්‍රියා නොකරන බව අපට විශ්වාසයි.   ප‍්‍රශ්නය: ආණ්ඩුව පිටින් යන්නට වෙනත් පාර්ශ්වයක් විනිශ්චයකාර මංජුල තිලකරත්න මහතාට පහරදුන්නා නම් වහා ක‍්‍රියාකාරී වී පහරදුන් අය අල්ලා ගැනීමෙන් ආණ්ඩුවට ලෝකය ඉදිරියේම නිර්දෝෂී බව ඔප්පු කළ හැකියි. ඒත් එසේ ක‍්‍රියා නොකරන්නේ ඇයි. ශ්‍රී ලංකන් සභාපති වූ ජනාධිපතිගේ ළඟම ඥාතියාගේ නිවස කොල්ල කෑ අය දින කිහිපයක් තුළ අල්ලාගත් පොලිසියට මේ ප‍්‍රහාරකයනුත් අල්ලාගන්න බැරි ඇයි? ඔබත් හිටපු පොලිස් ලොක්කෙක් නේද? පිළිතුර: මේ ප‍්‍රහාරයත් අනිවාර්යෙන්ම අල්ලාගත යුතුයි. පොලිසිය ඒක කරාවි කියලා මම දැඩි විශ්වාසයකින් ඉන්නේ. ඒත් යම් කාලයක් ඊට අවශ්‍ය වේවි. ජනාධිපතිතුමාගේ ඥාතියාගේ ගේ බිඳපු හොරු දවසින් ඇල්ලූවා කියලා මාධ්‍ය කියනවා. ඒත් දවසින් අල්ලපු වෙන දේවල් මාධ්‍ය පළකරන්නෙ නෑ. සමහර සැකකරුවො අල්ලන්න දිගු කාලයක් යනවා. ඒත් මංජුල මහතාට ගහපු අය නම් ඉක්මනින් සොයා නොගත්තොත් ඒකෙ වැඩිම අවාසිය අපටයි.   ප‍්‍රශ්නය: ඒත් මාධ්‍යකරුවන් මරපු අතපය කඩපු මාධ්‍ය ආයතන ගිනිතියපු කවුරුවත් තාම අල්ලා නෑ. ඒ තුළ ඊට ආණ්ඩුවේ අනුග‍්‍රහයක් තිබේද යන්නයි සමහරු මතු කරන්නේ. මේකත් ප‍්‍රහාරකයන් සොයා නොගත් සිද්ධියක්ම වේවිද? පිළිතුර: එහෙම වුණාම ආණ්ඩුවට චෝදනා එල්ලවීම  බැහැර කරන්න බැරි තත්ත්වයක්. මම කියන්නෙත් එවැනි සැක ආණ්ඩුව ගැන ඇති නොවීමට හා කාටත් නිදහසේ බිය සැක නැතිව නීතියේ ස්වාධීන බව රැකෙන රටක ජීවත්වීමේ සහතිකය ලබාදෙන්නට නම් මේ ප‍්‍රහාරකයන් ඉක්මනින් අල්ලාගත යුතු බවයි. ඒක කරන්න පොලිසියට හැකිවේවි කියන දැඩි විශ්වාසයක් මට තියෙනවා. ජනතාවට ඉක්මන් සහන අවශ්‍ය බවත් ජනතාව අතරේ ඉන්න මට හොඳට දැනිල තියෙනවා. නිෂ්පාදනය වැඩිකරන ඒ හරහා රටට ආදායම් ලබන ක්ෂේත‍්‍ර ගැන ආණ්ඩුව වැඩි අවධානයෙන් ක‍්‍රියා කළයුතු බවත් මගේ අදහසයි. ළඟ එන අයවැයේදී එම අවශ්‍යතා ඉටු වේවි කියල කවුරුත් අපේක්‍ෂා කරනවා.
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග