කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



මළ ගමට තැබීමට ආයතනයෙන් දුන් මල්වඩමෙනුත් සියුම්ව ගසා කා කොළේ ඉරාගත් හාදයකු පිළිබඳව කතාවක් ගාලු‍ පුරෙන් අසන්නට ලැබේ.
අසනීපව සිටි සේවකයෙක් මිය ගියේය. එම සේවකයාගේ නිවස ආසන්නයේම සිටියේ ඔහුය. ඒ නිසා මියගිය සේවකයාගේ නිවසේ තැන්පත් කිරීමට මල් වඩමක් ගෙන ඒමට පැවරුණේ ඔහුටය. ඒ සඳහා ආයතනයෙන් ඊට අවශ්‍ය බැරපැන ගෙවනු ලබන බවද ඔහුට දැන ගන්නට ලැබිණ. ඔහු එදා නගරයට ගියේ එයටය.
සේවකයාගේ අවසන් කටයුතු සිදු කරන දිනය බැවින් එදින ඔහු මල් වඩම රැගෙන එන අතරේ සිය සේවා ස්ථානයේ පිරිසද පැමිණ සිටියහ. මල් වඩම සූදානම් කොට තිබූ ඔහුට මළ ගමට සහභාගීවීමට යතුරු පැදියෙන් එන හිතවතකු හමුවුණේය. හිතවතාත් එම මළ ගමට එන බැවින් ඔහු එම යතුරු පැදියේම මල් වඩමද ගෙන ආවේය. ගෙන ආ මල් වඩම මළ ගෙදර නිවසේ තැබූ ඔහු සිය කාර්යාලයේ අනෙක් අය සමග ආගිය කතා බහේ යෙදී සිටියේය. 


මළ ගම නිමාවිය. මළ ගමට තැබීමට එදා රැගෙන ආ මල්වඩමට අතින් ගිය වියදම ලබා ගැනීමට හේ වවුචරයක් ආයතනයට ඉදිරිපත් කළේය. ඒ සතියකට දෙකකට පමණ පසුවය. එහි වියදම් දෙකකි. එකක් මල් වඩම සඳහාය. අනෙක් වියදම ත්‍රීරෝද රථ ගාස්තුවකි. මේ වවුචරය පරීක්ෂා කිරීමට දුන් සේවිකාව එදා ඔහු මල් වඩම රැගෙන ආ අයුරු සියැසින්ම දුටුවාය. ඇය ඔහු කැඳවා මේ ගැන විමසුවාය. මල් වඩම රැගෙන ආ යතුරු පැදිකරු ඒ සඳහා මුදල් ලබා ගත්තේ දැයි ඇය ඔහුගෙන් ඇසුවාය.
එම වියදම කපා දමන ලෙස ඔහු ඇයගෙන් ඉල්ලා සිටියේ මේ බව කාටවත් නොකියන ලෙසද ඉල්ලමිනි. එහෙත් වැඩේ පත්තුවී ගියේය. කාර්යාලයේ කා අතරත් මේ පුවත පැතිර ගියේ ඔහුගේ පටි රෝල් වෙමිනි.