කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



සෙනඟ අඩු බස් රථයේ ටිකට් නොගෙන යාමට අපූරු ඝන දෙවි නුවණක් පහළ වූ අයකු පිළිබඳව කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
හැඩට ඇන්දත් අතේ සතේ නැත. කතාව දෝලාවෙන් ගමන පයින් වන් අපේ හාදයෙකි. මිනිහා බස් එකේ යන්නෙම ටිකට් නොගෙනය. හොරාටය. කොන්දොස්තර කොලු‍වගේ ඇස් වහලාය. මිනිහා යන බස් එකක ටිකට් එකක් ගත්තොත් එදාට ඉර පායන්නේ බස්නාහිරෙන්ය. ඇඹේනියත් එක්ක ගියත් එය එසේමය.

 එදා මිනිහා නැග්ගේ සෙනඟ නැති බස් එකකය. පස්සෙන් බස් එකට නැග්ගේය. කොන්දොස්තර කොලු‍වා බස් එක සිසාරාම බැලු‍වේ නැග්ග කෙනාව සොයා ගැනීමටය. ඒ ටිකට් කැඩීමටය. එහෙත් බස් එකට නැග්ග කෙනා නැත. බස් එකට නැග්ග අපේ මිනිහාද එහි සිටින්නේය. කොන්දොස්තරත් දැන් හොල්මන්ය. බස් එකට නැග්ග කෙනා නැත. කොන්දොස්තර හිතුවේ තමන් දැක්කේ හොල්මනක් කියාය.
අපේ මිනිහා බස් සීට් එකේ බාගෙට නිදිය. දුරින් නැග්ග කෙනකු පරිද්දෙනි. මිනිහාගේ ඇස් දෙක වැහෙන්න ලොකු කණ්ණාඩි දෙකකි. කණ්ණාඩි නොදා ආ මගියා කොන්දොස්තර සෙව්වේය. එහේම කෙනෙක් නැත. ඇත්තේ කණ්ණාඩි පැලඳි කෙනෙකි. ආයෙමත් කොන්දොස්තර සිතුවේ තමා නංවාගෙන එන්න ඇත්තේ හොල්මනක් කියාය.
මිනිහා ගමනාන්තයෙන් බැස්සේය. කණ්ණාඩි දෙක ගලවා සාක්කුවේ දමා ගත්තේය. කාර්යාලයට ගිය ගමන් අද බස් එකේ ටිකට් නොගෙන ඒමට භාවිත කළ ගණ දෙවි නුවණ ගැන ඔහු මිතුරන්ට කියමින් තමා කළ හපන්කම ගැන පම්පෝරි ගැහැව්වාලු‍.