රාස්සගල සම්පත් ප්‍රියනන්දන



බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් විස්සකට පමණ දුරකින් ඇති ගමක කෙසෙල්, පුවක් සහ පලතුරු මිලදී ගන්නා සිල්ලර වෙළෙදසල් හිමියෙක් කුඩා කඩයක් කරගෙන ගියේය.
ගමේ මිනිස්සු රැගෙන එන පුවක්, කෙසෙල්, පලතුරු වර්ග මිලට ගෙන කොළඹ ප්‍රදේශයට අලෙවි කිරීම මෙම වෙළෙන්දා බොහෝ කාලයක සිට කරගෙන ගොස් ඇත. ඔහු පදිංචි නිවසට ටික දුරකින් කෙසෙල්, පුවක් සහ පලතුරු මිලදී ගන්නා සිල්ලර කඩය පවත්වාගෙන ගොස් තිබේ. මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයේම පදිංචි තරුණයකු වෙළෙද සලට පැමිණි එම මුදලාලිගෙන් රුපියල් පන්සියක් අතමාරුවට ඉල්ලා ඇත.
‘අයියේ මට හදිසියකට රුපියල් පන්සියක් දෙන්න, දවස් කිහිපයකින් ආපසු දෙන්න’ ලෙස ඔහු ඉල්ලා තිබේ. ‘සල්ලිනම් මේ දවස්වල නැහැ’ යනුවෙන් එම මුදලාලි මොහුට පවසා තිබේ. ‘ආ එහෙනම් කමක් නැහැ මම මොකක් හරි බලන්නම් කියා’ පවසමින්, උඹට හොඳ වැඩක් කරන්නම් සිතමින් එම තරුණයා වෙළෙඳසලෙන් පිටව ගොස් ඇත. එදින සවස එම තරුණයා එම වෙළෙන්ඳාගේ ගෙවත්තට ගොස් කෙසෙල් කැනක් හොරෙන් කපාගෙන මෙම වෙළෙන්දාගේ කඩයටම රැගෙනවිත් තිබේ.


‘මුදලාලි ඇම්බුන් කෙසෙල් කීයටද ගන්නේ, මේක බලන්න කියා පවසා තිබෙන අතර,’ ‘කිලෝ එකක් රුපියල් එකසිය පනහ ගානේ තමයි ගන්නේ’ කියා මුදලාලි පවසා තිබේ. පසුව‍ මුදාලාලි කෙසෙල් කැන කිරා කිලෝ දොළහක් තිබෙනවා, වහල්ලට කිලෝ දෙකක් අඩුකර මෙම තරුණයා වෙත රුපියල් 1500 ක් දි තිබේ. එවිට තරුණයා එම මුදලත් රැගෙන වෙළෙඳසලෙන් පිටව ගොස් ඇත.
දින කිහිපයකට පසුව එම මුදලාලිගේ බිරිය ගෙවත්ත එළිපෙහෙළි කිරීමට ගොස් තිබේ. එහිදී ගෙවත්තේ තිබුණ කෙසෙල් කැන කපා ඇති අයුරු ඇය දැක තිබේ. හවස වෙළෙඳසල වසා මොහු නිවසට පැමිණි විට බිරිය මොහුගෙන් අසා ඇත්තේ ‘පැහෙන්න කලින් කෙසෙල් කැන කැපුවද’ යනුවෙනි. ‘නැහැ මම කැපුවෙ නැහැ’ යනුවෙන් ඔහු පවසා තිබේ. 
‘පොඩ්ඩක් ඉන්න මම ගිහින් බලන්නම්’ යනුවෙන් පවසා මොහු ද කෙසෙල් පඳුර ළඟට ගොස් විපරම් කර තිබෙන අතර, එකවිටම මොහුට මතක් වී ඇත්තේ අර රුපියල් පන්සියක් ඉල්ලූ තරුණයා ගෙනා කෙසෙල් කැන ගැනයි. වෙච්ච දේ ගැන ලජ්ජාවට පත්ව බිරියට එය නොපෙන්වා ‘කවුරු හරි හොරෙන් කපලා’ යනුවෙන් මොහු බිරියට පවසා හෙමින් සැරේ මාරුවී තිබේ.