(මීරිගම  විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොලොම්පුරය  බලා ගමන් ගත් බස් රියකි.  ජැන්ඩියට ඇඳ පැළඳගත් තරුණ වියේ පසුවන පුද්ගලයකු බසයට නැගුනේ කොළඹින් සැතපුම් විස්සක් පමන දුර නගරයකදීය. මුව ආවරණ දෙකක් පැළඳ මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි වැස්මක්ද  පැළඳගෙන සිටියේ අද රටේ පවත්නා තත්ත්වයෙන් ආරක්ෂා වනු පිණිසය. 


සීතලයට පළඳින තොප්පියකින්ද හිස වසා සිටි ඔහුගේ දෑස පමණක් පෙනෙන්නට තිබිණි.  ඔහු වාඩිවුණේ තවකකු හා සිටි අසුනකය. ඊළඟ නැවතුමේදී ඉදිරි ආසනයේ සිටි මගියා බසයෙන් බසින්නට සැරසෙනු දුටු තරුණයා ඒ ආසනයට යාමට පියවර නැගීය.


ඒ අවස්ථා‍වේදී බසයට නැගුනු තරුණියකි. ඇය පා පුවරුවෙන් ඉහළට ආවා පමණි. බසය ගමන් කරන්නට වූයේය. එක්වරම ඇතිවූ ගැස්ම නිසා දෙදෙනාම එකිනෙකාට හැප්පුනේය. තරුණිය එම පුද්ගලයාට නෝක්කාඩු කීවාය.


අසුනක වාඩිවීමෙන් පසුවද ඇගේ කට නතර නොවිණි. බසයේ සෙසු මගීන් තරුණයා වරදක් නොකළ බව පැහැදිලිවම දුටු නිසා කිසිවෙකු ඇගේ සහායට ආයේද නැත.


තරුණිය පුපුරු ගසද්දී තරුණයා නිහඬව අසුනට බරවිය. ඔහු කිසිවෙකුට ඇමතුමක් ගනු දක්නට ලැබිණි.  මේ සමගම තරුණියගේ දුරකතනයද හැඬවිණි. අනේ ඇත්තද අක්කේ, මම දැනගෙන හිටියේ නැහැනේ. මට අඳුනගන්න බැරිවුණා යී කී තරුණිය ඇමතුම අවසන් කරන්නට පෙරාතුමව නැගිට තරුණයා සිටි අසුන කරා ගමන් කළේ යුහුසුලු‍වය.


අනේ අයියේ මට සමාවෙන්න. මට අඳුරගන්න බැරිවුණා ඇය  කීවාය. අනතුරුව දෙදෙනා කතා බහෙන් යුතුව ගමන යනු දක්නට ලැබිණි. තරුණියට උදව් කළ පුද්ගලයා ඇගේ ඥාති සොහොයුරියකගේ සැමියා බව පසුව කළ සොයා බැලීමේදී දැන ගන්නට ලැබිණි.