කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත



වන්දනාවේ ගිය නඩේ ගුරාට සහ රියැදුරුට ජීවිතයේ කවදාවත්ම අත්විඳීමට නොවූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් ඇසෙන්නේ ඌරගස්මංහන්දියෙනි.
කට්ටියම ඌරගහය. ගියේ අම්පාරටය. නැවතුණේ විශ්‍රාම ශාලාවකය. එහි එක් කාමරයක නඩේ ගුරා සහ රියැදුරුය. මේ දෙන්නා එදා රෑ වේලාසනින්ම නින්දට ගියේ පසු දා පාන්දරම වන්දනාවේ අවසානයක් දැකීම සඳහා පසු දින යා යුතු තැන් සිත්හි තබාගෙනය.
මධ්‍යම රාත්‍රිය ළං වෙමින් තිබිණ. රියැදුරා හදිසියේම නැගිට්ටේය. නඬේ ගුරා නින්දේය. ඒ තමාට නිදාගන්න නොදී කොණ්ඩෙන් ඇද්දා යැයි කියමිනි. නඩේ ගුරා අන්දුන් කුන්දුන්ය. තමා නොකළ දේකට රියැදුරා බැනීම ඔහු නොඉවසුවේය .දෙන්නා අතර පොඩි කතාබහක්ද ඇති විය. යළිත් දෙන්නාම නිදන්නට ගියහ.
ගතවූවේ කෙටි වේලාවකි. නඩේ ගුරාගේ කකුලක එක් ඇඟිල්ලකින් ඇද්දේය. ඔහු ද නැගිට්ටේ රියැදුරුට බැන බැන ය. ඒ තමාට නිදාගන්න නොදී කකුලෙන් ඇද්දා යැයි කියමිනි. රියැදුරාද දැන් ෆුල් හොල්මන්ය. තමා නොකළ වරදකට නඩේ ගුරා බැනීම ඔහුද නොඉවසුවේය.


දෙන්නා අතර දැන් ලොකු කතාබහක්ය. නඩේ ගුරා රියැදුරා ඇද්දා යැයි කියන කකුලේ ඇඟිල්ල දෙස බැලු‍වේ ඇඟිල්ලෙන් ආ සුළු වේදනාව නිසාය. එම ඇඟිල්ලේ හීනියට දත් පහරක් තිබීම නිසා මෙය රියැදුරා නොකරන්නට ඇතැයි නඩේ ගුරා සිතුවේය. ඒ බව ඔහු රියැදුරාට කීවේය. මේ සමගම දෙන්නාටම ආවේ ලොකු බයකි. මෙය හොල්මනකගේ වැඩක් යයි ඔවුහු සිතූහ.
ඒ අනුව දෙන්නාම තීරණය කළේ කාමරයේ විදුලි පහන දල්වා නිදා ගැනීමටය. දෙන්නාම සිටියේ නින්දත් නොනින්දත් අතරය. පොඩි ශබ්දයක් ආවේය. දෙන්නාම තිගැස්සී නැගිට්ටෝය. දෙන්නාගේම මුහුණුවල දාඩියය. ඒ එක්කම ඇඳ යටින් මීයෙක් බිත්තිය දිගේ දිව යමින් සිටියේය. වන්දනාවේ ආ මේ දෙන්නා කොසු පහරදී මේ මීයා මරා දැම්මෝය. මරා දැමූ මීයා නඩේ අනෙක් අයට පෙන්වා තමන්ට වූ අලි ඇබැද්දිය මොවුන් දෙදෙනා කීවේ අනෙක් අය පුදුම කරවන්නටය.