පෝද්දල - සරත් ආනන්ද ගමගේ
වියපත්ව සිටින මව දිනපතා නෑම සහ ඇඟ සේදීම නිසා විශාල ජල බිලක් ලැබෙන බව පවසා බිල්පත වෙනස් කර තම වැඩිමහල් සහෝදරයාගෙන් සල්ලි කඩාගන්න ගිය බාල සහෝදරයකු ගැන කියැවෙන අපූරු කතාවක් ගාලු පුරයේ හිනිදුම්පත්තුවේ ගමකින් පසුගිය දා අසන්නට ලැබුණි.
දරුවන් සිවු දෙනකු සිටින වියපත් මවකි. ඇගේ සැමියා දිවියෙන් සමුගෙන ඇති අතර මහ ගෙදර බාල පුතු නමට පවරා තිබුණි. එහි පදිංචිව සිටි ඇය ලේලිය හා විසීමට නොහැකි බව පවසමින් ඉන් ඉවත් වී ආසන්නයේම පදිංචි දියණියගේ නිවසේ පදිංචිව සිටියාය.
මීට මාස පහ හයකට පෙර ඇගේ කකුලේ තුවාලයක් සෑදී බරපතළ ලෙස අසනීපව රෝහලේ සති දෙකක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත. ඇගේ ඉල්ලීම පරිදි සුවපත් වීමෙන් පසු නැවත මහ ගෙදර පදිංචියට පැමිණියාය.
මෙතැන් පටන් ඇගේ සියලු වියහියදම් දරා ඇත්තේ අග නගරයේ වෙසෙන වැඩිමහල් පුත්‍රයා විසිනි. ඔහු විසින් නැගණිය නමට එවන මුදල් ඇය අම්මා වෙනුවෙන් වියදම් කර ඇත. කෑම බීම පවා ඇය නිවසේ සකස් කරගෙනවිත් මවට කැවීය. පෙවීය.
ගිං ගඟ අසබඩ පදිංචි වී සිටීම නිසා දිනපතා නෑමට හෝ ඇඟ සේදීමට එම මව පුරුදු වී සිටියාය. දැන් මේ නිවසේදීද ඇය ඒ පුරුද්ද කරගෙන ගියාය. මේ ළඟදි දිනක බාල පුත්‍රයාගේ පුතා විසින් “මේ වතුර බිල අම්මා ආච්චිට දෙන්න කිව්වා” යැයි කියමින් ජල බිල්පතක් ගෙනැවිත් දී තිබේ. එය රුපියල් පන්දහස් ගණනක බිලකි. දියණිය පැමිණි විට බිල්පත ඇයට ලබා දී ඇති අතර ඇය ඒ බව වැඩිමහල් සොයුරාට දැනුම් දුන්නේය. ඔහු එම මුදලද ඊළඟ මස සිට ගෙවන බව මල්ලිට දැනුම් දෙන්නැයි පවසා ඇත.
ප්‍රජා ජල ව්‍යාපෘතියකින් මෙම ප්‍රදේශයට ජලය ලබා දෙන අතර මේ බිල්පතේ සඳහන් මුදල ඇදහිය නොහැකි මුදලක් බව නැගණිය විසින් අයියාට දැනුම් දුන්නේය. “හරි මම එන්නම්” කියා එම සති අන්තයේම ඔහු පැමිණ ඇත්තේ ඈත පළාතක වෙසෙන අනිත් සහෝදරයාටද ගමට එන්නැයි දැනුම් දී ඔහුද කැඳවාගෙනය.
ඔවුන් පැමිණ එකවරම මෙවැනි අතිවිශාල ජල බිල්පතක් ලැබුණේ කෙසේදැයි බාල මල්ලිගෙන් විමසා ඇත. සහෝදර දෙපලගේ ඉල්ලීම පරිදි ඒ අසල පදිංචිකරුවන් කිහිප දෙනකුම ජල බිල්පතුත් රැගෙන මෙම නිවසට පැමිණ තිබුණි. එහිදී හෙළිවූයේ ඔහුගේ බිරියගේ බලකිරීම මත අටසිය ගණනක් වූ බිල්පතේ මුලට “5” ඉලක්කමක් යෙදූ බවය. එම ජෝඩුව සහෝදරයන්ගේ හා අසල්වාසීන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වී ඇත. අම්මා වෙනුවෙන් වැය කළ වතුර ටිකටත් අයියාගෙන් ගාණක් කපාගන්න ගිය මේ අපූරු මල්ලි හා ලේලිය පිළිබඳ කතාව දැන් ප්‍රදේශය පුරා පැතිර ගොස් ඇති අතර සිද්ධියට මුහුණ දුන් ජෝඩුව මේ දිනවල මුහුණ සඟවාගෙන සිටින බව තතු දත්තෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd