සිය නිවෙසින් මව එළවා දැමීමට සමථමණ්ඩලයට ගිය දියණියක් අවුරුදු තිස් ගණනක් තිස්සේ සඟවා ගෙන තිබූ රහසක් හෙළිවීම නිසා මවට වැඳ සමාව ගෙන ගෙදරට කැඳවාගෙන යාමේ පුවතක් ගාලු‍ දිසාවෙන් වාර්තා වේ.

මවට විරුද්ධව සිය දියණිය විසින් කරන ලද පැමිණිල්ලක්  සමථමණ්ඩලයේ දී විභාගයට ගත් අවස්ථාවේ දී දියණිය  කරුණු දක්වමින් මෙසේ කීවාය. 

‘මහත්තයෝ මේ මගේ අම්මා. මෙයා අම්මා කෙනෙක් නොවෙයි. යක්ෂණියක්. මගේ මේ කුඩා දරුවගෙ ඇඟට උණු වතුර දාල පුච්චන්න හැදුවා’

දියණිය මවගේ කතාවට බාධා කරමින් කීවාය.

‘මේ වයසක මම කොහේ කියල යන්නද? මට යන්න තැනක් නැහැ. මට වෙන දරුවෝ ඇත්තෙත් නැහැ. මට මේ කිරි සප්පයන්ගේ මුහුණ නොබල ඉන්න බැහැ. ගෙයි අගුපිළිකන්නක හරි මට ඉන්න දෙන්න කියන්න’

මහලු මව සමථමණ්ඩලය ඉදිරියේ බැගෑ පත්වෙමින් කීවාය.

 බෙල්ල වැසෙන සේ හැට්ටයේ බොත්තමක් ඉහළින් සවි කර තිබිණි. අත් දෙකේ අල්ල ළඟට දක්වාම හැට්ටයේ අත් දිගට මව ඇඳගෙන සිටියාය. වරෙක හැට්ටයේ අතින් කඳුළු පිස දැමුවාය.

සමථකරණ නිලධාරීන් දියණියට නොයෙක් විදියේ කරුණු පැහැදිලි කර දෙමින් මව සිය නිවෙසේ රඳවා ගන්නා ලෙස ඉල්ලා සිටියත් ඇය තම ස්ථාවරය වෙනස් කිරීමට කැමැති නොවූවාය.

බේරුමක් කිරීමට නොහැකි වූ තැන දෙදෙනා වෙන වෙනම ගෙන කරුණු විමසන්නට වූ විට සමථකරණ නිලධාරීන් ඉදිරියේ අවුරුදු තිස් ගණනක රහසක් හෙළිවිය. සියලු‍ කරුණු දැනගත් නිලධාරීන් මවට පවසා සිටියේ දියණිය ඉදිරියේ රහස හෙළි කරන ලෙසය.

‘මහත්තයෝ මම බොරු නෙවෙයි කියන්නේ. මම කුරාකූඹියෙකුටවත් හිරිහැරයක් කරන්නේ නැහැ. අවුරුදු තිස් ගණනක රහසක් තමයි මම මේ කියන්නේ. මාව විශ්වාස කරන්න’ 

දහදියෙන් සහ කඳුළු වලින් තෙත බරිතව ඇඳ සිටි හැට්ටයේ උඩ බොත්තමේ සිට බොත්තම් කිහිපයක් විවර කරමින් පපු ප්‍රදේශයේ තිබූ පැරණි පිළිස්සුම් තුවාල කිහිපයක් පෙන්වූවාය. 

‘මහත්තයෝ මේ තියෙන්නේ මගේ ඇඟට උණු වතුර වැටිල පිච්චුණු තුවාල. හම එකට ඇලිල තිබෙන්නේ. මගේ අත් දෙකත් ඒ වගේමයි. මේ කැළැල් වැහෙන්නයි කර වහල අත් දෙක දිගට හැට්ටය අඳින්නේ’

‘ඉතිං අම්මේ කොහොමද මේ විදියට උණු වතුර ඇඟට වැටුණේ. මේ දුව උණු වතුරෙන් පිච්චුවද? නැතිනම් කවුරුවත් ඇසිඩ් ගැහුවද?’  
සමථකරණ නිලධාරීහු විමසා සිටියහ.

‘නැහැ...නැහැ...මහත්තයෝ..කවුරුවත් මාව පිච්චුවේ නැහැ. මේ මගේ දුව පයින් යන්න පටන් ගත්ත කාලයේ උණු වතුරෙන් ඇයව සෝදන්න මම උණු වතුර හැළියක් රත් කළා. එළියේ පොල් කොටයක් උඩ බේසම තියල උණු වතුර ඒකට හැලු‍වා. උණු වතුර නිවා ගන්න ඇල් වතුර බාල්දියක් ගේන්න යන්න හදන විට මේ දුව දුවගෙන ඇවිත් උණු වතුර එක ඇඟට හළා ගන්න හැදුවා. මම බාල්දිය වීසි කරල දිවගෙන ඇවිත් උණු වතුර බේසම මගේ පැත්තට ඇද්දා. ඒ මොහොතේ උණු වතුර වැටිලයි මගේ ඇඟ පිච්චුණේ. 


‘‘මේ දරුවා අද වනතුරු මේ රහස දැනගෙන හිටියේ නැහැ. මම මේ විදියට පිච්චුණේ කොහොමද කියල මගේ දුව ඇසූ වාර ගණන අනන්තයි. මම පිච්චුණේ දුව නිසා කියල මේ වනතුරු කිව්වේ නැහැ. එහෙම කිව්වනම් දුවගෙ හිත පෑරේවි කියල හිතුවා. ඒ වගේම පවුලේ අනෙක් උදවියත් දරුවට දොස් කියාවි කියල හිතලයි මම කාටවත් මේ රහස නොකිව්වේ. මගේ අතින් පිච්චුණා කියලයි කිව්වේ.

එදා මම මේ විදියට උණු වතුර එක මගේ පැත්තට නොගත්තනම් මගේ දුව එදා පිච්චිලා මැරෙනවා. එහෙම කරපු කෙනෙක් වන මම කොහොමද කිරි සප්පයෙක් පුච්චන්නේ මහත්තයෝ’
වියපත් මව ඉකි ගසමින් හඬන්නට වූවාය.

‘අනේ මගේ බුදු අම්මේ!’මෙතෙක් කාලයක් සඟවා ගෙන සිටි රහස දෑස් ලොකු කර මහත් විමසිල්ලෙන් අසා සිටි දියණිය මහ හයියෙන් විළාප දෙමින් අම්ම බදාගෙන අඬන්නට වූවාය.

අම්මා ආච්චිව බදාගෙන අඬන විට කුඩා මිණිබිරිය ද අඬන්න වූවාය.

‘අනේ අම්මේ මම මෙච්චර දවසක් වෛර කළේ මගේ බුදු අම්මට යි. මේ වගේ රත්තරං අම්ම කෙනෙකුට වෛර කරන්න තරම් මම මහා පව් කාරියක් වුණා. අනේ අම්මේ මට සමාවෙන්න. අම්මා අපිව දමල කොහේවත් යන්න එපා. අම්මා මැරෙනකල්ම මා ළඟම ඉන්න’ 
දියණිය මවගේ දෙකකුල් අල්ලා වැඳ වැටෙමින් සමාව ඇයද සිටියාය. මවත් දියණියත් මිණිබිරියත් සමථමණ්ඩලයෙන් පිට වූයේ සතුටු කඳුළු වගුරුවමිනි.

බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා