පෝද්දල - සරත් ආනන්ද ගමගේ 



මහනුවර ප්‍රදේශයේ තරු හෝටලයක පැවැති සුපිරි මංගල්‍යයක අසිරි සැප විඳීමට ගිය පුද්ගලයන් දෙදෙනකුට වසුරු සැප ලැබී ඇති කතාවක් ගැන පුවතක් බස්නාහිර පළාතෙන් පසුගිය දා අසන්නට ලැබුණි.
මහ තැපැල් කන්තෝරුවේ කලකට පෙර විශ්‍රාම ගිය නිලධාරියකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයකි. ඒ සඳහා ආයතනයේ තවමත් සේවයේ යෙදෙන දෙදෙනකුට පමණක් ආරාධනා ලැබී තිබුණි. උත්සවය පැවැත්වෙන්නේ මහනුවර ප්‍රදේශයේ තරු හෝටලයකය. තමන් දෙදෙනාට පමණක් ලැබී තිබුණු මේ ආරාධනය පිළිබඳව මාසයක පමණ කාලයක් තිබූ බැවින් දෙදෙනා කැන්ටිමේ අහුමුළුවල ඒ පිළිබඳව සතරකන්මන්ත්‍රණ පවත්වා ගමන යාමට තීරණය කළෝය.
මේක සුපිරි මඟු‍ලක් නිසා නිසි පරිදි යා යුතු බැවින් ඇඳුම් කුලියට දෙන ස්ථානයකින් දෙදෙනා ෆුල් ෂූට් දෙකක් රුපියල් 6,000ක් දී කුලියට ගත්තෝය. දුම්රිය ද මේ දිනවල ධාවනය නොවන බැවින් ෆුල් ෂූට් පිටින් බස් එකේ යන්නට නොහැකි නිසා කලින් දින ගොස් තරුණ බෞද්ධ සමිති ශාලාවේ කාමරයක් රුපියල් 350ක් දී වෙන් කරගත්තෝය. එදින පොඩි අඩියක් ගසමු දැයි එකෙක් විමසුව ද, හෙට සුපිරියටම බොන්න ලැබෙන නිසා අද අමුවෙන්ම ඉඳිමු යැයි අනිකාගේ යෝජනාව අනුව දෙදෙනා සයිවර් කඩයකින් රෑ ආහාර ගෙන පසු දා ගමනට සැප නින්දක් දැම්මෝය.


පසු දා පෝරුවේ චාරිත්‍ර අවසන් වනවාත් සමගම දෙදෙනා තරු හෝටලයට ඇතුළු වූහ. ඇතුළේ සහ එළියේ ද අටවා තිබූ කූඩාරම්වල ද ආරාධනා ලැබූ සම්භාවනීය ආරාධිතයන්ගෙන් පිරී තිබුණි. වේටර්වරු යුහුසුළුව රට කජු, බැදපු මස් දීසි මේසවලට බෙදමින් ආවෝය. දැන් දෙදෙනා ඒවා ටික ටික අනුභව කරමින් සුපිරි බීම ලැබෙන තෙක් බලා සිටියෝය. අනෙක් මේසවල සිටියවුන් ගෙනැත් තැබූ බයිට් ගිල දැමූ අතර, හිස් වන පිඟන්වලට වේටර්වරු තව තවත් බඩු ගෙනැවිත් දැමූහ.
දහවල් දොළහ පමණ වන විට විශ්‍රාමික මිතුරාගේ බිරිඳ රිදී පැහැති ට්‍රේ එකක වතුර වීදුරුවක් තබාගෙන පිරිසට කෑමට ආරාධනා කරමින් ආවාය. මේක ‘අමද්‍යප මඟු‍ලක්’ බව තේරුම් ගත් මිතුරන් දෙදෙනා ‘අමුවෙන් කොහොමද බත් කන්නේ’ යැයි කියමින් එළියට බැස්සෝය. ත්‍රිරෝද රථයක් නවත්වාගෙන එයට ගොඩ වී වයින් ස්ටෝර්ස් එකක් සොයා ගිය ද හමු වූවේ නැත. වාහන තදබදය අතර ත්‍රිරෝද රථය සිර වීම නිසා ඉන් බැසගත් දෙදෙනා නැවත පයින්ම හෝටලය කරා පැමිණියහ.
“මං හැම තැනම හෙව්වා. අන්න ගිහින් බත් කන්න” යැයි මිතුරාගේ ආරාධනාවට දෙදෙනා ‘බුෆේ’ එකට ළං වූහ. දිට්වා සුළි කුණාටුවට හසු වූවා වැනි වූ කෑම මේසයේ එවෙලෙහි තිබුණේ පරිප්පු හා මස් කටු හොද්දක් පමණි. බඩගින්නට ඉන් බත් කටවල් දෙක තුනක් ගිල දැමූ දෙදෙනා සූදානම් කරගෙන පැමිණි කවරයෙන් මුදල් නෝට්ටු කිහිපයක් ද නැවත සාක්කුවට දාගෙන කවරය බාර දී හෝටලයෙන් පිට වී පාරට බැස්සහ.
‍සිද්ධිය අපි දෙන්නා රහසක් වශයෙන් තියාගමු යැයි දෙදෙනා එකඟතාවකට පැමිණියත්, රජයේ කාර්යාලයක මේවා රහස් නොවන බව පසක් කරමින් මේ කතාව දැන් මුහුණුපොතේ ද සැරිසරන බව තතු දත්තෝ පවසති.