ගෙමිදුලේ වේළෙන්නට දමා තිබියදී අතුරුදන් වූ බව කියන රටකජු තොගයක් සොයා ගැනීමට හොරාගේ අම්මාගෙන්ම පේනයක් ඇසූ පුවතක් වයඹ පළාතේ ගමකින් වාර්තා විය.
වාර්තා වූ අන්දමට සිද්ධිය සැකවින් මෙසේය .
ගොවිතැන සිය ප්‍රධාන ජීවනෝපාය කරගත් මිනිසුන් බහුල මෙම ප්‍රදේශයේ වෙසෙන එක්තරා ගොවි පවුලකි. මෙම ඇත්තන් මෙවර යල කන්නයේ අක්කර කාලක පමණ රටකජු වගාකර තිබී ඇත.
ඒ අනුව නියමිත කාලය පැමිණී නිසා එම වගාවේ අස්වනු නෙළීම පසුගිය දිනවල සිදුකර ඇත.
එසේ නෙළා ගන්නා ලද රටකජු  අස්වැන්න අලෙවි කිරීම සඳහා හොඳින් වියළා ගත යුතුය. ඒ සඳහා සුපුරුදු පරිදි හොඳින් හිරු එළිය වැටෙන සිය ගෙවත්තේ කෙළවරක පිහිටි ස්ථානයක් තෝරා ගෙන තිබුණි.


 අදාළ ස්ථානයේ ටෙන්ට් රෙද්දක් එළා වරින් වර එහි රැගෙන එන අමු රටකජු අස්වැන්න කොටස් වශයෙන් මෙසේ වියළා ගනිමින් තිබිය දී පසුගිය දිනක උදෑසන වේළෙන්නට දැමූ රටකජු තොගයෙන් කොටසක් අඩුවී තිබෙනු අයුරු සවස කජු ආපසු නිවෙසට රැගෙන එන්නට එහි ගිය නිවැසියන්න්ට දැක ගැනීමට හැකිවී ඇත. 
උදෑසන රටකජු තොගය වේළෙන්නට දමා සවස්වනතුරු වගාබිමට ගොස් සිටි බැවින් ඒ බව දැනගත් කිසිවකු රටකජු තොගයෙන් කොටසක් සොරාගන්නට ඇතැයි යන සැකය මත ඒ ගැන දින කිහිපයක්ම විමසිල්ලෙන් පසු වුවද ඒ සම්බන්ධයෙන් යම් හෝඩුවාවක් හෝ  ලැබී නැත.
එවන් පසුබිමක් තුළ නිවැසි කාන්තාව ඒ පිළිබඳව පේනයක් බැලීම සඳහා තමන් ජීවත්වන ප්‍රදේශයේම මායමෙන් පේන කියන කාන්තාවක සිටින දේවාලයකට ගොස් ඇත.
නියමිත පරිදි බුලත් අතක තබා පඬුරු තැබීමෙන් පසුව පා සළඹ සොලවමින් දුම්මල වරම අතට ගත් කපු කාන්තාව නොතේරෙන බාසාවකින් කියා අවසානයේ ‘‘දැන් ආපසු යන්න  හොඳයි දරුවා තමාගේ නැති වූ භාණ්ඩ සියල්ලම හෙට හිරු එළිය වැටෙන්නට පෙර ලැබෙයි. පොලීසි එහෙම යන්න උවමනා නෑ. ඒ ගැන ආයෙ විපරම් කොරන්ඩ යන්ඩ ඕනැත් නෑ. ඕන් එහෙම වුණොත් මම තීට දඬුවම් කරනව තේරුණාද? උඹට මම කියපු දේ ‘‘එහෙමයි”‍ එහෙනම් ඉතිං දැන් මෙතනින්  පලා යැයි කපු උන්දෑ සැරෙන් අර කාන්තාවට  පවසා ඇත.
 ඒ අනුව යම් බියකට ද පත් වූ ගෙවිලිය වහාම එතැනින් පිටත් වී නිවසට පැමිණ ඇත. එසේ පැමිණි ඇය ඒ බව නිවසේ කිසිවකුටත් කියා නැත. එසේ වුවද පසුදිනට එළි වැටෙනතෙක් ඉවසිල්ලෙන් සිටින්නට නොහැකි වූ ඇය ඒ බව සැමියාට කියා ඇත. ඒ අනුව බිරිඳට ද හොරෙන් ක්‍රියාත්මක වූ සැමියා (ගොවි මහතා) රාත්‍රියෙහි කිසිවකුටත් හොරෙන් නිදිවරා විමසිල්ලෙන් සිටින්නට විය.
මධ්‍යම රාත්‍රි එළැඹිණි. වැට අද්දර දෙසින් එක්වර යමක් බිමට වැටෙන ශබ්දයක් ඇසිණි. එසේ විමසිල්ලෙන් සිටි නිවැසි ගොවි මහතා වහාම ක්‍රියාත්මක විය. ඒ අනුව ශබ්දය ඇසුණු දෙසට විදුලි පන්දම  එල්ල කළේය. ‘‘දෙයියෝ සාක්කි”‍ ගොවියාට කියැවිණි. 
පෙරදින බිරිඳ පේනයක් කී කපු කාන්තාවගේ බාල පුතා වැටේ පැටලී දඟලමින් සිටින අයුරු සහ ඒ ආසන්නයේ කිසියම් දෙයක් පිර වූ ගෝනියක් තියෙන අයුරු ඔහු එම අවස්ථාවේ දැක ඇත.
විදුලි පන්දම එම දෙසට එල්ල කරගෙනම ගොවි මහතා ද ඒ දෙසට දුව ගොස් ඇති එම අවස්ථාවේ දී කොලු‍වා පැනගොස් ඇති බවත් ඒ අනුව ඔහු ආසන්නයේ තිබී ඇත්තේ රටකජු සහිත ගෝනියක් බවත් දැනගෙන ඇත.

 

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි