හොඳම මිතුරකුගේ මංගල උත්සවයකට සහභාගිවී උත්සවය අවසන් වීමෙන් පසුවත් මිතුරන් හා මධුපානය කරමින් සිට යා යුතු බස් රථය මගහැරී නිරාහාරව එළිවෙනතුරුම පාරේ රස්තියාදු වූ තරුණයකු පිළිබඳ කතාවක් ගාලු පුරයේ නගරයකින් අසන්නට ලැබේ.
මෙම තරුණයා දියතලාව ප්‍රදේශයේ නේවාසිකව ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නෙකි. හෙතෙම පසුගිය දා ගමට පැමිණියේ තම හොඳම මිතුරකුගේ මංගල උත්සවයක දෙවැනි දිනය නිමිත්තෙනි. මංගල උත්සවය සතියේ දිනක පැවති අතර එදින නිවාඩු ලබාගත නොහැකිවූ බැවින් එයට සහභාගිවීමට නොහැකිවී ඇත.
සති අන්තයේ පැවැති දෙවැනි දින මංගල සාදයට මොහු කල්වේලා ඇතිවම පැමිණ සිටියේය. එය අවසානයේ නැවත දියතලාවට පිටත්ව යාමටත් ඒ සඳහා සවස 6.00 ට කරාපිටියෙන් පිටත්වන බණ්ඩාරවෙල බසයට ගොඩවීම ඔහුගේ අරමුණ වී තිබුණි.
ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කෙරුණු මංගල උත්සවය සඳහා සහභාගිවූවන්ට සප්පායම් වීමට ලැබී තිබුණේ මිල අධික මත්පැන් වර්ගයකි.
මංගල සාදය හොඳින් පැවැත්වී සවස තුන පමණ වනවිට උත්සවයේ කටයුතු අවසන් විය. නිවසේ ඉතුරු වූ මනමාලයාගේ මිතුරු පිරිස ඉතුරු වී තිබුණු බෝතල් ටිකද හිස් කිරීමට පටන් ගත්තෝය. මංගල උත්සවය පැවති නිවස ආසන්නයේම පදිංචිකරුවකු වූ අපේ කතානායකයා ද මේ පිරිස අතර විය. බෝතලයට යටවී සිටි ඔහුට සවස ආපසු ගමන මතක් වූයේ නිවසින් කතාකර පණිවිඩය දැනුම්දුන් පසුවය.
ඔහු දඩබඩගා මිතුරකු හා සමග යතුරු පැදියකින් බස් රථය අල්ලා ගැනීමට ගියේය. ඒත් ඔහුගේ අවාසනාවට ඒ අවස්ථාව වනවිට බස් රථය පිටත්වී තිබුණි. කෙසේ හෝ යායුතු බැවින් ඊට පැයකට පමණ පසු පැමිණි අම්පාර බසයට ඔහු ගොඩවී ඇත. ඒ වැල්ලවායෙන් බැස බණ්ඩාරවෙල බසයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. රෑ දහයට පමණ නිවසින් කතාකර විමසන විට ඔහු සිට ඇත්තේ අම්පාර බසයේය.
ඉන්පසු ඔහුගේ දුරකථනයෙන් ද ප්‍රතිචාර නොලැබීය. පසුදා උදෑසන ඔහුගේ පියා කතාකර ‘‘පුතා ඊයේ කීය වෙනකොට ගියාදැ”යි විමසීය. එහිදී ඔහු තමන් තවමත් මේ ”යන ගමන්” යැයි කියමින් තමා කෑ පරිප්පුව හෙළිකර ඇත. ඊයේ රාත්‍රී එකොළහට පමණ වැල්ලවායෙන් බැස ගත්තත් බණ්ඩාරවෙල බසයක් පැමිණ ඇත්තේ උදේ පහයි තිහට පමණය. දැන් දැන් බසයක් පැමිණෙතැයි බල බලා සිටි බවත් තමන් බඩගින්නේ මදුරුවන් තලමින් පැය හය හමාරක් නිදි වරමින් බසයක් බලාපොරොත්තුවෙන් සිටි බවත් පවසා ඇත.
තාත්තා විසින් පුතාට සිදුව ඇති ඇබැද්දිය අම්මාට පැවසූ විට පෙරේතකමට බොන්න ගියාට ඕක හොඳ පාඩමකැයි කීවේලු!
පෝද්දල සරත් ආනන්ද ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd