බස් රථයට රුපියල් 100 ක් දෙන්න ලෝබ වූ මගියකුට ඒ වගේ දෙගුණයක් ත්‍රිරෝද රථයකට ගෙවීමට සිදු වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයක පදිංචි මැදිවියේ පුද්ගලයකු වන මොහු දැඩිලෙස ලෝභ පුද්ගලයෙකි. රුපියලක් වියදම් කරන්නෙත් බොහෝ දුර කල්පනා කරයි. පසුගිය දිනෙක ඔහු  නගරයට ගියේ නිවසට අවශ්‍ය බඩු ටිකක් ගෙන ඒමටයි. ළඟදී නැවත නිවසට පැමිණීමට සූදානම් වී බස් නැවතුමට පැමිණි ඔහුට එක්වරම කල්පනා වූයේ බස් රථයට රුපියල් සියයක් ගෙවීමට සිදු වන බවයි. මේ අවස්ථාවේ ඔහු විවිධ පැතිවලින් කල්පනා කළේ ඒ රුපියල් සියය  ඉතිරි කර ගැනීම ගැනයි.


මෙසේ ටික වේලාවක් යන විට බස් රථයක් පැමිණියත් එම බස් රථයට ගොඩ නොවී ඔහු තව දුරටත් කල්පනා කළේ, මේ සියය ඉතිරි කරගෙන ගමට යන මාර්ගයක් ගැනයි. බස් පැමිණ පිටත්ව ගියාට පසු එම ස්ථානයට ත්‍රීරෝද රථයක් පැමිණි අතර එම ත්‍රිරෝද රථය ද මොහුගේ ගමට යන බවත් යන අයට යා හැකි බවත් රියදුරු මහතා දැනුම් දුන්නේය.
මේ ඇසු මොහුට ඉහේ මලක් පිපුණේ ත්‍රිරෝද රථයෙන් ගමට නොමිලේම යා හැකි බව සිතමිනි. දෙවරක් නොසිතා ඔහු එක්වරම ත්‍රීරෝද රියට නැඟ ගත්තේය. ත්‍රිරෝද රථය ගමට පැමිණ නැවැත්වීමෙන් පසුව ඔහු බැස උජාරුවෙන් බැස යන්නට පටන් ගත්තේය. මෙය දුටු ත්‍රිරෝද රථයේ රියදුරු ‘මාමේ සල්ලි‘ යැයි හඩ ගසා ඇසීය. මොන සල්ලි ද නිකම් එන වීල් එකනේ. නිකම් නෙවෙයි  මගීන් නංවා ගෙන ආවේ. වීල් එකේ ආවනම් සල්ලි දීල යන්න. ඔහු මුහුණ නරක් කර ගෙන රියදුරු ළඟට ගොස් රුපියල් 100 ක්  දික් කළේය. 
මේ මොකක්ද මෙතැනට රුපියල් 200 ක් ගන්නවා.  දෙසීයක් දෙන්න යැයි කීය. බස් එකට සීයයිනේ ගන්නේ. ඒ බස් එකටනේ මේක වීල් එකක්නෙ බස් එකේ 50 ක් විතර යන්න පුළුවන්. මේකේ යන්න පුළුවන් තුන් දෙනෙකුට විතරයි. තෙල්වල ගණන් දන්නේ නැද්ද?  රුපියල් 200 ක් දෙන්න යැයි නැවතත් කීය. කළ හැකි දෙයක් නොවුයෙන් හිතින් බැන බැන රුපියල් දෙසීයක් ත්‍රීරෝද රථයේ රියදුරුට ලබා දී අපේ කතානායකයා පල්ලම් බැස්සේ ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැරි බවට සාක්ෂියක් සපයමිනි.

 

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්