පංගු ක්‍රමයට ඇති දැඩි කිරීම සඳහා එළ ගවයකු රැගෙන ගිය අයකු එම සතා මසට අලෙවි කොට ගවමස් කඩයකින් ගව මළ කුණක කොටසක් රැගෙන විත් ගවයා අයිතිකරුට දී තමන් රැගෙන ගිය එළ ගවයා කොටියකු විසින් කා දමා ඇති බව කියා ගොවියකු මුළාකළ අයකු පිළිබඳ පුවතක් හසලක ප‍්‍රදේශයේ දුෂ්කර ගම්මානයකින් වාර්තා විය.
තිස් හතර හැවිරිදි වියේ පසුවෙන මොහු එදිනෙදා කුලියෙන් දිවි ගෙවන අයෙකි. මදු විතට ද දැඩි ලොල් කමක් දක්වන මොහු මිනිසුන් මුළා කර යම් යම් දේ කඩා වඩා ගන්නට රුසියකු බව ඇසුරු කරන්නෝ හොඳ හැටි දනිති. 
කපටි උගුල්වලට අසුවු අය බොහෝය. ඒ උගුල් අතේ පත්තුවී පොලිස් පොතේ නම සටහන් වී එහිදී ඇතැම් සිද්ධින් සමථ නොවන්නට හිර බත් කන්නට සිදුවීමට ද ඉඩ තිබිණි.
දින කීපයකින් කුලියක් කර ගන්නට නොහැකි වූ නිසා අතමිට ද හිඟ වී තිබිණි. ගෙදර වියදමට මුදලක් නොමැති නිසා බිරිය එන්නේ වාග් ප‍්‍රහාරයෙන්ය. මදු විත පානය කරන්නට අතේ මුදලක් ද නොමැති වු නිසා නිවසේ ආලින්දයේ කල්පනාවේ නිරත වී සිටින විට මෙදින ඔහුට පහළ වූයේ කපටි උගුලක අදහසකි. 
කිරි ගවයන් ඇති කරන ගොවියකු මොහු පදිංචි ගමට නුදුරු ගමක සිටින බව දන්නා නිසා එම ගොවියා හමුවී තමන්ට කිරි ගවයකු ඉල්ලා ගෙන ඒ සතා අලෙවි කර ගත්තොත් ගෙදර වියදමටත් තමන්ගේ අතටත් යම් මුදලක් ලබාගත හැකි බවට සිතිවිල්ලක් පහළ විය.
එම සිතිවිල්ල සපල කර ගැනීම සඳහා සවස් යාමයේ අසල ගමේ කිරි ගොවියා හමුවීමට යන්නට තීරණය කළේය. ගමන පිටත් විය. ඒ යන ගමනේදී මාර්ගය අසල පිහිටි බුලත් කොටුවක් දැක හොර රහසේ එම කොටුවට ගොඩ වී බුලත් කොළ කීපයක් ද කඩා ගෙන එය ද අතැතිව ගොවියාගේ නිවසට ගොඩ විය. නිවසට ගොඩ වු මොහු දැක ඉදිරියට පැමිණි ගොවි මහතාට දණ නමා වැඳ රැගෙන ආ බුලත් හුරුල්ල ගොවියා අතට දෙන ලදි.
නිවසට කැඳවු ඔහුට වාඩි වීමට අසුනක් දී ආගිය තොරතුරු විමසා බිස්කට් සමග කහට කෝප්පයක් ද ගොවි බිරිය විසින් පිරිනමනු ලැබීය. තේ පානය කිරීමෙන් පසු ඔහු පැවසුවේ තම බිරිය බබෙකු ලැබීමට සිටින බවත් ඇය කිරි ගවයන් ඇති කිරීමේ ආශාවෙන් පසු වෙන බවත් හැකියාවක් තිබෙනවා නම් පංගු ක්‍රමයට ඇති කිරීමට කිරි ගවයකු තමන්ට ලබා දෙන ලෙසත්ය.


ගැබිනි මවක් කරනු ලැබු මෙම ඉල්ලීම ඉවත දැමීම නුසුදුසු වන නිසා තම ගව පට්ටියේ සිටි තරුණ එළ දෙනක මොහුට ලබා දීමට ගොවියා තීරණය කර පැවසුවේ මේ සතාගෙන් ලැබෙන පළමු පැටියා තමන්ට ලබා දෙන ලෙසය. එම ඉල්ලීමට එක පයින්ම කැමැත්ත පළ කර ගොවියා ලබා දුන් තරුණ කිරි එළදෙන රැගෙන පස් වනක් ප‍්‍රීතියෙන් නිවස බලා පිය මැන්නේ තම උගුලට ගොවියා හසුවීමේ සතුටෙනි.
ගෙවීගියේ දින කීපයකි. කුඩා මල්ලක් රැගෙන මෙදින හවස් වරුවේ කිරි ගොවියාගේ නිවස බලා පිය මැන්නේ දැඩි ශෝකාකූල තත්වයකිනි. පෙර දින මෙන් මොහු නිවසට යන විට ගොවි මහතා අසල කෙසෙල් කොටුවේ කිසියම් වැඩක නිරත වී සිටි අතර එම ස්ථානය කරා වහා දිව ගිය මොහු ගොවියාගේ දෙපා මුල වැටි හඬා වැටෙමින් පැවසුවේ තමන් සාත්තු කරන්නට රැගෙන ගිය කිරි එළදෙන ගෙවත්තේ බැඳ සිටියදී පෙර දිනක රාත‍්‍රියේ කොටියකු පැමිණ රැගෙන ගොස් ඒ සතා මරා කා දමා ඇති බවත් එහි ඉතිරි කොටස් ගොවි මහතාට පෙන්වීමට මල්ලක දමා  රැගෙන ආ බවත්ය.
මේ දුක්මුසු පුවතින් ගොවියා මෙන්ම ගොවි බිරින්දෑ ද දැඩි සේ කම්පාවට පත්වූහ. සිද්ධිය එතැනින් නිමා වූ බව ඔහු සිතා පෙර මෙන්ම සතුටින් නිවස බලා ගියේ තම උගුලට ගොවියා හසුවුවා යැයි සිතමිනි.
තවත් ගෙවී ගියේ දින කීපයකි. ඔහු පදිංචි ගම බලා හොර රහසේම ගිය ගොවියාට තම එළ ගවයාට සිදුවූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව තොරතුරු එම ගම්වැසින්ගෙන් දැන ගන්නට ලැබුණෙන් මේ පුවත පොලිස් පොතේ සටහන් කිරීමට ද ගොවියා කටයුතු කළේය. පොලිසියේ විභාග වූ පැමිණිල්ලේ දී ඔහු ගවයාගේ අලාභය ගෙවීමට පොරොන්දු වූයෙන් සිද්ධිය සමතයට පත් වූ අතර එම අලාභය ගෙවන්නට ඔහුට කොළඹ ප‍්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක රැකියාවකට යාමට සිදුවූ බව ගමට නොරහසකි. 

හසලක සුනිල් ඒකනායක