• පාකිස්තානය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10ක් වටිනා අන්නාසි ආනයනය කරයි

මෙරට පලතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අන්නාසි (Ananas comosus) සහිත අඩි 20ක පළමු කන්ටේනරය පසුගියදා පකිස්තාන වෙළෙඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කටයුතු සිදු කරන ලද බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

පලතුරු සහ එළවළු අපනයනය කරන ප්‍රමුඛතම සමාගමක් වන සී ආර් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගම මෙම තොගය අපනයනය කරන ලද අතර, මෙය මෙරට නැවුම් අන්නාසි පාකිස්තාන වෙළෙඳපොළ වෙත පිවිසෙන පළමු අවස්ථාව බවත් පවසයි.

මෙම සන්ධිස්ථානය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සහ වාණිජ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සහ සමීප සම්බන්ධීකරණය මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DOA) සහ ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) විසින් ලබාදුන් වටිනා තාක්ෂණික සහයෝගය ද මූලික වී තිබේ. 

මෙම අපනයන අවස්ථාව උදාවූයේ ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේ ජාතික ශාක ආරක්ෂණ සංවිධාන (NPPOs) අතර පැවති දීර්ඝ තාක්ෂණික සාකච්ඡා සහ සමීප සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස වන අතර, එහි අවසන් ප්‍රතිඵලය වූයේ පකිස්තාන වෙළෙඳපොළ වෙත නැවුම් ශ්‍රී ලාංකේය අන්නාසි අපනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ශාක සෞඛ්‍ය විධිවිධාන  (phytosanitary arrangements) ස්ථාපිත කිරීමයි.

මිලියන 252ක පමණ ජනගහනයක් සහිත පකිස්තානය, ශ්‍රී ලංකාවේ අන්නාසි සඳහා ඉතා ඉහළ විභවයක් සහිත වෙළෙඳපොළකි. පාකිස්තානය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ වටිනාකමකින් යුත් අන්නාසි මෙට්‍රික් ටොන් 2,000-5,000ත් අතර ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.