• ජනවාරි සිට ලි තේ නිෂ්පාදනයත් කිලෝ මිලියන 153.14 ක් දක්වා සියයට 2.62 කින් පහළට
  • වසරේ මේ දක්වා උස් වගා බිම් තේ සහ හරිත තේ නිෂ්පාදනයේ ඉහළ යාමක්

මෙම වසරේ ජූලි මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 21.26ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ වාර්තා වූ කිලෝ මිලියන 21.49ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝ මිලියන 0.23 කින් එනම් සියයට 1.05ක අඩුවිමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes and Walker  ආයතනය පවසයි. 

එසේම මෙය 2024 වසරේ ජූලි මාසයේ තේ නිෂ්පාදනය වූ කිලෝ මිලියන 23.19 හා සැසඳීමේදී කිලෝ මිලියන 1.93 ක එනම් සියයට 8.33 ක අඩුවීමක් ලෙසද සටහන් වන බවත් එම ආයතනය සඳහන් කරයි.

ජුලි මාසයේදී උස් වගා බිම් තේ සහ හරිත තේ නිෂ්පාදන ඉහළ ගොස් ඇති අතර, මැදි සහ පහත් බිම් තේ නිෂ්පාදනය පහළවැටී තිබේ. ඒ අනුව උස් වගා බිම් තේ කිලෝ මිලියන 3.87 ක සිට කිලෝ මිලියන 4.19 ක් දක්වා සියයට 8.24 කින්ද, හරිත තේ කිලෝ 222,337ක සිට කිලෝ 246,114ක් දක්වා සියයට 10.69 කින්ද ඉහළ ගොස් තිබේ. එහෙත් මැදි වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 3.65ක සිට කිලෝ මිලියන 3.24 ක් දක්වා සියයට 11.10කින්ද, පහත් වගා බිම් තේ නිෂ්පාදන කිලෝ මිලියන 13.75 ක සිට 13.58ක් දක්වා සියයට 1.20 කින්ද පහළ වැටී තිබේ.

මේ අතර 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා මුල් මාස හත තුළ මෙරට සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 153.14 ක් ලෙස සටහන්ව තිබෙන බවත් Forbes and Walker  ආයතනය පවසයි. මෙය 2025 එම කාලසීමාවේ වාර්තා කළ කිලෝ මිලියන 157.26ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝ මිලියන 1.12 ක එනම් සියයට 2.62 ක අඩුවීමකි. 

කෙසේ වෙතත් 2024 වසරේ මුල් මාස හතේ සමස්ත තේ නිෂ්පාදනය වූ කිලෝ මිලියන 151.14 හා සැසඳීමේදී එය කිලෝ මිලියන 1.99 ක එනම් සියයට 1.32 ක ඉහළ යාමකි.

මෙහිදී 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී සමස්ත උස් සහ හරිත තේ නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර, මැදි සහ පහත් බිම් තේ නිෂ්පාදනය පහළ වැටී තිබේ. 

ඒ අනුව සමස්ත උස් බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 33.69ක සිට කිලෝ මිලියන 34.32ක් දක්වා සියයට 1.89 කින්ද, හරිත තේ කිලෝ මිලියන 1.42ක සිට කිලෝ මිලියන 1.56 ක් දක්වා සියයට 9.21කින්ද ඉහළ ගොස් තිබේ. 

එහෙත් මැදි වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 28.55ක සිට 27.02 ක් දක්වා සියයට 5.34කින්ද, පහත් වගාබිම් තේ කිලෝ මිලියන 93.60 ක සිට 90.23 ක් දක්වා සියයට 3.60 කින්ද පහළ වැටී තිබෙන බවත් Forbes and Walker  ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.