- කාන්තාවන් තුළ ව්‍යවසායකත්වය යන මානසිකත්වය වැඩි දියුණු කළ යුතුයි
- ශ්‍රම බළකා දායකත්වයෙන් පුරුෂයන් සියයට 69.1ක් සහ කාන්තාවන් සියයට 32.5 ක්
- මෙරට ව්‍යවසායකත්වය සමස්තයෙන් සියයට 10 කටත් වඩා අඩු අගයක්
- තමන්ගේම ස්වයං රැකියාවක් කරන කාන්තාවන් සියයට 23.4 ක්
භානුක අමරසිංහ
|
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනී ගයානි ද අල්විස් |
මෙරට කාන්තා ජනගහනය සමස්ත ජනගහනයෙන් සියයට 52ක ප්‍රතිශතයක් නියෝජනය කළත්, ශ්‍රම බළකාය සහ ආර්ථිකය වෙත ඔවුන් ලබා දෙන දායකත්වය ඉතාමත් අඩු බව කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ (Women’s Chamber of Industry & Commerce Sri Lanka) සභාපතිනී ගයානිද අල්විස් මහත්මිය පැවසුවාය.
ඒ අනුව රට තුළ කාන්තා ව්‍යවසායකත්වය තවදුරටත් ප්‍රචලිත කිරිම සඳහා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් කාන්තාවන් තුළ උනන්දුවක් ඇති කිරීමට පියවර ගැනීම මේ මොහොතේ රටේ අවශ්‍යතාවක්ව පවතින බවත් ඇය සඳහන් කළාය.
“ලංකාවේ ව්‍යපාරවලින් සියයට 90ක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ අතරින් සියයට 25 කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි කාන්තාවන් පවත්වාගෙන යන ව්‍යාපාර තියෙන්නේ. ඒ වගේම අවිධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන කාන්තා ව්‍යාපාර අතිවිශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ ව්‍යාපාර නිසි ලෙස පවත්වාගෙන යාමට උදව් කරමින් ඒවා දියුණුකළ යුතුයි.“
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරන WCIC ප්‍රතිභාභිෂේක 2026 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල වෙනුවෙන් පසුගියදා පැවැත්වුණු මාධ්‍ය හමුව අවස්ථාවේදී ලංකාදීප FT වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළාය.
කාන්තාවන් විසින් ආරම්භ කර කාන්තාවන් විසින්ම පවත්වාගෙන යන ව්‍යාපාර මෙහිදී ඇගයිමට ලක් කෙරේ.
“කාන්තාවන් කියන්නේ අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන පිරිසක්. රටේ ජනගහනයෙන් සියයට 52ක්ම කාන්තාවන් වුණත්, ඔවුන් ශ්‍රම බළකාය වෙත ලබා දෙන දායකත්වය, ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් මදි. ඔවුන් තුළ ව්‍යවසායකත්වය කියන මානසිකත්වය වැඩි දියුණු කරන්න වෙනවා. ඒ නිසා ඔවුන්ගේ මේ දායකත්වය ඇගයීමට ලක් කරන්න ඕනේ. ඒ සඳහා තමයි WCIC ප්‍රතිභාභිෂේක 2022 සිට ක්‍රියාත්මක වෙන්නේ.”
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2026 පළමු කාර්තුව සඳහා නිකුත් කළ ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාව අනුව සියයට 49.2ක් වන සමස්ත ශ්‍රම බළකා දායකත්වයෙන් සියයට 69.1ක් පුරුෂයන් වන අතර, කාන්තාවන් සියයට 32.5 කි. එසේම සියයට 3.7ක් වන විරැකියා අනුපාතයෙන් සියයට 2.4 ක් පුරුෂයන් වන අතර, සියයට 6.1ක් කාන්තාවන්ය.
විශේෂයෙන්ම මෙරට ව්‍යවසායකත්වය සමස්තයෙන් සියයට 10කටත් වඩා අඩු අගයක් ගන්නා බවත්, මෙම සම්මාන උළෙල ව්‍යවසායකත්වය සඳහා උනන්දුවක් දක්වන කාන්තාවන් තවදුරටත් අභිප්‍රේරණය කිරීමේ අවස්ථාවක් බවත් ඇය සඳහන් කළාය.
“කාන්තාවන් කියන්නේ අපේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් කොටසක්. ඔවුන් අපගේ දළ ජාතික නිෂ්පාදිතය වෙත දායක කරගන්න ඕනේ. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විදියට අපි කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන බොහෝ අභියෝග, බාධා හඳුනාගෙන තිබෙනවා. මූල්‍යමය පහසුකම් ලබා ගැනීම, වෙළෙඳපොළ සොයා ගැනීම, දැනුම සඳහා ප්‍රවේශය, දත්ත ලබා ගැනීම යනාදිය ඒ අතර තිබෙනවා. ඒ නිසා මේ සම්මාන උළෙල එක අතකින් සියලුම පාර්ශ්වකරුවන් එකට එකතු කරලා මේ බාධා ඉවත් කිරීමේ අවස්ථාවක් වේවි.”
කෙසේ වෙතත් පවතින දත්ත අනුව පවා ආසියානු කලාපයේ කාන්තාවන්ට තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාමට නම් පිරිමින්ට වඩා 2.75 ක ගුණයකින් වැඩ කිරිමට සිදුව තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 පළමු කාර්තුව සඳහා නිකුත් කළ දත්ත අනුව මෙරට තුළ රැකියා නියුක්තික කාන්තාවන්ගෙන් සියයට 21.7ක් රාජ්‍ය අංශයේද, සියයට 43.2ක් පෞද්ගලික අංශයේද සේවය කරයි. එසේම සියයට 1.3ක් සේවායෝජකයකු ලෙස කටයුතු කරයි. මීට අමතරව තමන්ගේම ස්වංයරැකියාවක් සිදු කරන පිරිස සියයට 23.4 කි. වැටුපක් නොලබා නිවසේ සේවය කරන පිරිස සියයට 10.4 කි.
“අපිට අවශ්‍ය කාන්තාවන් සඳහා පවතින අවස්ථා තවදුරටත් වැඩි කරන්න. ඒ හරහා ඔවුන් ආර්ථිකයට වැඩියෙන් දායක කරගන්න.” ඇය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd