රටේ ජනගහණයෙන් සියයට 74 ක්ම තම ජීවනෝපාය සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවක හෝ වගා කටයුත්තක නිරත වී සිටියදීත් සහල්, තිරිඟු පිටි, සීනි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිටරටින් ගෙන ඒම සඳහා රුපියල් බිලියන ගණනක් වාර්ෂිකව වැය කිරීමට සිදුවීමෙන් පෙනෙන්නේ මෙරට ජනතාවට තමන්ගේ ආහාරය සඳහා මිස අන් අයගේ ප්‍රයෝජනය සඳහා වගා කිරීමේ හැකියාවක් තවමත් නොමැති බවය.
යුරෝපීය හා ආර්ථික වශයෙන් දියුණු රටවල කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුව සිටින ජන සංඛ්‍යාව ජනගහණයෙන් ඉතා කුඩා සංඛ්‍යාවකි. එහෙත් එම රටවල තමන්ගේ ආහාරය පිණිස නොව අපනයනය සඳහා ද එම වගා අස්වනු යොදා ගැනෙයි. මෙයින් පෙනී යන්නේ මෙරට කෘෂිකර්මය තවමත් යැපුම් කෘෂිකර්මයෙන් ඉදිරියට ගොස් නොමැති බවය. කාලය සහ ශ්‍රමය විශාල වශයෙන් වැය කරමින් කරන ගොවි තැන එදිනෙදා ආහාරය සඳහාත් ප්‍රමාණවත් නොවී රටින් සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට සිදුවීම මෙරට දියුණු කෘෂිකර්මයක් නොමැති බවට ප්‍රබල සාධකයකි.
සහල්, තිරිඟු පිටි, සීනි සහ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ගෙනඒම සඳහා 2022 වසරේදී වැය වූ අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණය මෙසේය. ඩොලර් මිලියන 292 ක සහල් ආනයනය කර තිබේ. ඒ සඳහා වැය වූ රුපියල් ප්‍රමාණය රුපියල් මිලියන 87423 කි. ඩොලර් මිලියන 113 ක හෙවත් රුපියල් මිලියන 39003 ක කිරිඟු පිටිද ඩොලර් මිලියන 256 ක සීනි ද මෙරටට රැගෙන විත් ඇත. කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 225 ක් හෙවත් රුපියල් මිලියන 68332ක් එම වසරේ වැය කර මෙරටට ආනයනය කර ඇත. මෙයින් තිරිඟුපිටි හැර අන් සියල්ලම මෙරට නිෂ්පාදනය වන ආහාර ද්‍රව්‍යය. අපගේ ගොවිතැන තවමත් යැපීම සඳහාවත් ප්‍රමාණවත් නොවන බව එයින් පෙනෙයි.
මිලියන විසි දෙකක් වන ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 74 ක්ම සිය ජීවනෝපාය සලසා ගන්නේ කෘෂිකාර්මික අංශයේ කුමක් හෝ රැකියාවක නිරතවීමෙන් බව 2020 වසරේ කෘෂිකර්ම අමාත්‍යංශ කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ලංකාවේ සේවා නියුක්ති ජනසංඛ්‍යාවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියුතු පිරිස සියයට 27 කි. එලෙසම රටේ ජනගහණයෙන් හරි අඩක්ම රජයේ කුමක් හෝ සහනාධාරයක් ලබා ගනිති. මේ සඳහා රාජ්‍ය ධනය අති විශාල ප්‍රමාණයක් වැයවේ. ගොවිතැන සඳහා ද රජය පොහොර සහනාධාරය වෙනුවෙන් විශාල මුදලක් වැය කරයි.
නිෂ්පාදන මිලට වඩා අඩු මිලකට පොහොර නිකුත් කිරීම හා සැබෑ මිල සහ නිකුත් කරන මිල අතර හිඟය රජය මගින් දැරීම පොහොර සහනාධාරය ලෙස නිර්වචනය කෙරෙයි. 1951 දී ආරම්භ වූ පොහොර සහනාධාර වැඩ පිළිවෙළ ක්‍රමානුකූල වූයේ 1952 සිටය. මේ යුගයේ අත්පිට මුදලට පොහොර මිලදී ගන්නා ගොවීන්ට සියයට 50ක සහනාධාරයක්ද ණයට පොහොර ගන්නා ගොවීන්ට සියයට 33ක සහනාධාරයක්ද රජය මගින් ගෙවනු ලැබීය.
පොහොර සහනාධාරයේ ප්‍රතිඵලයද ඒ සමගම ලැබිණි.
1951 වර්ෂයේදී මෙරට ගොවිතැන් සඳහා රසායනික පොහොර ටොන් 2554ක් භාවිත කළ අතර අක්කර 936320කින් වී ටොන් 370000ක් නෙළා ගන්නා ලදී. රටේ සහල් අවශ්‍යතාවෙන් සියයට 44ක් එමගින් සැපිරිණි. හිඟය වූ සහල් ටොන් 386000 ක් පිටරටින් ආනයනය කිරීමට සිදුවිය. එකල අක්කරයකට සාමාන්‍ය අස්වැන්න වූයේ බුසල් 30කි.
1961 වන විට පොහොර භාවිතය ටොන් 29000 දක්වා ඉහළ ගියේය. වී අස්වැන්න ටොන් 563000ක් විය. රටේ සහල් අවශ්‍යතාවෙන් මෙම ප්‍රමාණය සියයට 49 ක් විය. එකල අක්කරයකට සාමාන්‍යය වූයේ බුසල් 38කි. 1973-74 වර්ෂවල වී නිෂ්පාදනය ටොන් 828000ක් විය. අක්කරයකට සාමාන්‍යය වූයේ බුසල් 50කි. මුළු වී නිෂ්පාදනය රටේ අවශ්‍යතාවයෙන් සියයට 67ක් විය. එකල ද සහල් ටොන් 338000ක් රටින් ආනයනය කිරීමට සිදුවිය.
වසරින් වසර ඉහළ යන ජනගහණයට සාපේක්ෂව අස්වැන්න ඉහළ යාමට ප්‍රධාන හේතුව වූයේ රසායනික පොහොර සහ පොහොර සහනාධාරයයි.
එහෙත් මෙම පොහොර සහනාධාරය ඇතුළු කෘෂිකර්මාන්තයට වෙන්වූ සහනාධාර ප්‍රමාණය දිගින් දිගටම වැඩිවිය. සෑම රජයකටම මේ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවිය. 1968 වසර වන විට රජයේ මුළු ආදායමෙන් සියයට 25 ක් වැය කරනු ලැබුවේ කෘෂි අංශයේ සහනාධාර වෙනුවෙනි. ශක්තිමත් කෘෂි ආර්ථිකයක් අප රටට හිමි වූයේ මෙම සහනාධාර නිසා වන අතර එනිසාම එය ජාතික ආදායමට විශාල බරක් බවට පත්වීමද තදබල ප්‍රශ්නයකි.
දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 24 කට දායක වන්නේ මෙරට ගොවි ජනතාව ය.
මෙරට පවතින ආහාර අර්බුදයට එක් හේතුවක් වන්නේ මෙරට දී වියදම් කරන මුදලට වඩා අඩු මුදලකින් ලෝක වෙළෙඳ පොළෙන් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හැකිවීමය. වගා සංග්‍රාමය සමයේ 1974 වසරේදී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනතාව වගාවට කම්මැලිවී සිටීමට හේතු මෙසේ පැහැදිලි කළාය.
‘‘ලෝක වෙළෙඳ පොළෙන් ලාබෙට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පුළුවන්තාක්කල් මේ රටේ ඒ ද්‍රව්‍ය නිපදවා ගැනීමට අපි උදාසීන වීම මෙරට ආහාර අර්බුදයට ප්‍රධාන හේතුවයි. හැමදාම ලාබෙට එම ආහාර ද්‍රව්‍ය පිටරටින් ලබාගැනීමට හිතාගෙන ඒවා මෙහි නිපදවීම නොසලකා හරින්නට අප පුරුදු වී සිටියා. සරු පොළොවක් හා මිනිස් සම්පතක් ඇති අප වගාවේම ඉදිරියට ගියොත් ටික කාලයක් දුක් වින්ඳත් ආහාර අතින් ස්වයං පෝෂිත වීමට අපට හැකි වනු ඇත. මැතිනිය එසේ කීවේ 1974 දීය. එම ප්‍රකාශයෙන් වසර පනස් එකක් ගත වුවත් අප අද සිටින්නේ වගාව අතින් එදාටත් වඩා පහළ තැනකය.
වර්තමානයේද ගොවිතැනට වඩා එම ගොවි නිෂ්පාදන ආනයනය කිරීම ලාබදායකය.
ලංකාවේ භූමි ප්‍රමාණය අනුව වගා කටයුතු සඳහා එක් පුද්ගලයකුට හිමිවන්නේ අක්කර තුන් කාලයකි. (¾) වී, තේ, පොල්, රබර් හා එළවළු ඇතුළු සියලු වගාවට හිමි වන්නේ මෙම ප්‍රමාණයය. එහෙත් අන් රටවලට සාපේක්ෂව එම ඉඩම් ප්‍රමාණයෙන් ලැබෙන අස්වැන්න කුඩාය. පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් නැත.
නිදහස ලැබීමෙන් පසු මෙරට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම රට සහලින් ස්වයං පෝෂිත කිරීමට කතා කළත් අදටත් වාර්ෂිකව රටින් සහල් ආනයනය කිරීමට මෙරටට සිදුව ඇත. රටේ ජනගහණයෙන් ගොවිතැනින් ජීවත් වන පිරිස හරියටම අඩකි. ඒ අනුව රටෙන් භාගයක්ම කුමන හෝ කෘෂිකාර්මික ක්ෂේත්‍රයක නියැලී සිටියත් මෙරට වැවෙන අස්වැන්න පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවීම ගැටලුවකි.
උදාහරණයක් ලෙස දක්වන්නේ නම් මේ දිනවල උඩරට පළාතේ මිල පහළයාම නිසා අසීරුවේ වැටී සිටින අර්තාපල් ගොවීන්ගේ ප්‍රශ්නය දැක්විය හැකිය. මේ දිනවල අස්වනු නෙලන සමය එළඹ ඇතත් අර්තාපල් ගොවියා සිටින්නේ කනස්සල්ලෙනි. එයට හේතුව ආනයනික අර්තාපල් මිලට වඩා වැඩි මිලක් මෙරට අර්තාපල් සඳහා හිමි වී තිබීමය.
පොහොර ඇතුළු වියදම් සමග මෙරට අර්තාපල් කිලෝවක් රුපියල් දෙසීය ඉක්මවා ලැබුණහොත් පමණක් මෙරට අර්තාපල් ගොවියාගේ දහඩිය මහන්සියට ප්‍රතිලාභයක් හිමිවේ
එහෙත් දඹුල්ල තොග වෙළෙඳ මධ්‍යස්ථානවල මේ වන විට ආනයනික අර්තාපල් කිලෝව රුපියල් 158ට පමණ විකිණීමට තබා ඇත. විදේශීය ගොවියාගේ නිෂ්පාදන වියදම් ද ආවරණය කරගෙන එවැනි අඩු මිලකට අර්තාපල් අපනයනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙන අතර දේශීය අර්තාපල් වගාව විදේශීය අර්තාපල් වගාවට වඩා වැඩි මිලක් වැය වන ගොවිතැනක් බව එයින් පෙනී යයි. මේ නිසා වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ සෑම ගොවියකුගෙන්ම අර්තාපල් කිලෝ 2000ක් රුපියල් 210 බැගින් රජය මිලදී ගන්නා බවය.
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස සියවස් ගණනාවක් තිස්සේ ප්‍රකටව ඇතත් මෙරට වගාවේ ඇති ශෝචනීය භාවය එයනම් මෙරට වගා ක්‍රමයේ කොතැනක හෝ වැරැද්දක් තිබිය යුතුය. අර්තාපල්, තක්කාලි, ඇතුළු සියලුම එළවළු වර්ගවල බීජ මෙරටට ගෙන එන්නේ විදේශයෙනි. එම බීජ වර්තමානයේ පැමිණෙන්නේ ‘‘හයිබ්‍රිඩ්’’ බීජ වශයෙනි. මෙම බීජවල මිල ඉතා අධිකය. මෙරට වගා කළ පසු එම සියලුම එළවළු බීජ සඳහා විශාල වශයෙන් පොහොර දැමිය යුතුය. විවිධ රෝග සඳහා අවස්ථා කිහිපයක්ම රසායනික ද්‍රව්‍ය ඉසිය යුතුය. විශාල වගා බිම් සඳහා දේශීය කම්කරු ශ්‍රමයද ඉහළය. මේ සියල්ලටම විශාල වැයක් දරා අස්වනු නෙළා ගත් පසු ඉහළ මිලකට විකිණිය යුතුය. එහෙත් අර්තාපල්, තක්කාලි වැනි ආහාර බෝග ද සහල් ද මෙරට නිෂ්පාදනය කෙරෙන මිලට වඩා අඩු මිලට ඉන්දියාව, පාකිස්තානය වැනි රටවලින් මෙරටට ගෙන ආ හැකිය. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතන නිතරම පවසන මෙරට ගොවි තැන අධෛර්යවත් කරන්න යන උපදේශය නිවැරදි බව ආනයනික සහ නිෂ්පාදන පිරිවැය අනුව බැලූවිට නිවැරදිය.
වී නිෂ්පාදනය සඳහා කැප කරන මුදලත් වගා කරන ඉඩම් ප්‍රමාණයත් අනුව බලන විට සහල් ආනයනය කිරීම ද වඩා ලාබදායකය.
පැල්වත්ත – සෙවණගල ආදී ඌව ප්‍රදේශයේ සීනි කර්මාන්ත ශාලාවල සීනි විකුණාගැනීමට නොහැකිව ගොඩ ගසා තිබෙන්නේ මාස කිහිපයක සිටය. එයට හේතුව මෙරට සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීමට වැය වන මුදලට වඩා අඩු මිලකට විදේශයෙන් ආනයනය කළ සීනි මෙරට වෙළෙඳ පොළේ තිබීමය. මේ වන විට ඌව ප්‍රදේශයේ සීනි කම්හල්වල නිෂ්පාදනය කළ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 25000 ක් ගබඩාවල ගොඩ ගැසී ඇත්තේ වෙළෙඳ පොළේ සුදු සීනි මිලට වඩා එම සීනි නිෂ්පාදන පිරිවැය ඉහළ නිසාය. මේ වන විට ආනයනික සුදු සීනි තොග මිල රුපියල් 203 කි. මෙරට දුඹුරු සීනි කිලෝව රුපියල් 290 ඉක්මවයි.
මේ සෑම කරුණකින්ම පෙනෙන්නේ වගාවට වඩා ආනයනය ලාබදායක බවය. පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලූ විට එම තර්කය සාධාරණය. පොහොර එතෙරින් මෙරටට ගෙනැවිත් අතිවිශාල මිල අඩු කිරීමක් යටතේ ගොවීන්ට සහනාධාර ලබාදී වගා කරනවාට වඩා එම සියලු මුදල් ඉතිරි කර ආහාර ද්‍රව්‍ය ආනයනය රජයක් හැටියටත් ලාබදායකය. එහෙත් එවැනි තීන්දුවකින් දේශීය ගොවි පරපුරම විනාශ වෙයි. කළ යුත්තේ වැඩි අස්වනු දෙන බීජ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීමට පරීක්ෂණ ඇරඹීමය. එවිට බීජ ආනයනය සඳහා වැය වන අති විශාල මුදල හෝ ඉතිරිවනු ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වගාවට වඩා ආනයනය ලාබද ?