• ගැටලු‍ව

වසර ගණනාවක් තිස්සේ ආයෝජකයන්ගෙන් මා අසා ඇත්තේ ඉච්ඡා භංගත්වය හා බැඳුණු එකම කතාය. අව්‍යාජ උනන්දුවකින් පැමිණෙන ඔවුන් ආයෝජන අවස්ථා ගවේෂණය කරමින් කාලය ගත කර, රැස්වීම් පවත්වා, වැඩ බිම් වලට යමින්, ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ සාකච්ඡා කරමින් ගත කරන දීර්ඝ කාලය තුළ ඔවුන්ගේ උනන්දුව සිඳී යන්නට ගනී. ආයෝජන අවස්ථාව ඇතැම් විට එසේම තිබියදී අවසර ගැනීමේ ක්‍රියාදාමයෙන් ඔවුහු හෙම්බත් වෙන්නට ගනිති.

විදේශ ආයෝජනවලට ශ්‍රී ලංකාව තුළට එන්නට පහසුකම් සැපයීම මා කරනා කාර්යයන්ගෙන් එකකි. නිරන්තරයෙන්ම ආයෝජන උනන්දුව හීන වී යන සැටිත්, පවතින ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් ඔවුන් අධෛර්යයට පත්වන ආකාරයත් මම සමීපව නිරීක්‍ෂණය කර ඇත්තෙමි. දේශීය ව්‍යාපාරිකයකු ලෙස මම ද එකී නිලධාරීවාදයෙන් අසීරුවට පත්ව ඇත්තෙමි.

ඒ අතරේම යුද්ධය අවසාන වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ග්‍රීන් ෆීල්ඩ් හෝටල් ව්‍යාපෘතිය මම සාර්ථක ලෙස ක්‍රියාත්මක කරවීමට හවුල් වී ඇත්තෙමි. එම ව්‍යාපෘති සාර්ථකව අහවර වූයේය. ඒවා සාර්ථකව නිමා වූයේ, ක්‍රමයේ පැවති නිරවුල් බවක්, කාර්යක්ෂම බවක් හෝ ආචාරශීලී සුමට බවක් නිසා නොවේ. බොහෝ සෙයින් ඒවා සාර්ථකව නිමා කරන ලද්දේ, මෙරටේ හැටි දන්නා නිසාත්, අත් නොහැර අල්ලාගෙන සිටි නිසාත්, වැඩක් කෙරෙන තුරු කළ යුතු දෑ ඉදිරියට තල්ලු‍ කිරීමට මෙරට හවුල්කරුවන්ට තිබූ හැකියාවත් නිසාය.

බොහෝ ආකාරයෙන් ගැටලු‍වේ මූලික හරය හෙවත් හදවත එතැනය. ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුවිය හැකිය. ඒවා මෙරට සිදුවේ. එහෙත් නිරන්තරයෙන්ම එසේ සිදුවන්නේ දැනට පවතින ක්‍රමය නිසා නම් නොවේ.

  • පොරොන්දුව සහ කෙරුවාව

ශ්‍රී ලංකාවට ආයෝජන අවශ්‍ය බව ලෝකයට කියමින්, ශ්‍රී ලංකාව වසර ගණනාවක් කාලය ගත කර ඇත. ප්‍රදර්ශන, පවතින අවස්ථා සම්බන්ධයෙන් ප්‍රචාරක ප්‍රවර්ධන කටයුතු, ආයෝජක විශ්වාසය දිනා ගැනීම පිළිබඳ කතා සහ රටේ පිහිටීම සම්බන්ධ විභවතාව ගැන කතා බලයට පැමිණි ආණ්ඩු විසින් පවත්වා තිබේ. එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2025 ආයෝජන අවස්ථා පරිසරය පිළිබඳ ප්‍රකාශනවල සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නන්ට ඉහළ ගනුදෙනු පිරිවැය, පුරෝකථනය කළ නොහැකි ප්‍රතිපත්ති සහ විනිවිද නොපෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාදාමයන්ට මුහුණ දෙන්නට සිදුවන බවයි.

එහෙත් න්‍යායානුකූලව ආයෝජන අවශ්‍ය වීමත්, ප්‍රායෝගිකව ඒවා කිරීමට සැලැස්වීමත් එකිනෙකට වෙනස් කාර්යයන්ය.

ආයෝජකයන් මෙරටට පැමිණ, පාරාන්ධභාවය අතරින් ඔවුන් යා යුතු මඟ සොයාගෙන, ඔවුන් සියලු‍ ගැටලු‍ විසඳාගෙන ක්‍රියා කරතැයි යන උපකල්පනයෙන් අප මිදිය යුතුය. ප්‍රාග්ධනය සඳහා පවතින බැරෑරුම් තරගය දිනා ගත හැක්කේ ඒ ආකාරයෙන් නොවේ. ප්‍රාග්ධනයට විකල්පයන් බොහෝය. ආයෝජකයන්ට මෙම කලාපය තුළ බොහෝ රටවල් කරා යා හැකිය. වඩාත් නිරවුල් වූ මාර්ග සොයාගෙන ඔවුන්ට යා හැකිය. ක්‍රියාත්මක වීමේ සම්බන්ධතා ඉතා සරල වූ තැන් සොයා යන්නට ඔවුන්ට තහනමක් නැත. ව්‍යාපෘති ප්‍රගමනය කරා ඉදිරියට ගෙන යාමට උත්සාහ දරන බව පැහැදිලිව පෙනෙන රාජ්‍ය කරා ආයෝජකයන්ට යා හැකිය.

මා එසේ කීවේ  න්‍යායානුකූලව නොව, මා ලත් අත්දැකීමෙනි. මා ආයෝජනය කළ හෝ ආයෝජන ක්‍රියාදාම සමග එක්ව වැඩ කළ, මැලේසියාව ඕස්ට්‍රේලියාව, දකුණු පැසිෆික්හි වණුවාටු ආදී වෙනත් රටවල, වඩාත් පැහැදිලි, වඩාත් ආචාර සම්පන්න, වඩාත් සරල වූ  අත්දැකීම් මම ලබා ඇත්තෙමි. ශ්‍රී ලංකාව තරග කරනු ලබන්නේ එම ප්‍රාග්ධනය උදෙසාය. එම ප්‍රාග්ධනය ලබන්නට මෙරටට හිමිකමක් නැත. ආයෝජකයන්ට පිරිනමනු ලබන කුමන හෝ වදකාර ක්‍රමයක් ඔවුන් ඉවසා දරාගෙන සිටින්නාක් මෙන් අපි තවම හැසිරෙන්නෙමු.

ශ්‍රී ලංකාව බොහෝ ක්‍රියාකාරී අයුරින් ප්‍රවර්ධන වැඩ පිළිවෙළ දියත් කළද, ශ්‍රී ලංකාව ඒවායේ පොරොන්දු වෙන තරමට කෙරුවාවෙන් ඒවා ඉටු නොකරන බව බොහෝ ආයෝජකයන්ට දැනගන්නට හැකිවීම මෙහි ඇති අසීරුතාවයි. ආයෝජන අවස්ථා අපි වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නෙමු. එහෙත් පැහැදිලි පාරදෘශ්‍යභාවයෙන්, වේගවත්ව සම්බන්ධීකරණය කිරීමට හා පසු විපරම් කිරීමට සන්සන්දනාත්මකව අපි නිරන්තරයෙන්ම අපොහොසත් වන්නෙමු.

  • කබලෙන් ළිපට වැටීම

නිරන්තරයෙන්ම ලැබූ අත්දැකීම කබලෙන් ළිපට වැටීමකි. එක් රාජ්‍ය  ආයතනයක් එක් දෙයක් ඉල්ලා සිටී. තවත් ආයතනයක් තවත් දෙයක් ඉල්ලා සිටි. අනික් තුන්වැනි ආයතනයක් ඊට හාත්පසින්ම වෙනස් වූ අර්ථ නිරූපණයක් දෙනු ලබයි. එක උපදේශකයෙක් එක් දෙයක් කියයි. තවත් උපදේශකයෙක් ඊට හාත්පසින් වෙනස් දෙයක් කියයි. ව්‍යුහගත ක්‍රියාදාමය අවිනිශ්චිත වූ කල, ඒ තුළ එකම දේ යළි යළි කරන්නට සිදුවන කල, අනවශ්‍ය ලෙස එය මන්දගාමී වූ කල, කිනම් පිළිසරණක්ද ?

මූලික කාරණා පවා නියමිත පමණට වඩා හසුරුවා ගත නොහැකි  තරම් දුෂ්කරය. බදු ලියාපදිංචිය, අනුමත කරවා ගැනීම්, සමාගම්වලට අදාළ කාරණා, උපයෝගී සම්බන්ධතා, අවසර ගැනීම්, අනුකූලතා ලබා ගැනීම්, උදෙසා නැවත නැවත එකම ස්ථානයට යා යුතුය. එකම ලේඛන නැවත නැවත ඉල්ලා සිටිනු ඇත. කටයුතු ප්‍රගමනය කරා ඉදිරියට ගෙන යන වගකීම ඇත්තෙන්ම ඇත්තේ කාවෙතද යන්න සම්බන්ධයෙන් පවතින්නේ නැවත නැවත මතුවන අවිනිශ්චිතතාවකි.

බොහෝ කරදරකාරී අවහිරතා නිලධාරීවාදය නිසාම මතුවන ඒවා  නොව ඒ පසුබිමේ ඇති සහජ මනෝභාවය නිසා මතුවන ඒවාය. නිතරම පාහේ නිලධාරීන් සැදී පැහැදී සිටින්නේ යම් කර්තව්‍යයක් ඉටුකළ නොහැක්කේ මන්දැයි පහදා දීමටය. ඒවා ඉටුකරන්නේ කෙසේදැයි පහදන්නට සූදානම්ව ඇත්තේ අල්ප වශයෙනි. කාර්ය ඉටු කිරීමට කිසිම හදිසියක් නැත.

මේ ක්‍රමය ගැන දන්නා, රට ගැන දන්නා භාෂාව ගැන දන්නා දේශීය ව්‍යාපාරිකයන්ටත් ඉච්ඡා භංගත්වයට පත්වෙන්නට තරම් මෙය අසීරු වන විට, එවැනි දෙයින් විදේශීය ආයෝජකයා අධෛර්යයට පත්වෙන සැටි දැක ගැන්ම අසීරු නොවන්නේය.

  • ආරම්භයේ පටන්

සමහර අවස්ථාවල එපාවීම පටන් ගන්නේ ව්‍යාපෘතිය නිසි පරිදි ආරම්භ කිරීමටත් පෙරාතුවයි.

වීසා නිකුත් කිරීමේ කාරණය මීට හොඳම උදාහරණයකි. ව්‍යාපාර සඳහා පැමිණෙන්නෝ, විභවතාව සහිත ආයෝජකයෝ, සහ තාක්ෂණික කටයුතුවලට අදාළ පුද්ගලයෝ, නිරන්තරයෙන්ම වීසා කාලය දීර්ඝ කර ගැනීම්, අලු‍ත් කර ගැනීම්, නැවතත් රට වෙත පැමිණීමට කටයුතු පිළියෙළ කර ගැනීමට බලාපොරොත්තු වෙති. එය කාලය කා දමන ක්‍රියාවක් බවට පත්ව තිබේ.

එම ක්‍රියාදාමයකට අදාළ කටයුතු කරන මගේ එක්තරා මිත්‍රයෙක් එය සරල වචනවලින් විස්තර කරයි. දීර්ඝ කර ගැනීම සඳහා කටයුතු සොයා බැලීමට පමණක් දවස් භාගයකට වඩා කාලය නාස්ති වේ. එම කාලය ඇතුළත ඔබට රටෙන් පිටව යන්නට සිදුවේ නම්, එම මුළු ක්‍රියාදාමයම අවලංගු වී සියල්ල මුල සිට පටන් ගන්නට සිදුවේ.

මෙය සුළු කරදර විඳීමක් ලෙස පෙනී ගියද, එය එසේ  නොවන්නේය. එය යම්  ආයෝජකයකු රට ගැන පළමුවෙන්ම හැඟීමක් ඇති කරගන්නා අවස්ථාවයි. යම් වටිනා ආයෝජකයකු හෝ තාක්ෂණික කටයුතු වලට අදාළ පුද්ගලයකුට රටට ඇතුළු වෙන්නට පවා අසීරු නම්, රට තුළ රැඳීමට හා අවශ්‍ය පරිදි රැක්‍ෂෙන කාලය දිගු කරගන්නට අසීරු නම්, එයින්ම ඔවුන් කටයුතු කරන්නට යන පුළුල් ක්‍රමය ගැන යමක් ඔවුන්ට කියැවේ. ව්‍යාපාරික සමූහයාද එම කාරණය මතුකරමින් අනතුරු අඟවා සිටින්නේ ශ්‍රී ලංකාවේ, ව්‍යාපාරික වීසා ලබා ගැනීමේ අසීරුතා  හේතුවෙන්, ආර්ථික ක්‍රියාකාරකම්වලට පහර වදින අතර එයින් ආයෝජක විශ්වාසයද පළුදු වෙන බවටයි.

  • අවුල් ලිහාගෙන යන්නට ව්‍යාපෘතිවලට සිදුවූ විට

මෙය පෞද්ගලික පැමිණිල්ලකට අදාළ කාරණයක් පමණක් නොව, දැවැන්ත සුප්‍රසිද්ධ ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය අප දැක තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ නිදහස්කරණයට ලක් කළ පසුව (United Petrolium) යුනයිටඞ් පෙට්‍රෝලියම් සමාගම මේ රටට පැමිණ යම් කාලයක් මෙහි ගත කළේය. විවිධ කාරණා සම්බන්ධයෙන්  ඉච්චාභංගත්වයට පැමිණ මෙහෙයුම් පරිසරය තුළ තිබූ අවිනිශ්චිතභාවය දැන ගත් පසු, මාස කිහිපයකින් එම සමාගම මෙරට හැර ගියේය. අම්බුලු‍වාව කේබල් ව්‍යාපෘතියද මෙවැනි තවත් උදාහරණයකි. ව්‍යාපෘතිය සඳහා වියදම් දැරීමෙන් පසු, අදාළ අනුමැතීන්ද රස්තියාදු වී ලබාගැනීමෙන් පසු, ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී ඊට බාධා එල්ල වෙමින්  අවිනිශ්චිතතාවලට මුහුණපාන්නට සිදුවූ බව ඊට අදාළ ආයෝජකයා, කියා සිටියේය.

හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අසාර්ථක වූ ව්‍යාපෘතියක් නොවුණද, එය මෙරටේ යෝජිත විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘති, අපේක්ෂා හා, කොන්දේසි පිළිබඳ මූලික කාරණා නොවිසඳී පවතිද්දී  දීර්ඝ කාලයක් අවහිර වී පැවතිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් කදිම උදාහරණයකි.

අදානි සුළං බල ව්‍යාපෘතියද වඩාත් සංකීර්ණ වූවකි. එය ශ්‍රී ලංකාවේ අවශ්‍යතා හොඳින්ම සපිරෙන අයුරින් එම ව්‍යාපෘතිය යෝජනා වූයේ නැතැයි අයකුට සාධාරණ ලෙස තර්ක කළ හැකිය. එහෙත් එවැනි අති දැවැන්ත අති ප්‍රසිද්ධ විදේශ ආයෝජනයකට අවහිරතා ඇතිවී, ප්‍රමාද වී, නැවත ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට සිදු වී, පසුබැස යන්නට සිදු වූ කල එයින් ජාත්‍යන්තරයට ගෙනයන පණිවිඩය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට බොහෝ සෙයින් හානි කර වූවකි.

විවිධ අංශවල විවිධ ආයෝජන, විවිධ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුවන මුත් ඒ සියල්ලෙන්ම ලබා දෙන්නේ එකම සඥාවයි. එනම් මෙරට තුළ නිවේදනයෙන් පටන් ගෙන ක්‍රියාකාරීත්වය තුළට ගමන් කිරීමේදී පැවතිය යුතු නිශ්චිත බව පවතින්නේ ඉතාමත් අඩු මට්ටමකිනි.

  • රජයට තමන් විසින්ම දුන් පොරොන්දු අමතක වූ කල

ආයෝජකයන් රට තුළට ගෙන්වීමෙන් පමණක් ගැටලු‍ව නිමා වන්නේ නැත. ආයෝජකයන්ට දුන් පොරොන්දුවලට අනුකූලව රජයේ  විශ්වාසනීය මට්ටම පවත්වාගෙන යන්නේද යන්න දක්වා ගැටලු‍ව ඈතට විහිදෙයි.

අනේවාසික ශ්‍රී ලාංකීය ආයෝජකයන් සඳහා වූ රුපියල් ගිණුම් ආයෝජන හෙවත් RANSI සම්බන්ධයෙන් මෑත කාලයේ මතභේද පැන නැගුණේ ඒ නිසාය. යථාර්ථයේදී ඒ නිසා වඩාත් විශාල ගැටලු‍ පැන නැගෙයි. යම්කිසි ආයෝජක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව යම් විශේෂිත කාර්ය ඉටු කරන්නට පොරොන්දු වී කලක් ගත වූ විට දී එකී ආයෝජකයන්ට එම පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබිය හැකිද? මෑතකදී මේ විෂය සම්බන්ධයෙන් DailyFT පුවත්පතේ පළවූ ලිපියකින් ඊට පසුබිම් වූ නෛතික හා ප්‍රතිපත්තිමය ඉතිහාසය යහමින් විස්තර කර තිබිණි.

මෙම ගැටලු‍වට මැදිවූ අයියෝජකයන් කිහිප දෙනකු පිළිබඳව මම දනිමි. ඒවායින් ශේෂ වී ඇත්තේ නීරස තොරතුරුය. ඊට හේතුව සුවිශේෂ වැදගත්කමක් ඇති ආයෝජකයන් හුදෙක් මෙරටට පිවිසීම ගැන පමණක් නොසිතීමයි. ඔවුහු ආයෝජනයේ මුළු ජීව කාලය සම්බන්ධයෙන්, එනම් ප්‍රවිෂ්ටය, මෙහෙයුම, බදු කරන, හානි පූර්ණය, පිටවී යාම ආදී සියල්ල ගැන සිතති. එකී මුළු ගමන පුරාම විශ්වාසය පවත්වා ගත යුතු වන්නේය.

  • ආණ්ඩු මාරුවන විට පොරොන්දු ඉටුවන්නේ නැත

පරිපාලනය වෙනස් වූ විට එකිනෙකා අතර පවතින අවබෝධය, ඉවත් වී යන බව ඕනෑම රටකට දිය හැකි වඩාත් හානිකර වූ සංඥාවන් ගෙන් එකකි.

මේ සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව තුළ නිදර්ශන පවතී. ජපානයෙන් මුදල් යොදවනු ලැබූ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය සහ නැගෙනහිර ජැටියේ  බහාලු‍ම් පර්යන්ත ව්‍යාපෘතිය යන ව්‍යාපෘති දෙකම දේශපාලන වෙනස්වීම් නිසා හටගත්, ප්‍රතිපත්ති වෙනස් කිරීම්වලට බිලි වූයේය. එක් ආණ්ඩුවකින් දුන් පොරොන්දු තවත් ආණ්ඩුවකින් වෙනස් කරනේ නම්, ඒවා නොසලකා හරින්නේ නම් හෝ අල්ලා දමන්නේ නම්, ආයෝජකයන් හා හවුල්කාර රටවල් කිසියම් පොරොන්දුවක ආයු කාලය කෙතරම් දීර්ඝ වේද යන්න විමසීම ස්වාභාවිකය.
මෙය ප්‍රතිපත්ති පිළිබඳ ගැටලු‍වක් නොව විශ්වාසවන්තභාවය පිළිබඳ ගැටලු‍වකි.

  • දූෂණය පිළිබඳ ගැටලු‍ව

බොහෝවුන් ඉතා පෞද්ගලිකවත්, ටික දෙනෙක් පමණක්ම විවෘතවත් කතා කරන එක්තරා ගැටලු‍වක් තිබේ, එනම් දූෂණය පිළිබඳ ගැටලු‍වයි.

මේ සම්බන්ධයෙන් ජපන් ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෝ අසාමාන්‍ය ලෙස නොසඟවා විස්තර කතා කළහ. ශ්‍රී ලංකාවේම දූෂණ විරෝධී බලධාරීන් (අල්ලස් හා දූෂණ පැමිණිලි සම්බන්ධ විමර්ශන කොමිසම) ආයෝජකයන් විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන්, දූෂණවලට සම්බන්ධ කාරණාවලට මුහුණ දෙන බව පිළිගෙන තිබේ. එය හුදෙක් ඕපාදුපයක් පමණක් නොවන බව එයින්ම පෙනීයයි.

යථාර්ථය නම් සමහර තානාපති කාර්යාල විවෘතවම කතා කරන අතර අනික් ඒවා එවැනි දේ රහසේ දෙඩීමයි. රාජ්‍ය දූත මෙහෙවර කවවලින් සහ ආයෝජකයන්ගෙන් එවැනි මැසිවිලි කාලයක් තිස්සේ මම අසා ඇත්තෙමි. එවැනි සැකයන් දළුලා වැඩෙන්නට තුඩු දෙන, පාරාන්ධභාවය (විනිවිද නොපෙනෙන බව), ප්‍රමාදය, අභිමතය, කිනම් හේතු නිසා කවරෙකු විසින්, නතර කරගෙන සිටින්නේද යන්නට, වග නොකියන තරම් වූ පුළුල් සංස්කෘතියක් හමුවේ මම වෙනස් ආකාරයකින් වැඩ කර ඇත්තෙමි.

දූෂණය නිරන්තරයෙන්ම පාහේ පැමිණෙන්නේ, දෘශ්‍යමාන ලෙස හඳුනාගත හැකි ආකාරයෙන් නොවේ. ඇතැම් විට පැහැදිලි හේතු නොමැති ප්‍රමාදය, යළි යළි ඇති කරනු ලැබූ බාධා, යෝග්‍යතාව පමණක් සලකා බලා ලිපිගොනු ඉදිරියට නොයෑම, ආදී මුහුණුවරින් දූෂණය කරළියට පැමිණේ.

දූෂණය එළිපිට පෙනුණත් නොපෙනුනත් ප්‍රතිඵලය එකමය. සිදුවන්නේ විශ්වාසය සෝදා පාළුවීමය.

  • මානසිකත්වය පිළිබඳ ගැටලු‍ව

ලිපිගොනු හා ප්‍රමාදයෙන් ඔබ්බට ගිය, වඩාත් ගැඹුරට මුල් ඇදුනු සංස්කෘතියක් නිලධාරීන් තුළ පවතී.

පවතින ක්‍රමය තුළ ඔවුන් සැබවින්ම අවශ්‍ය නොවේය යන හැඟීම එක වාරයකට වඩා බොහෝ වාරයක් ආයෝජකයන්ට දැනී තිබේ. නොකඩවා එන බාධක මැද, කටයුතු සමග ඉදිරියට යන්නේ කෙසේද කියනු වෙනුවට බොහෝ විට ආයෝජකයන්ට කියනුයේ යම් යම් දෑ කළ   නොහැක්කේමය යන කතාවමය.

කටුක සත්‍ය එය වුවද, බොහෝ ආයෝජකයන් පෞද්ගලිකව කියන කතාවලින් පිළිබිඹුවන්නේ එයමය. එයම මටද සිතී ඇත්තේය. හිමිකම් නොමැතිකම, පහසුකම් සැලසීමට අකැමැත්ත, ගැටලු‍ විසඳීමට වඩා ගැටලු‍ තවත් අයකුට පාස් කිරීමට ඉවෙන් මෙන් හුරුවී තිබීම නිරන්තරයෙන්ම පාහේ දක්නට ලැබේ. නිලධාරීවාදී සෘනාත්මක හැඟීම, රාජ්‍ය අංශයේ බිය පදනම් වූ අඩ පණ බව, සහ ව්‍යවසායයන්ගේ හා ආයෝජනවල අවශ්‍යතා අනුව එකේලි වුණු වැඩ කිරීමේ ආකල්ප නොමැති වීම ශ්‍රී ලංකාව සම්බන්ධ සුප්‍රසිද්ධ කතාවල සවිස්තරව කියැවේ.

මෙම මානසිකත්වය එසේම පැවතුණහොත් ප්‍රතිපත්තිමය කාරණා කෙතරම් වෙනස් වුවද ගැටලු‍ව ද නොවිසඳී එසේම පවතී. විශාල දොරටු ඉදි කළ හැකිය. වෙබ් අඩවි බිහි කළ හැකිය. චක්‍රලේඛ නිකුත් කළ හැකිය. අලු‍ත් උද්‍යෝගී පාඨ කරළියට ගෙන ආ හැකිය, එහෙත් මේසයේ වැඩ කරන්නා පහසුකාරකයකුට වඩා, දොරටුපාලයකු ලෙස ක්‍රියා කරන්නේ නම්, බාධක එසේම පවතී.

  • නිතරම මෙසේ වූයේ නැත

ජනාධිපති ප්‍රේමදාසගේ යුගයේදී, මීට වෙනස් ප්‍රවේශයක් තිබුණු වග මට සිහිපත්වේ. එකල ව්‍යාපෘතියකට හවුල් වී සිටි මම, මීට වෙනස් නිලධාරීවාදී සංස්කෘතියකින් උපකාර ලැබූයෙමි. මගේ මතකයේ ඇත්තේ  ඒතුළ ඇති නිවැරදි බව නොව වඩාත් කඩිනම් බවයි. යමක් කළ හැකිය යන ආකල්පය එකල පැවතුණි. ගැටලු‍ පැහැදිලි කිරීමට වඩා ගැටලු‍ විසඳීමට කැමැත්තක් එකල තිබිණි. පැමිණ ට්‍රාන්ස්ෆෝමරයක් සවිකළ හැකිදැයි රජයෙන් ඉල්ලා සිටි විට, ආණ්ඩුව වඩාත් කඩිනමින් එසේ කිරීමට යුහුසුළු වූ අවස්ථාවක් මගේ මතකයට එයි. වෙනත් වචන වලින් කිවහොත් අප සූදානම් වන්නටත් පෙර ඔවුහු ව්‍යාපෘතිය ඉදිරියටම තල්ලු‍ කරගෙන ගියහ.

එය පොඩි කතන්දරයක් ලෙස පෙනෙන මුත් ඊට වඩා දෙයක් එයින් කියැවේ. ආයෝජනය සැලකුම් ලබන හා ඉදිරියේදී උපකාරයට එන ක්‍රමය කුමක් ද යන්නත්, එය මන්දගාමී ක්‍රමයක් නොවන බවත් එයින් පිළිබිඹුවේ.

එය සිහිපත් කරනු වටින්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රමය අනිවාර්ය ක්‍රමයක් නොවන වග එයින් අදහස් වන නිසාය. දේශපාලන සක්‍යතාව, හිමිකම සහ අපේක්ෂා පවතින විට කටයුතු ප්‍රගමනය කරා යා හැකි  බව අප මීට පෙර දැක තිබේ. එකල ආයෝජකයා කබලෙන් ළිපට තල්ලු‍ කරනු වෙනුවට කේන්ද්‍රීය සහයෝගය ඊට ලැබුන බව ආයෝජකයන්ගේ අතීතාවලෝකන කතාවලින් පැහැදිලිය.
සසඳා  බැලූ විට ශ්‍රී ලංකාවේ තත්වය

නිරපේක්ෂ වශයෙන් මෙන්ම, දළ ජාතික නිෂ්පාදනයේ කොටසක් ලෙස සාපේක්ෂව සලකා බැලූ විටද, ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන පසුගිය දශක කිහිපය පුරා අත් කරගෙන ඇත්තේ ඉතාමත් අඩු කාර්ය සාධනයකි. වියට්නාමය මැලේසියාව තායිලන්තය හා ඉන්දුනීසියාවෙන් වැඩි රටවල් විදේශ ප්‍රාග්ධනය විශාල ප්‍රමාණවලින් ආකර්ෂණය කරගෙන තිබෙන අතර, ආර්ථිකයේ ප්‍රමාණයෙන් ගත් කල ශ්‍රී ලංකාවට වඩා කුඩා රාජ්‍යයක් වූ මාලදිවයින ද ශ්‍රී ලංකාව පරයන කාර්ය සාධනයක් පෙන්වා තිබේ. මෙම සසඳා බැලීම උදෙසා ලෝක බැංකුවේ සහ UNCTAD  ආයතනයේ දත්ත උපකාරී වූයේය.

සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල සසඳා බැලීම වඩාත් පැහැදිලිය.

අඩු සෘජු විදේශ විදේශ ආයෝජන ලැබීමට හේතුව ලංකාව ප්‍රමාණයෙන් කුඩා වීම නොවේ. ශ්‍රී ලංකාව තරග කරන ඒ හා සමාන රටවල් හා සසඳා බැලූ විට මෙරටට ආකර්ෂණය වී ඇත්තේ ඉතාමත් අඩු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයකි.

මෙකී අතිශය වෙනස පෙනී යන්නේ දත්තවලින් පමණක් නොවේ. එම වෙනස මා අනික් හැම තැනදීම පුද්ගලිකව දැක තිබේ. මැලේසියාව ඕස්ට්‍රේලියාව, දකුණු පැසිෆික් කලාපයේ වනුවාටු රටවලද, වඩාත් පැහැදිලි, වඩාත් සුසාධිත, වඩාත් සුගම, අනුගමනය කිරීමට පහසු, ක්‍රියාදාම මට දක්නට ලැබිණි. වඩාත් පැහැදිලි සම්බන්ධතා,වඩාත් පැහැදිලි නිරවද්‍යතා පරීක්‍ෂාලේඛන, ආයෝජකයාට සිය ගමන් මග වටහා ගැනීමට උපකාරී වන ප්‍රායෝගික උත්සාහය එම රටවල තිබිණි.

මේ කිසිම රටක් අති නිරවද්‍ය වූයේ නැත. එහෙත් ඒවායේ භාවිතාව සහ ආකල්ප අවධානයට නතු වෙන තරම් මෙරටට වඩා බොහෝ සෙයින් වෙනස්ය.

  • ව්‍යාපාර සම්බන්ධයෙන්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ මස්තකාප්‍රාප්ත ආයතනය වූ ලංකා වාණිජ මණ්ඩලය නැවත නැවත, එකම ප්‍රතිසංස්කරණ කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ. ආයෝජන මණ්ඩලය නවීකරණය කිරීම, නීතිමය වශයෙන් බල ගැන්වුණු එකම කවුළුවකින් අනුමැතීන් ලබා ගතහැකිවීම, නිශ්චිත කාල රාමුව, ඩිජිටල් ඒකාබද්ධතාව, ශක්තිමත් ලෙස වගවීම, වඩා පලදායි වාණිජ රාජතාන්ත්‍රික සම්බන්ධතා එසේ නැවත නැවත ඉල්ලා තිබේ. එහි 2030 කාර්ය දැක්මත්, අයවැය නිර්දේශ වලිනුත් එම තත්වය වඩාත් පැහැදිලිය.

වඩාත් පෘථුල ව්‍යාපාර ප්‍රජාවක් ගැටලු‍ව මේ වන විටත් පුළුල් අරුතින් හඳුනාගෙන තිබේ.

එම නිසා ගැටලු‍ව වන්නේ එය අවබෝධ කර නොගැනීම නොවේ. විසඳුම ක්‍රියාවේ යෙදවීමට නොහැකි වීමයි.

  • අලු‍ත් වැඩියාව කොතැනින් පටන් ගත යුතු ද?

ශ්‍රී ලංකාවේ ආයෝජන ක්‍රියාදාමය ආකාර කිහිපයකින් බිඳී ගොස් තිබේ. එය අලු‍ත්වැඩියා කළ නොහැක්කක් නොවේ. එහෙත් සංවිධිත ප්‍රතිසංස්කරණ උත්සාහ බැරෑරුම් ලෙස අවශ්‍ය වන තරමට එය බිඳී ගොස්ය. එයට ප්‍රතිකර්මය වන්නේ  තවත් ප්‍රදර්ශන හෝ කතා පැවැත්වීම නොවේ.

වැඩි දියුණු කිරීමටකිරීමට අවශ්‍ය මොනවාද යන්න අපි හොඳ හැටි දනිමු.

බලාධිකාරිය සහිත අනුමැතිය ගත හැකි තනි කවුළුවක්, වග වීමෙන් යුතු කාල රාමුව, කාර්ය මණ්ඩල වීසා, වඩාත් ඩිජිටල් පදනමින් යුතු, අවදානම් දරන්නා වූ අනුමැතීන්, විශේෂයෙන් විශාල ව්‍යාපෘතිවලට එක් එක් අංශයට පැහැදිලි ගමන් මාර්ගයන්, සිය කාර්යභාරයේ කොටසක් ලෙස රාජ්‍ය සේවාවලට පහසුකම් සැලසීම උගන්වන පුහුණු වැඩ පිළිවෙළ, ඊට අයත් වේ.

2007 වර්ෂයේදී මැලේසියාව PEMUDAH වැඩ පිළිවෙළ හරහා අනුගමනය කළ ප්‍රායෝගික පියවර මගේ මතකයට එයි. එය නිලධාරීවාදය පිටුදකිමින්, ව්‍යාපාර සමගකටයුතු වැඩි දියුණු කිරීම සඳහා රජයේ අනුගමනය කළ, රාජ්‍ය හා පෞද්ගලික වැඩපිළිවෙළකි. එය වැඩදායී වූයේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් නිසාය.

ශ්‍රී ලංකාව එවැන්නක් උදෙසා අවධානය යොමු කළ යුතුය.

ජනාධිපති කාර්යාලයෙන් මෙහෙයුම් කරනු ලබන රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ආයෝජනවලට පහසුකම් සැලසීමේ, වැඩපිළිවෙළක් දියත් කිරීම, ආයෝජන මණ්ඩලය, භාණ්ඩාගාරය, ආගමන විගමන, දේශීය ආදායම්, අනුමැතීන් ලබා දෙන ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ නියෝජිතයන් සහ සෘජු අත්දැකීම් සහිත ප්‍රායෝගිකව ක්‍රියාත්මකව කරන උදවිය ඒකාබද්ධ කළ යුතුය.

එවැනි ආයතනයකට ආයෝජකයන්ගේ ගමන් මග සැලසුම් කිරීමට මාස හයක කාලයක් දිය යුතුය. අවහිරතා ඇති තැන් හඳුනා ගැනීම, කලාපීය රටවල ඉලක්ක හඳුනා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ එමගින් සැලසුම් කළ යුතුය. ඉන් අනතුරුව ක්‍රියාත්මක කිරීම් පසු විපරම් සහ ප්‍රසිද්ධියේ වාර්තා කිරීමට නිශ්චිත කාලයක් ලබාදිය යුතුවේ. ඒ මගින් අවම තරමින් බැරෑරුම් ගතියක් පෙන්වා දෙනු ඇත්තේය.

ශ්‍රී ලංකාව විභවතාවකින් සපිරි ස්ථානයක පිහිටා ඇති බව සැබැවි. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නොවන්නේය. ආයෝජන අවස්ථා විවෘත වීමත් සමග, ඇතැම් සම්ප්‍රදායික දෝෂ දුරු වී යනු ඇත. එම අවස්ථාව ළඟා කර ගතහොත් ශ්‍රී ලංකාවට පැහැදිලිව වැඩියෙන් ආයෝජන ආකර්ෂණය කර ගත හැකිය. ප්‍රාග්ධනය සඳහා තරග කිරීම අප බැරෑරුම් කොට සලකන්නේ නම් දැනට බිඳී ගොස් ඇති ක්‍රියාදාම අලු‍ත් වැඩියා කිරීමද අප බැරෑරුම් කොට සැලකිය යුතුය.