IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රැකියා - කර්මාන්ත නංවන්න තැනූ බේරුවල ජනකලා කේන්ද්‍රයේ විනාශය

කැලෑවට යටවෙන ගොඩනැගිලි

  • වසා දැමුණු මේ ජනකලා කේන්ද්‍රයේ රුපියල් කෝටි ගණනක දේපළ විනාශයේ
  • විනාශ වෙමින් පවතින නිශ්චල සම්පත් අතර  ගොඩනැගිලි දහතුනක්
  • මේ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ රජයේ ඒකායන අරමුණවී තිබුණේ දේශිය හස්ත කර්මාන්තය යළි නගා සිටුවීමයි
  • මේ වගේ විශාල සම්පතක් බෙන්තොට තවත් නැතිව ඇති
  • වෙරළ ආසන්නයේ ගාලු පාර අද්දර තියෙන මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට අරගෙන සංචාරක වයාපාරය දියුණු කරන්න

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

අපේ රට දියුණු කිරීමට ජාතික සම්පත් ඕනෑවටත් වඩා තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ අදාළ බලධාරීන්, නිලධාරීන් එම  ජාතික සම්පත්වලින් නිසි ප්‍රයෝජනය නොගැනීමය. වත්මන් රජයේ ඒකායන අරමුණ රට දියුණු කිරීම බව ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති, ඇමතිවරු කියති. නව රජය පැමිණීමත් සමගම රටේ නාස්තිය, දූෂණය යම් මට්ටමකට අඩුවී ඇති බව පෙනේ. එය රටක ඉදිරි සංවර්ධනය සඳහා ඉතා හොඳ පියවරකි. වත්මන් රජය බලයට පත්වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් රටේ සම්පත්වලින් වැඩක් ගැනීමට උත්සුක වන බවක් නම් අපට නොපෙනේ. එසේ වැඩ ගන්නේ නම් රට දියුණු කිරීමට හැකි සම්පත් මේ රට තුළ ඕනෑතරම් තිබේ. අවශ්‍ය වනුයේ මේ සම්පත් හඳුනා ගැනීමය. ඒවා නිසිලෙස කළමනාකරණය කරමින් රටේ දියුණුවට භාවිත කිරීමය.

සංචාරක පුරවරයක් ලෙස ලොව පුරා ප්‍රචලිත බෙන්තොට ද මෙවැනි ජාතික සම්පත් හිඟ නොවේ. එහෙත් ඒවා පිළිබඳව එදා සිටි පාලකයන් වගේම මෙදා සිටින පාලකයන්ටද වගේ වගක් නැත්තාසේය. එසේ නොවූවානම් අද සංචාරක ව්‍යාපාරයෙන් අංක එක ස්ථානය හිමිවනුයේ බෙන්තොටය. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකි බෙන්තොට සම්පත් හඳුනාගෙන ඒවා රටේ දියුණුව සඳහා ප්‍රයෝජනයට ගන්නා ලෙස අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටිමු. 

බෙන්තොට ජන කලා කේන්ද්‍රයද බෙන්තොටට වැඩක් ගතහැකි අපූර්වතම සම්පතකි.එදා මේ සම්පත ආරම්භ කළේ ප්‍රදේශවාසී රැකියා විරහිත තරුණ,තරුණියන්ට රැකියා සම්පාදනය කළ  හැකි මධ්‍යස්ථානයක් ලෙසය. එය වසර කිහීපයක්ම සක්‍රීයව පැවතියේය. බෙන්තොට ආශ්‍රිතව ආවේනික කර්මාන්ත රැසක්ම මේ ජන කලා කේන්ද්‍රය නිසා අලුතින් පණ පෙවීය. බතික්, පන්, කොහු ලණු, මැහුම්, ගෙතුම් සහ ඉවුම්, පිහුම් මෙසේ අලුතින් පණ ලැබූ කර්මාන්ත අතරය. ප්‍රදේශයටම අමිල සම්පතක්වූ මේ බෙන්තොට ජන කලා කේන්ද්‍රය ආරම්භ කිරීමට මුල්වූයේ දකුණු පළාත් සභාවය. ඒ 1991 වසරේදීය.

එදා බෙන්තොටටම බෙහෙවින්ම සම්පතක්වූ බෙන්තොට ජන කලා කේන්ද්‍රය වසා දමා බොහෝ කාලයක් ගතවී තිබේ. වසා දැමුණු මේ කේන්ද්‍රයේ මේ වනවිට රුපියල් කෝටි ගණනක නිශ්චල දේපොළ රැසක්ම විනාශ වෙමින් තිබේ. ගොඩනැගිලි දහතුනක්ම මේ විනාශ වෙමින් පවතින නිශ්චල සම්පත් අතර  ඇත්තේ පෙරමුණේය.

කුඩ්ඩන්, හොරුන් මේවායෙහි  දොර,ජනෙල් ගලවාගෙන ගොස් ඉතා සොච්චම් මුදලකට අලෙවි කොට සිය බඩකට පුරවා ගෙන තිබේ. මේ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ රජයේ ඒකායන අරමුණවී තිබුණේ ප්‍රදේශයෙන් ඈත්වෙමින් තිබූ පාරම්පරික දේශිය හස්ත කර්මාන්තයන් යළි නගා සිටුවීමත් ඒ තුළින් ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීමත්ය.

එදා ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියෝ සිය ගණනක් මේ මධ්‍යස්ථානයේ සෘජුව හෝ වක්‍රව රැකියාවල නිරතවූහ. ඔවුහු මේ මධ්‍යස්ථානයේ බතික් රෙදි නිෂ්පාදනය කළහ. හම්බු පන්වලින් තොප්පි, මුදල් පසුම්බි, හැඹිලි ද සෑදූහ. වෙස් මුහුණු, රන් රිදී, සහ මුතු මැණික් මේ මධ්‍යස්ථානයේ අලෙවියට තැබූහ.

මේ මධ්‍යස්ථානයෙන් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා පමණක් නොව දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා අඩුවට හස්ත කර්මාන්ත නිෂ්පාදන මිලදී ගන්නට අවස්ථාව සැලසුනි. මේ නිසාම බෙන්තොට ජන කලා කේන්ද්‍රය ගැන මෙරට පමණක් නොව විදෙස් රටවල ජනයා ද කතා කරන්නට පටන් ගත්හ.

එදා බෙන්තොටටම බෙහෙවින්ම සම්පතක් වී තිබූ මේ ජන කලා කේන්ද්‍රයට අත්වූ ඉරණම ගැන බෙන්තොට ප්‍රදේශවාසීහු බෙහෙවින්ම කම්පාවට පත්ව සිටිති. මේ ඔවුන් අප සමග කී කතාය.

ඉඳුරුව තේක්කවත්ත සිරි සුවඩ්ඩනාරාමාධිපති කුඹල්ගම විපුලසිරි හිමියෝ ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළහ.

බෙන්තොට ජන කලා කේන්ද්‍රය එදා විවෘත කිරීමත් සමගම අපේ ගම්පළාතේ තරුණ,තරුණියන් මෙහි රස්සාවල් කළා. ඒ වගේ අපේ ගම්පළාතේම කොල්ලෝ,කෙල්ලෝ වැඩට ගියා.  මේ රටේ අය පමණක් නොවේ පිටරට අයත් ආවා. මේ මධ්‍යස්ථානයෙන් නිෂ්පාදනය කළ වෙස් මුහුණක්,පන් තොප්පියක් විතරක් නෙමෙයි මුතු මැණික් වැනි ස්වර්ණාභරණත් මිලදී ගත්තා.

තවමත් ප්‍රයෝජනයට ගත හැකි ගොඩනැගිලි

කාලයක්ම මේ මධ්‍යස්ථානය හොඳටම කෙරීගෙන ගියා. එදා මේ මධ්‍යස්ථාන වල ගොඩනැගිලි සංචාරකයන්ගෙන් පිරී ඉතිරිලා තිබුණා. කොරෝනත් එක්ක තමයි මේ මධ්‍යස්ථානය වැසී යන්න පටන් ගත්තේ. අද කාලේ හැටියට මේ ගොඩනැගිලි හදන්න කෝටි ගණන් මුදල් වියදම් කරන්න ඕන. වැහී ගියත් මේ ගොඩනැගිලි ටික ආරක්ෂා කර ගන්න තිබුණා. ගොඩනැගිලිවලින් බොහෝමයක්ම කැලෑවට යටවෙලා. බලධාරීන් ඇයිද දන්නේ නැහැ මේ වගේ ජාතික සම්පත් විනාශවීයාමට ඉඩදීලා බලාගෙන හිටියේ.

පියල් එස්. මාතරආරච්චි:-
අවුරුදු තිස්පහක්ම මම ඇමරිකාවේ වැඩ කරන්නේ. ප්‍රදේශවාසියෙක් වන මට මේ බෙන්තොට ජන කලා කේන්ද්‍රය විනාශය දැක්කාම පුදුම දුකක් ඇති වෙන්නේ. මොකද ඇමරිකාවේ මේ වගේ සම්පතක් තියෙනවනම් රස්සාවල් සිය දහස් ගණනක් උත්පාදනය කරනවා. කර්මාන්ත ශාලා ඇති කරන්න රජයෙන් දෙන්න පුළුවන් හැම සහනයක්ම දෙනවා .මේ වගේ සම්පතක් තියෙනවනම් ඇමරිකානු රජය කරන්නේ මෙහි කුටි ස්වයං රැකියාලාභීන්ට දෙනවා. වසර දහයක් යනකම්ම බදු අය කරන්නේ නැහැ. ඒ අවුරුදු දහයට ඒ ස්වයං රැකියාලාභියා තමන්ගේ ස්වයං රැකියාව දියුණු කරගෙන රජයට බදු ගෙවන්නේ හරිම කැමැත්තෙන්.

මම යෝජනා කරන්නෙත් මේ ජන කලා කේන්ද්‍රයට ඒ වගේ වැඩක්. අපරාදේ මේ මධ්‍යස්ථානයේ කුටි තිස්පහකට වැඩි සංඛ්‍යාවක් වහලා දාලා. අවුරුදු ගාණක්ම විනාශ වෙවී යනවා. මේ ජන කලා කේන්ද්‍රය හරියට ප්‍රයෝජනයට ගන්නවනම් මුළු බෙන්තොටම රැකියා ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් දෙන්න් පුළුවන් ඒ වගේම අපේ කර්මාන්ත ටිකත් ආරක්ෂා කරගන්නත් පුළුවන්.විදේශිකයන්ට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමෙන් රටේ ඩොලර් හිඟයත් මග හරවා ගන්නත් පුළුවන්.

මලින්ද චන්දි කමල් :-
සිය ගණන් තරුණියන්ට සෙත සෑදූ මේ මධ්‍යස්ථානය විනාශවී යාමට ඉඩදී බලධාරින් නිලධරින් උඩ බලාගෙන හිටියා. කෝටි ගණන් ටින දේපොළක්. මේ නිසා දිනෙන් දිනම විනාශය කරා ගියා. මේ අපරාධයට කරඋර දුන් නිලධාරීන් සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි. 

මෙතනට සංචාරකයො ආවේ බස් පිටින්. අනේ මන්දන්නේ නැහැ එහෙම සක්‍රීය මට්ටමේ තිබුණු මෙතනට මොකද වුණේ කියලා. දැන් ඒ ගැන කතා කරලා තේරුමක් නැහැ. ආයෙත් වරක් මේ ස්ථානය කෙළින් කරලා මුළු බෙන්තොටටම වටින තැනක් කිරීමට අදාළ බලධාරීන් වහාම කටයුතු කළ යුතුයි.

‍පියල් ගාමිණී:-
මමත් බෙන්තොට සංචාරක ව්‍යාපාරයේ නියුතු කෙනෙක්. එදා මේ මධ්‍යස්ථානයෙන් කඩ කාමරයක් ගන්න මමත් ඉල්ලුම් කළා. එහෙත් ලැබුණේ නැහැ. එදා මෙතනට වෙළෙඳ ප්‍රජාවගේ මෙන්ම සවයං රැකියාලාභීන්ගේ ඉල්කුමක් තිබුණා. මෙතන ශුද්ධ කරලා අලුත්වැඩියා කරලා සහනදායී ක්‍රමයකට අපිට දෙනවනම් අපි ඒවා ගන්න කැමැතියි. මේක මෙහෙම කැලෑවට ඇරියොත් ආයෙත් වැඩක් ගන්න බැරිවිදිහටම කැලෑවට යටවේවී.

ජන කලා කේන්ද්‍ර නාම් පුවරුව

මේ වගේ විශාල සම්පතක් බෙන්තොට තවත් නැතිව ඇති. ඇයි මේ ගැන බලධාරීන් මුනිවත රකින්නේ. වෙරළ ආසන්නයේ ගාලු පාර අද්දර තියෙන මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට අරගෙන සංචාරක වයාපාරය දියුණු කරන්න මොනවද කරන්න බැරි. 

බෙන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී මධුභාෂිකා දිල්හානි :-
බෙන්තොටට ආවේනික කර්මාන්ත රැසක්ම තියෙනවා. ඒ හැම කර්මාන්තයක්ම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් කර්මාන්ත.මේ මධ්‍යස්ථානයට ඒ කර්මාන්ත ගෙනැල්ලා දැම්මොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. අපේ ප්‍රදේශයේ රැකියා වියුක්තියටත් ඒක පිළියමක් වේවි. පන් කර්මාන්තය, කුරුඳු කර්මාන්තය, මුතු මැණික්වලින් ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත එදා වගේම මෙතන ආයෙත් ඇති කළොත් විශාල වශයෙන් සංචාරකයන් බෙන්තොටට අද්දවා ගන්න පුළුවන්.

මේ සම්බන්ධයෙන් බෙන්තොට සම්බන්ධීකරණ කමිටු සභාපති නිශාන්ත පෙරේරා මහතාගෙන් විමසූවිට ඒ මහතා මෙසේ කීවේය:-
කැලෑවට යටවෙලා තිබුණු මේ ස්ථානය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපි ශුද්ධ පවිත්‍ර කළා. ඒ වගේම මේ ආයතනය ප්‍රයෝජනවත් දෙයකට ගන්න කියලා අදාළ නිලධාරීන්ට යෝජනා කළා. එහෙත් තවමත් එවැන්නක් වුණේ නැහැ. නැවත වතාවක් ඒ සඳහා අදාළ අයත් සමග සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුම් තරමෙන් මේ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ටික කඩාගෙන වැටීමවත් වළක්වන්න කටයුතු කරන්න ඕන.



අදහස් (0)

රැකියා - කර්මාන්ත නංවන්න තැනූ බේරුවල ජනකලා කේන්ද්‍රයේ විනාශය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13296 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site