IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


යළි ආර්ථික අර්බුදයකට පත් නොකරන සැලැස්මකට

සාරා කන්දෙගොඩ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වී තිබේ. ඉතාම කෙටි කාලයකින් පුනර්ජීවනයක් කරා ගමන් කරන ලද රටක් වශයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ වර්ණනාවකට පත්ව ඇත. ස්ථාවරභාවයත් වර්ණනා ස්වභාවයක් ආපසු හැරෙන අවදානමක් ඇත. ලෝක ආර්ථික හැසිරිම අනුව වේගයෙන් ආකෘති වෙනස්වන තැනකට පත්ව ඇත. උද්දාමයට වඩා සූදානම වැදගත්වේ. 

ආර්ථිකය සෘණ අගයක තිබිය දී ධන ආර්ථිකයක් කරා හැරවීමට අනුගමනය කළ උපාය තුළ නිෂ්පාදන ක්‍රමවේද බහුලව තිබුණේ නැත. අභ්‍යන්තර හා බාහිර වශයෙන් එල්ල වූ පීඩන සඳහා වෙනම ක්‍රියාමාර්ග අනුගමනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි දී බලපෑමක් ඇති කළේය. මාස හතළිස් අටක සැලැස්ම ඉතා වැදගත් කාර්යභාරයක් වූ අතර එම රාමුව පමණක් අනුගමනය කිරීම මෙරට ප්‍රතිපත්ති සම්පාදක අංශවල දුබලතාවකි. රටට අනන්‍ය ක්‍රමවේදයක් සඳහා කේවල් කිරීමක් තිබුණේ නැත. බාහිර පීඩනය වශයෙන් පැන නැගුණ විනිමය ප්‍රශ්න සලකාබලා විදේශ ණය ආපසු ගෙවීම නතර කරන ලද අතර එයින් තාවකාලික අස්වැසිල්ලක් අත්පත් විය. අභ්‍යන්තර පීඩනය වශයෙන් ආදායම ප්‍රමාණවත් නොවීම ප්‍රධාන කරුණකි. ආදායම නංවන පියවරක් වශයෙන් අධික බදු ප්‍රතිශත පැනැවීය. විදුලිය, ඛනිජ තෙල් ඇතුළු අංශවල මිල සූත්‍ර හඳුන්වාදීමෙන් වියදම පාලනය කළ අතර මෙම දෙපැත්ත හේතු කරගෙන ආර්ථිකයේ සන්සුන් භාවයක් පවතී.

අලුත් වර්ධනකාරී සැලැස්මක් ගැන අවධානය

මෙම වසරේ සියයට 3.9 ක ආර්ථික වර්ධනයක් අත්පත් කර දෙන බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ. එය මෙම දෙපැත්තක ඇති පීඩනය තුරන් කර ඉතාම හොඳ ස්ථානයකට අවතීර්ණවීමක් සේ සැලකීම සුදුසු නැත. ස්ථාවර කරන ලද නමුත් අනතුර අප ඉදිරියෙහි තිබේ. අවදානම ඉවත්ව නැත. අභියෝග විශාල ප්‍රමාණයක් තිබේ. වරින් වර පැන නැගෙන තත්ව සමග තීරණ ගැනීමට සිදුවිය හැකිය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය දා මෙරටට පැමිණියේය. ඔවුහු රජයේ ප්‍රධානීහු මුණ ගැසුණාහ. පස්වැනි වතාවටත් පුරුදු රිද්මය අලුතින් හඳුන්වා දෙන්නට උත්සාහ කර තිබේ. නියෝජිතයන්ගේ නිර්දේශ අනුව බදු තවත් වැඩි කළ යුතුව ඇත. ඒ සඳහා වපරිසය පුළුල් කරන නිර්දේශ ඇතුළත්ය. පෞද්ගලීකරණය වේගවත් කළ යුතු අතර ආයෝජන වැඩිකරගැනීම සඳහා සැලැස්මක් අවශ්‍ය බව පෙන්වා දී තිබේ. රජයේ වියදම් පාලනය අවශ්‍ය අතර ඛනිජ තෙල් හා විදුලිය සඳහා මිල සූත්‍ර තවත් තර කරන සේ දක්වා ඇත. මෙම යෝජනාවලින් මූල්‍ය අරමුදලේ ඉලක්කම් සාක්ෂාත් කරගත හැකිවේ. මෙරට ජනතාවගේ ජීවන තත්වය කොයිබටද?

ජනී ජනයා ඉතා දුෂ්කර තැනක පසුවේ. රජය පනවන ලද සෘජු හා වක්‍ර බදුවල පීඩාව ඔවුන්ට දැනෙන්නට පටන්ගෙන ඇත. මහජනතාවගේ ආදායම උදුරාගෙන ඒවායෙන් අය වැය පියැවීම සුදුසු තත්වයක් නොවේ. නිෂ්පාදන හා සේවා අංශ පුළුල් නොවන ස්වභාවයක වෙනස් හැඩයක් අපේක්ෂා කළ නොහැක. ආණ්ඩුව දක්ව පරිදි අස්වැස්ම අයැදුම්කරන ලේඛනය ඉතා දිගුය. ජනගහනයෙන් හතරෙන් එකක් දුප්පතුන් ගේ තැනට තල්ලු වී තිබේ. දුප්පත් හා පොහොසත් පරතරය උග්‍ර වී ඇත. සමාජයේ එක කොටසකට අධික බදු සහිත වාහන මිල දී ගත හැකි ආර්ථිකයක් හැදී ඇති අතර පහළ පෙළැන්තියට ඉතාම අඩු වියදමකින් ජීවත් වන්නට සිදු වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලැස්ම දිගටම අනුගමනය කළ හොත් ස්වභාවය තවත් වටයකින් තියුණු තැනකට පත්වනු ඇත.

උද්ධමනය හා විනිමය අනුපාත ඉහළට

උද්ධමන අනුපාතිකය සියයට එකක පමණ අගයක දැනට පවතින අතර ආණ්ඩුව එය සියයට පහ තෙක් නංවන නිර්දේශයක් පිළිගෙන තිබේ. මහ බැංකුව එය අනාවරණය කර ඇත. උද්ධමනය ඉහළ නැංවීමෙන් වෙළෙඳ පොල ඉල්ලුම පාලනය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශනය වී ඇත. ආර්ථිකය දියුණු කරන රටක් වශයෙන් ඉල්ලුම පාලනය කිරීම වෙනුවට සැපැයුම ඉහළ නැංවීම සුදුසුය. නිෂ්පාදන අංශ දිරිගන්වන රාමුවක් ප්‍රකාශයට පත්කළ යුතුව තිබේ. රට තුළ සැපැයුම වැඩි කරන අතර අතිරික්තය අපනයනය කළ යුතුය. 

ලෝකයේ රටවල් දියුණු වූ ආකාරය අධ්‍යයනය කළ යුතුවේ. ප්‍රසාරණයකට ඉඩදීමෙන් උසස් අවස්ථා අත්පත් කරගෙන තිබේ. දුෂ්කර කාල පරිච්ඡේදයක ආර්ථිකය හැකිළීම තාවකාලික උපක්‍රමයක් නමුත් අඛණ්ඩව එම පැවැත්ම සුදුසු නැත. උද්ධමනය වැඩි කිරීමෙන් පසු දැනට තිබෙන භාණ්ඩ හා සේවා මිල ගණන් තවත් සියයට පහකින් මෙම වසර තුළ ඉහළ යනු ඇත. එය ඉතා දුෂ්කර තත්වයක් ඇති කරන බව අවිවාදිතය. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම නිරර්ථක වනු ඇති අතර විධායක මට්ටමේ ශ්‍රම බලකායට බදු ගෙවීමෙන් පසු ජීවත්වීම පහසු නැති තැනකට පත් විය හැකිය. මෙම සමාජ ප්‍රශ්න ආණ්ඩුවේ පැවැත්මට හිතකර තත්වයක් නොවේ. 

පර්යේෂකයන් දක්වන පරිදි ශ්‍රී ලංකාව සිය ගමන් මග තුළ අවස්ථා හා අභියෝග අතර පසුවේ. වත්මන් ආණ්ඩුව ඉකුත් දශක හතක් සාක්ෂාත් කරගත නොහැකි වු වපසරියක් ගැන බලාපොරොත්තු සමාජයට ඇති කර තිබේ. අඩු මිලට භාණ්ඩ, නිෂ්පාදනවලට ඉහළ මිලක්, අතට හොඳ ආදායමක්, ඉතිරි කිරීම් සඳහා වැඩි පොලියක්, අධ්‍යාපන හා ප්‍රවාහන අංශවල ප්‍රගතියක් වශයෙන් මෙම පැතිකඩ එකිනෙකට වෙනස් මානයක් කරා විහිදුවන ලදී. මෙකී අවශ්‍යතා සාක්ෂාත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන මාස හතළිස් අටක සැලැස්මට එපිටින් යන අලුත් ආර්ථික වර්ධනකාරී ක්‍රමවේදයක් වුවමනා කෙරේ.

තමන්ට අනන්‍ය වූ ක්‍රමවේදයක් හඳුන්වාදීම

ආණ්ඩුව ඉදිරිපත් කරන ලද ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය දැවැන්ත සැලැස්මක් වශයෙන් හුවා දැක්විණි. එය හුදෙක් පරිසරය පමණක් පිරිසුදු කරන ආකාරයේ එකක් නොවේ. අලුත් ආයෝජන, අලුත් කර්මාන්ත හා අලුත් ව්‍යවසාය ඉතා පිරිසුදු හා විනිවිද පෙනෙන ආකාරයකට ඇති කිරීම ද එයට ඇතුළත් බව ප්‍රකාශයට පත්විය. පසුගිය කාලයේ බරපතළ විවේචනයට පත් වූ ආකාරයේ එනම් චීන ණය ආධාර සහිතව දීර්ඝ කාලයකට පසු ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතිවලට වෙනස් ආකාරයකට තීරණ ගැනීම අරමුණු අතර ඇති බව වගකිව යුතු අංශ ප්‍රකාශ කළේය . හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, නෙළුම් කුලුන සහ කොළඹ වරාය නගරය වැනි ව්‍යාපෘතිවලට එපිටින් යන අලුත් සැලැසුම් කෙරෙහි බලාපොරොත්තු තැබීය. 

තවමත් එවැනි පුළුල් සැලැස්මක් කරා විදේශීය ආයෝජන විහිදීමක් නිරීක්ෂණය නොවේ. මූල්‍ය අරමුදලේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ආධාරය, ඉන්දියාව සපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන හතරක ණය සහ මහජන චීන සමූහාණ්ඩුව මහ බැංකුවට නිකුත් කළ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා යෙන් සංචිතය ප්‍රධාන කුලුනු තුනක් වශයෙන් ආර්ථිකය සතුව තිබේ. අදානි සමූහ ව්‍යාපාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදුලිය බලාගාර ආයෝජනය ප්‍රතික්ෂේප වී ඇති අතර සිනොපැක් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් ආයෝජනය කර ඉදිකරන්නට සූදානම් වූ තෙල් පිරි පහදුව අතර මැද තැනකය. ජාත්‍යන්තර සමාගමක් මෙරට සූදු සහ විනෝදාත්මක අංශයේ ආයෝජනය කරන සූදානමක සිටි අතර ඔවුන්ගෙන් අය කරන බදු නැවත වතාවක් ඉහළ දැමීම අවදානමක් ඇති කරන තත්වයක් වී තිබේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ බදු සංශෝධනය කරන සේ යෝජනා වී ඇති අතර එය ද ආයෝජන අංශ දුර්මුඛ කරන තීරණයකි.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශය ගැන සඳහන් කරන ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල එය දැනට පවතින දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 0.5 ක සිට සියයට 1.5 දක්වා වැඩිකරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. මෙම විනිමය ප්‍රමාණය රහිතව රටට අලුත් ව්‍යාපාරික අවස්ථා හෝ අපනයන අවකාශයක් විවර කරගත නොහැකිය. එම පසුබිම රහිතව දැනට පවතින ස්ථාවරත්වය ඉදිරියට ගෙන යා නොහැකි අතර බොහෝ දුරට එය නැවත ආපසු හැරවීමට උත්තේජකයන් වනු නිසැකය.

ඉදිරි පිම්ම අසාර්ථක වුවහොත් නැවතත් අර්බුදයක්

ශ්‍රී ලංකාව විනිමය උපයාගත යුතුව තිබේ. 2025 වසරේ වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් වැය කර ඇත. තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක මුදලක් විදේශීය ණය ගෙවීමට වැය කර ඇති අතර මෙම අවුරුද්ද ඇතුළත තවත් ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන මුදලක් විදේශ ණය වශයෙන් ගෙවන්නට සිදුවේ. මෙම විදේශ විනිමය පිරිවැය කළමනාකරණය සඳහා රටට සංචිත අවශ්‍ය කෙරේ. කෘෂි අපනයන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා කරන පිරිස් එවන ධනය පමණක් ප්‍රමාණවත් නැත. රට තුළට විනිමය ලැබෙන අලුත් ක්‍රමවේද ඉක්මනින් සකස් කරගැනීම ආණ්ඩුවේ වගකීමකි. ආණ්ඩුව අද වන විට ඉන්දියාව, චීනය, ජපානය, එක්සත් ආරබි එමීර්, මාලදිවයින, මියන්මාරය, ඇමරිකාව වියට්නාමය හා ජර්මනිය යන රටවලට අලුත් සහයෝගීතාවක් සඳහා අත දිගුකර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා අවුරුද්දක පමණ කාලය තුළ විදේශ සංචාර අටකින් රටවල් හතකට ගමන් කර ඇති අතර මෙම ගමන්වල දී ද්වී පාර්ශවික සහයෝගීතාව, ආයෝජනය හා සංචාරක කටයුතු සම්බන්ධ වැදගත් ගිවිසුම් අත්සන් කර තිබේ. අදාළ අමාත්‍යවරු හා නිලධාරීහු මෙම සැලසුම් ඉදිරියට ගෙන යන අතර රටට අවස්ථා ලබාගැනීම කෙරෙහි සැලකිල්ල යොමු කිරීම අවශ්‍යය. 

සහයෝගීතාව ප්‍රකාශ කරන රටවලට ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශය පුළුල් කළ යුතු අතර ඒ සඳහා දැනට පවතින අංශ පැවැරිය හැකිය. විදුලිය, ඛනිජ තෙල්, වරාය, සංචාර කර්මාන්තය හා කෘෂි අංශයේ සැලකිය යුතු අවකාශයක් ආවරණය කර ගෙන කටයුතු කිරීම ප්‍රමාණවත් නැත. ආයෝජන පහසුව ඇති කළ යුතුය. ඉඩම් පැවැරීම වේගවත් කළ යුතු අතර අනුමැතිය ඉක්මන් කළ යුතුවේ. දැනට ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබූ ව්‍යාපාර ගැන විශාල ප්‍රචාරයක් පවතින නමුත් එම ව්‍යාපෘති නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා සැලකිය යුතු බාධා තිබේ. ආයෝජන මණ්ඩල ආකෘතිය වෙනස් කිරීමේ පණත සම්පූර්ණ කිරීමෙන් තොරව පැවැතීම ද බාධාවක් බව ද මෙහිදී දැක්විය හැකිය.

වහාම ක්‍රියාත්මක වන අතර අවම වශයෙන් සියයට හය ඉක්මවන ආර්ථික වර්ධනයක් සඳහා පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමකි. මැදි ආදායම් රටක් වශයෙන් බලාපොරොත්තු සහිතව සිටින ජන කොටස් ආපසු හැරවිය නොහැක. වෙළෙඳ පොළ අවශ්‍යතා සම්පූර්ණ කරන අතර විදේශ වෙළෙඳාම සහ දේශීය හා විදේශීය ණය ආපසු ගෙවන පිළිවෙළ සඳහා ආර්ථිකය සූදානම් කිරීම අවශ්‍යය. 2026 අය වැය යෝජනා සඳහා ආණ්ඩුව සූදානම් වන අතර එහි දී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන ආර්ථිකය හකුළුවන ආකෘතිය පසෙකට කර වේගයෙන් ඉදිරියට යන ලිබරල් අදහස්වලට ඉඩ ලැබෙන බවක් විශ්වාස කළ නොහැක. දැනට ලබාගෙන ඇති අවකාශය ආපසු හැරවීමට ඉඩ දිය යුතු නැත.



අදහස් (0)

යළි ආර්ථික අර්බුදයකට පත් නොකරන සැලැස්මකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1071 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site