2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදය රටේ ආර්ථික සංවර්ධන ගමන් මඟ පිළිබදව ගැඹුරින් අවධානය යොමු කිරීම සඳහා ලද අවස්ථාවක් වූ අතර විශේෂයෙන්ම ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට අවශ්‍ය වන මහජන සහයෝගය ලබාගැනීම සඳහා කදිම අවස්ථාවක් ද එමඟින් සලසා දෙන ලදී.
මෙවැනි අවස්ථා ඉතිහාසයේ අවස්ථා කීපයකදී අත්කර දෙනු ලැබුවද එවැනි අවස්ථා බොහොමයක් අප මගහරින ලද බව ද ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වේ. මෙවරද අප ලද අවස්ථාව අහිමි කරගනිමින් සිටී ද යන්න පිළිබදව සැකයක් මතු වෙමින් ඇත. මෙම ලිපියේ අරමුණ ඒ පිළිබදව අවධානය යොමුකිරීම වේ.
ආර්ථික අර්බුදයේ මූල හේතු
ආර්ථික අර්බුදයට බලපෑ හේතු පිළිබඳව මේ වනවිට යම් අදහසක් සමාජය තුළ පවතී. ඉතා කෙටියෙන් ඒ පිළිබදව යළිත් වරක් අවධානය යොමු කරනු ලැබුවහොත් අර්බුදය දිගු කාලීන, මැදි කාලීන සහ කෙටි කාලීන හේතු ගණනාවක් බලපෑවේය. කෙටි කාලීන හේතු අතර COVID-19 වසංගතය, විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගෙන යාම, බදු අඩුකිරීම හරහා රාජ්‍ය අදායම අහිමි කරගැනීම, පහළ පොලී අනුපාත පවත්වාගෙන යාම සහ අනෙකුත් ප්‍රතිපත්ති ආශ්‍රීතව පැවති දුර්වලතා හේතු විය. මැදි කාලීනව පැවති ගැටලු අතර දිගින් දිගටම පැවති අයවැය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟය හේතුවෙන් අඛණ්ඩව රාජ්‍ය ණයගැතිභාවය ඉහළ ගියේය. පළමුව වඩාත් සහන කොන්දේසි යටතේ විදේශ ණය ලබාගැනීම් සිදුකළ අතර මධ්‍යම ආදායම් ලබන රටක් වීමෙන් පසුව සාපේක්ෂව ඉහළ පොලී අනුපාත යටතේ විදේශ ණය වෙළෙඳපොළෙන් ණය ලබා ගත්තේය. දිගු කාලීනව පැවති ගැටලු අතර ආර්ථික සහ දේශපාලන ආයතන ඉතා සුළු පිරිසකගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පවත්වාගෙන යාම සඳහන් කළ හැකි වේ.
විශේෂයෙන්ම නිදහසින් පසු කාලයේ දී ආර්ථික සහ දේශපාලනික ආයතන පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා යොමු නොකළ අතර, ඒ හේතුවෙන් ආර්ථික සහ දේශපාලනික ආයතන සමාජයේ ඉතා සුළු පිරිසකගේ වුවමනා එපාකම් සඳහා පමණක් භාවිත විය. මේ හෙතුවෙන් රට තුළ දේශපාලන අස්ථාවරත්වය, උතුරේ සහ දකුණේ තරුණ නැගිටීම්, මෙන්ම ව්‍යවසායකත්වය රට තුළ නිර්මාණය නොවීම දැක්විය හැකි වේ. මේ නිසා ශ්‍රී ලංකාව 2022 දී මුහුණ දුන් ආර්ථික අර්බුදය හුදෙක් ද්‍රවශීලතා ගැටලුවක් (liquidity issue) හෝ ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි ගැටලුවක් (insolvency issue) පමණක් නොව ඉන් ඔබ්බට ගිය සමාජ, ආර්ථික, දේශපාලනික ගැටලුවක් බව වටහාගත යුතුව ඇත. මේ නිසාම, එහි මූල හේතු විසඳීමට පුළුල් වූ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අප පිළිගත යුතුව ඇත.
නව ආර්ථික අභියෝග
ඇමරිකානු නව තීරුබදු ප්‍රතිපත්තියත් සමග ගෝලීයව ඇති වෙමින් පවතින නව වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති රාමු ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා රටවල සංවර්ධනයට තියුණු අභියෝගයක් එල්ල කරමින් පවතී. එතෙක් පුරා දශක පහකට පමණ කාලයක් ක්‍රියාත්මක වූ සාධාරණ සහ නීති-රීති මත පදනනම් වූ ගෝලීය වෙළෙඳාම සහ ආයෝජන පරිසරය තුළ සංවර්ධනය වෙමින් පවතින කුඩා රටවලට වඩාත් හිතකර පරිසරයක් පැවති අතර එම අවස්ථා භාවිත කරමින් එවකට දියුණු වෙමින් පැවති රටවල් වන සිංග්ප්පූරුව, තායිලන්තය, මැලේසියාව සහ දකුණු කොරියාව වැනි රටවල් සංවර්ධනය කරා සාර්ථකව ගමන් කළේය. වත්මන් තත්වය යටතේ කේවල් කිරීමේ හැකියාවක් නොමැති සංවර්ධනය වෙමින් පවතින කුඩා රටවලට ලෝක ආර්ථිකය තුළ ඇති අවස්ථා සීමාවෙමින් පවතී. පවතින සීමා සහිත අවස්ථා භාවිත කිරීම සඳහා තියුණු තරගයක් ඇති වීමට නියමිතය. පවතින සීමා සහිත අවස්ථාවලින් උපරීම ප්‍රයෝජන ලබාගැනීමට නම් සංවර්ධනය වෙමින් පවතින කුඩා රටවල් ආර්ථික තරගකාරීත්වය සහ නවෝත්පාදනය ඉහළ දමා ගත යුතුව පවතී.
විශේෂයෙන්ම සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ආර්ථිකයේ පලදායීතාව ඉහළ නැංවීම කළ යුතුවේ. ඒ අනුව වර්තමානය වනවිට ලාංකේය ආර්ථිකය අභියෝග දෙකකට මුහුණු දෙමින් සිටී. පළමුව අප මුහුණ දුන් ආර්ථික අභියෝගයට අදාළව පැවතී මූල හේතු විසඳීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කළ යුතු අතර දෙවනුව වත්මන් ගෝලීය තත්වවලට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය වන හැකියාව ආර්ථිකය තුළ ඇති කළ යුතුව ඇත.
ආර්ථික අර්බුදයෙන් පසු කළ නිවැරදි කිරීම්
ආර්ථික අර්බුදය හමුවේ රට IMF වැඩසටහනකට එකඟ වූ අතර ඒ යටතේ ආර්ථික තීන්දු තීරණ ගණනාවක් පසුගිය රජය යටතේ ක්‍රියාවට නංවන ලදී. විශේෂයෙන්ම එම වැඩසටහනේ මෙවර ඇති සුවිශේෂිත්වය වන්නේ බොහොමයක් තීරණාත්මක ප්‍රතිසංස්කරණ මුලින්ම සිදුකිරීම (front loading) සඳහා යෝජනා පැවතීමය. ඒ අනුව ආර්ථික ස්ථායීතාව ළඟාකර ගැනීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ග රාශියක් පළමු වසර දෙක තුළ සිදුකරන ලදී. ඒ අතර බදු වැඩිකිරීම, ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම, දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීමට අවශ්‍ය වන අණපනත් හඳුන්වා දීම සිදුකරන ලදී. එම පියවරවල සාර්ථකත්වය මත ආර්ථික ස්ථායීතාව ක්‍රමානුකූලව ඇති කර ගැනීමට හැකිවිය. එසේ හඳුන්වා දුන් බෙහොමයක් ප්‍රතිපත්ති ඉතා වේදනාකාරී වූ අතර මේ නිසාම පැවති රජය ජනතාවගේ අප්‍රසාදයට ලක් විය. එසේ වුවත් ආර්ථිකයට එවැනි ප්‍රතිපත්ති වෙනස් කිරීම් යහපත් වූ අතර අද වනවිට අත්දකින යම් ආර්ථික ප්‍රගතියක් ඇත්නම් ඒ සියල්ලම පසුගිය රජයේ IMF වැඩසටහන යටතේ වූ ක්‍රියාමර්ගවල ප්‍රතිඵල වේ. IMF වැඩසටහනට අදාළව වෙනස්කම් කරනු ලබන බව බලයට පත්වීමට පෙර වත්මන් රජය ප්‍රකාශ කළද එවැනි කිසිදු වෙනස් කිරීම්වලින් වැළකී ඇත.
යෝජිතව පැවති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය
පසුගිය රජය යටතේ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණවලට අමතරව තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් සඳහා සූදානමක් පැවති අතර ඒ අතරින් තිරසාර ආර්ථීක සංවර්ධනය ඉලක්ක කරමින් ආර්ථික පරිවර්තන පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගන්නා ලදී. එසේම රාජ්‍ය අංශය විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාපාරවලට අදාළව පුළුල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා ද යෝජනා ඉදිරිපත්ව තිබුණි.
එහෙත් නව රජය යටතේ එසේ යෝජිතව ඇති කිසිදු ප්‍රතිසංස්කරණයක් ඉදිරියට යන බවක් දක්නට නොමැත. විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ පනත යම් යම් සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන බව ජනාධිපතිවරයා තම පසුගිය අයවැය තුළ පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළ ද අද වන තෙක් ඊට අදාළව කිසිදු පියවරක් ගෙන ඇති බවක් නොපෙනේ. අයවැයට අදාළව යෝජනා කළ බොහෝමයක් යෝජනා මෙන්ම ප්‍රාග්ධන වියදම් පවා වියදම් කිරීම ඉතාමත් මන්දගාමීව සිදුවන බවක් පෙනේ.
ආර්ථික පරිවර්තන පනත තුළ අපනයන වැඩිකිරීම සහ විවිධාංගීකරණය කිරීම, විදේශ අයෝජන ඉහළ නැංවිම, කාන්තා ශ්‍රම සහභාගීත්වය ඉහළ නැංවීම සහ පලදායීතාව ඉහළ නැංවීම ඉලක්ක කරන ලදී. මෑත කාලීනව අපනයන ආදායම මෙන්ම සෘජු විදේශ අායෝජන ඉහළයාමක් පිළිබඳව නිතර දත්ත ඉදිරිපත් කිරීමක් රජයේ පාර්ශ්ව හරහා සිදුවෙමින් පවතින බව නිරීක්ෂණ කළ හැකිය.
පසුගිය දශකය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන කරුණක් වන්නේ සාමාන්‍ය වාර්ෂික සෘජු විදේශ අයෝජන වාර්ෂිකව ඇ. ඩොලර් බිලියනයක්ව පැවති බව සහ භාණ්ඩ අපනයන ඇ. ඩොලර් බිලියන 12-13 ක් වූ බවයි. අපනයන වටිනාකම දළ දේශීය නිෂ්පාදනයේ වැඩිවීමට සාපේක්ෂව ඉහළයාමක් සිදුව ඇත. මේ නිසා වර්තමානයේ ද සිදුව ඇත්තේ ඉතිහාසයේ සිදුවූ දෙයම යන්න වටහා ගැනීම අපහසු නොවනු ඇත.
වියට්නාමය, තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවල් තම දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රමාණයක් අපනයන කරන අතරම, විදේශ අායෝජන ද ලබාගනී. ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමකින් තොරව අපනයන ඉහළ නැංවීම හෝ ආයෝජන ප්‍රවර්ධනය කිරීමක් පිළිබඳව අපට කල්පනා කළ නොහැක. දැන් සිදුව ඇත්තේ ආර්ථිකය තුළ ස්වයංව සිදුවන යළි සැකසීමක් විනා ප්‍රතිපත්ති වෙනස්කම් මත ඇති වූවක් නොවන බව ඉතා පැහැදිලිය.
වෙනත් වචනවලින් පවසන්නේ නම් වර්තමානය වනවිට ආර්ථිකය ස්වයං ධාවනයක (Auto-Piloting) නිරතව ඇති අතර ප්‍රතිපත්ති මගින් උත්තේජනය වූ අපනයන හෝ අායෝජන ඉහළ යාමක් ආර්ථිකය තුළ දක්නට නොමැත. මේ නිසාම, මෙවැනි ඉහළයාම් තාවකාලික වන අතරම එවැන්නකින් දිගුකාලීනව තිරසාර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට අවශ්‍ය අඩිතාලම වැටෙන්නේ ද නැත.
සංවර්ධන අවස්ථාව ගිලිහීම
බොහෝ දෙනාගේ අපේක්ෂාවක් වූයේ වත්මන් රජය යටතේ යම් මැදි කාලීන ජාතික සංවර්ධන රාමුවක් තුළ සමාජ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය අඩිතාලම සකස්වේය යන්නයි. වර්තමානය වනවිට ලෝකයේ බොහොමයක් සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් එවැනි ජාතික සංවර්ධන සැලස්මක් යටතේ සංවර්ධනය ඉලක්ක පසුපස හඹා යමින් සිටී. එසේ වුවත් තවමත් සංවර්ධන සැලස්මක් හෝ රාමුවක් ඉදිරිපත් කිරීමක් සිදුව නොමැති අතර යම් අමාත්‍යංශ මගින් ප්‍රතිපත්ති රාමු හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.
ජාතික සංවර්ධන රාමුවකින් තොරව එවැනි ප්‍රතිපත්ති සකස් කරන්නේ කෙසේද යන්න යමකු විසින් නැගිය යුතු මූලික ප්‍රශ්නයක් වේ. අර්ථික අර්බුදය රටේ සංවර්ධන උපාය මාර්ග පිළිබඳව අවධානය යොමු කිරීමට ලබාදුන් අනගි අවස්ථාවක් වූ අතර එසේම කෙටිකාලීනව වේදනාකාරී එහෙත් දිගු කාලීනව ඉතා යහපත් තීන්දු තීරණ ගැනීමට ලබාදුන් අනගි අවස්ථාවක් විය. එහෙත් අවාසනාවට කරුණ නම් එම අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන අපතේ යාමට ඉඩ හැරීම වේ. විශේෂයෙන්ම, ඉඩම්, ශ්‍රම වෙළෙඳපොළ, කෘෂීකර්මය, රාජ්‍ය අංශය සහ ව්‍යාපාර පරිසරයට අදාළව ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුව ඇති අතර මේ සඳහා පුළුල් සංවර්ධන රාමුවක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.
වර්තමානය වනවිට ඇමැතිවරුන්ගේ අවධානය යොමුව ඇත්තේ එදිනෙදා මුහුණ දෙන සිල්ලර ගනයේ ගැටලුවලට වන අතර දිගුකාලීන දැක්මකින් යුතුව සිදු කරනු ලබන ප්‍රතිපත්ති මැදිහත්වීමක් කිසිසේත්ම දක්නට නැත. උදාහරණයක් ලෙස කෘෂිකාර්මික අංශයේ නවීකරණය සඳහා බොහෝ දෑ සිදුවිය යුතුව ඇතත් වර්තමානයේ දී ඒ පිළිබඳව අවධානයක් යොමු වන බවක් නොපෙනේ. ආර්ථිකය අර්බුදයට යන අවස්ථාවට අදාළ මූලික පරාමිතීන් කිසිවක් තවමත් වෙනස්ව නොමැති අතර අභ්‍යන්තර හෝ බාහිර කම්පනයකට අදාළව ආර්ථිකය නැවත වරක් අර්බුදයකයට ගමන් කිරීමට හැකියාව පවතී. මේ නිසා රජය අවම වශයෙන් දැන් හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යොමුවීම කළ යුතුව ඇත.
රජයක් බලයට පත් වී පළමු වසර 1-2 තුළ ප්‍රතිසංස්කරණ සඳහා යහපත් පරිසරයක් ඇති කරනු ලබන අතර ඉන් පසු කාලයේ ප්‍රතිසංස්කරණ කිරීම දුෂ්කර වනු ඇත. එබැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ආර්ථික අර්බුදයට අදාළව මූල හේතුවලට පිළිතුරු සපයන අතරම වර්තමානය වනවිට ගෝලීයව ඇති වෙමින් පවතින වෙළෙඳ සහ ආයෝජන පරිසරයට අදාළ නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ලබාගැනීමට නව වෙළෙඳ ගිවිසුම්වලට යොමුවීම ද ඉතා අවශ්‍ය වේ. ආර්ථික පරිවර්තන පනත මගින් යෝජනා වූ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලය පිහිටුවීම මෙතෙක් සිදුව නොමැත.
වත්මන් ගෝලීය තත්වය යටතේ එවන් ආයතනයක අවශ්‍යතාව පෙරටත් වඩා වැඩි බව කිව යුතුය. දැන් අවශ්‍ය වන්නේ කථාව නොව ක්‍රියාව බව පාලකයන් වටහා ගත යුතුය. එසේ නොවුණහොත් ආර්ථිකය යළි වරක් අර්බුදයකට ගමන් කිරීම වළක්වා ගැනීම දුෂ්කර එකක් වනු ඇති බව ප්‍රකාශ කළ යුතුව ඇත. එබැවින් ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය හුදු ආදායම් වියදම් ලේඛනයකින් ඔබ්බට යමින් ආර්ථිකය නව දිශානතියකට යොමු කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කිරීම කළ යුතුව ඇත. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් අප මෙවරද අපට ලබාදුන් අනගි සංවර්ධන අවස්ථාවක් මගහැර ගත්තා වනු ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මෙවරත් අහිමි කරගන්නා සංවර්ධ්න අවස්ථා