IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


බඩඉරිඟු වලින් ස්වයංපෝෂිත වන්නේ කවදාද?

වසරකට රට පුරා හෙක්ටයාර් හැත්තෑදහසක් පමණ බඩඉරිඟු වගා කළත් දේශීය අවශ්‍යතාවට පුමාණවත් අස්වැන්නක් නෑ
සත්ව ආහාර සහ ළදරු ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු අත්‍යවශ්‍යයි
බඩඉරිඟු ප්‍රවර්ධනයට ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති දූෂිතයි. අසාර්ථකයි
වැඩිම බඩඉරිඟු වගා වපසරිය අනුරාධපුරයේ
බඩඉරිඟු ආනයනයට වසරකට මිලියන ගණනක්
නුතන ක්‍රම භාවිතය අවම වීමත් පසු අස්වනු හානියත් දේශීය බඩඉරිගු අස්වැන්න අවම වීමට හේතුවක්
ඉකුත් සමයේ පොහොර තහනමත් බඩඉරිඟු වගාව බිඳ වැටීමට හේතුවෙලා
වාර්ෂිකව බඩඉරිඟු ආනයනයට රුපියල් මිලියන 1,200 ක්


බුල්නෑව ප්‍රදීප් රණතුංග


සියවස් ගණනාවක් තිස්සේ මෙරට ජන ජීවිත හා බැඳී පවතින “බඩඉරිඟු” යනු තවදුරටත් එදිනෙදා වේල පිරිමසා ගැනීමට කරන වගාවක් නොවේ. අනාදිමත් කාලයක පටන් මෙරට සාම්ප්‍රදායික ගැමි ජන ජීවිතවල ආහාර සුරක්ෂිතතාවට ඉමහත් පිටිවහලක් වු බඩඉරිඟු අද වන විට ඉහළ වාණිජමය වටිනාකමක් සහිත බෝගයක් වී හමාරය. එහෙත් වගාව අරබයා කලින් කලට මතුව එන විවිධ පළිබෝධ හානි සහ රෝගකාරක, වන සත්ව හානි, වගාව හා බැදුණු දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් අසරණ වනුයේ ගොවීන් පමණක් නොවේ. අව්වෙන්, වැස්සෙන් හිරිහැර විදිමින් මහ මගට විත් කිරි බඩඉරිඟු විකුණා දවස සරි කරන වෙළෙදුන්ගේ ජීවනෝපායට ද ඉන් එල්ලවනුයේ මරු පහරකි. 
දිවයිනේ වියළි හා අතරමැදි කලාපවල බඩඉරිඟු වගාව සිදුවේ. අනුරාධපුරය, අම්පාර, මොණරාගල, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් අක්කර දහස් ගණනක් පුරා මෙරට බඩඉරිඟු වගාව ව්‍යාප්තව පවතී. එම ප්‍රමාණය දිවයිනේ සමස්ත බඩඉරිඟු වගා බිම් ප්‍රමාණයෙන් සියයට 75 ඉක්මවයි. දැනට වාර්ෂිකව මෙරට තුළ වගා කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර් හැත්තෑදහසක් (70,000) පමණ වේ. කිරිඉරිඟු‍ නිෂ්පාදනය සඳහා ජල සම්පාදන පහසුකම් සහිත ප්‍රදේශවල වසරක් තුළ එකම භූමියේ තුන් වරක් පමණ බඩඉරිඟු‍ වගා කිරීම සිදුවන බැවින් නිවැරදි වගාබිම් ප්‍රමාණය මෙයට වඩා ඉහළ අගයක් ගනියි. අනුරාධපුරයේ, ගලෙන්බිඳුනුවැව, කහටගස්දිගිලිය වැනි ප්‍රදේශවල පමණක් හේන් ආශ්‍රිතව යල, මහ දෙකන්නයේ අක්කර දසදහසක පමණ බඩඉරිඟු වගා කිරීමට ගොවීහු උත්සුක වෙති. 
ත්‍රීපෝෂ හා සත්ව ආහාර සහ වෙනත් අතුරු නිෂ්පාදන සඳහා මෙරට බඩඉරිඟු‍ අවශ්‍යතාව වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ තුන ඉක්මවා පවතී. කුඹුරු සහ විශේෂයෙන් හේන් ආශ්‍රිතව සිදුකෙරෙන දේශීය වගාවලින් මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවන නිෂ්පාදනයක් ජාතික අවශ්‍යතාව සඳහා එකතු කිරීමට මෙරට ගොවීහු සමත්ව සිටිති. එහෙත් මෙරට සමස්ත බඩඉරිඟු අවශ්‍යතාව සපුරනු සඳහා මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ආනයනය කරනුයේ රට තුළදී එම අවශ්‍යතාව සපුරාගැනීමේ නොහැකියාව හේතුවෙනි. මේ සඳහා රුපියල් මිලියන 1,200 ක් පමණ වසරකට වැයවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වයි. 
මින් වසර කිහිපයකට ඉහතින් මහ කන්නයේ හේන් වගාවක් ලෙස පැවැති බඩඉරිඟු වර්තමානයේ වසර පුරා සිදුවන වගාවක් බවට පත්ව ඇත. කරුණු එසේ වුවද ඉකුත් සමයේ ඇතිකළ රසායනික පොහොර තහනමත් සමග දේශීය බඩඉරිඟු වගා වපසරිය මුළුමනින්ම බිඳවැටීනි. මේ හේතුවෙන් ඉකුත් කන්න කිහිපයේ මෙරට වාර්ෂික බඩඉරිඟු නිෂ්පාදනය ඉතා පහළ අගයකට ඇද වැටිනි. එයින් ක්ෂේත්‍ර ගණනාවක් අර්බුද රැසකට මැදිවිය. ඒ අතරම පසුගිය කාලයේ කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්ව බඩඉරිඟු ප්‍රවර්ධනයට ක්‍රියාත්මක කළ බොහෝ ව්‍යාපෘති දැඩි ලෙස අසාර්ථක වීමත් අවධානයට ගත යුත්තකි. එවැනි බොහෝ ව්‍යාපෘති විවිධ දුෂණ සහ අක්‍රමිකතාවලින් පිරී තිබිණි. එවැනි දූෂිත ව්‍යාපෘතිවලින් ගොවීන්ට සහ බඩඉරිඟු ප්‍රවර්ධනයට අත්වූ යහපතක් නැති තරම්ය. 

කිරි කරල් තම්බා කෑමට ගැනීම හැරුණු විට ලාංකිකයන් වැඩි වශයෙන් බඩඉරිඟු‍ ආහාරයට ගන්නේ, රොටී, පිට්ටු, විළඳ, කිරිබත් ආදි විවිධ ක්‍රම වලට සකසා ගැනීමෙනි. කැඳ, තලප, සුප් ලෙස ආහාරයට ගැනීම ද පිටරටවල බහුලව සිදුවන බවට තොරතුරු හමුවේ. සත්ව හා මනුෂ්‍ය ආහාරයට අමතරව කාර්මික නිෂ්පාදන විශාල සංඛ්‍යාවකට ද බඩඉරිඟු‍ ප‍්‍රයෝජනයට ගැනේ. මේ අතර මද්‍යසාර, ඩයි හා තීන්ත නිෂ්පාදනයේදී ද භාවිත වේ. ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායිකව බඩඉරිඟු‍ වගා කෙරෙන බින්තැන්න ප්‍රදේශයේ අම්පාර ගම්මැදිවලත්, වෙල්ලස්සේ මොණරාගල ප්‍රදේශයේ සහ රජරට ප්‍රදේශයේ අනුරාධපුරයේ ගම්මැදි වලත් ගැමියන් බඩඉරිඟු‍ මගින් විවිධ සාම්ප්‍රදායික ආහාර වර්ග සකස් කොට පරිභෝජනය කොට ඇත. එකල හේන් ක්‍රමයට ඔවුන් වගාකළ බඩඉරිඟු‍ ප‍්‍රභේද ගණනාවක් විය. 
වියපත් ගොවීන්ගේ මතකයේ ඇති සාම්ප්‍රදායික බඩඉරිඟු ප්‍රභේද කිහිපයක් සඳහන් කළ හැකිය. සුදු මහ, සුදු කප්පල්, වේවැල් ඉරිඟු, සුදු බාල, නිමිති, රතු කප්පල්, කහ බාල, ඕමුනේ, කහට, කිරවානා ආදිය ඉන් කිහිපයකි. මින් සමහරක බීජ සුදු පැහැතිය. බීජ රතු සහ කහ පැහැයෙන් යුතු ප්‍රභේද කිහිපයක් ද හමුවේ. මාස 03 සිට 04 දක්වා කාලයේ දී අස්වනු නෙළා ගැනීමේ ඉඩකඩ ඇත. අරුණ, භද්‍රා, මුතු, රුවන්, විළද ඉරිගු, පැණිරස බඩඉරිගු ආදි දෙමුහුම් බඩඉරිඟු ප්‍රභේද වර්තමානයේ මෙරට තුළ ප්‍රකටව ඇත. මෙයින් පැණිරස ඉරිඟු‍වල කරල් උදෑසන අස්වැන්න නෙළාගත් පසු හැකි ඉක්මනින් වෙළෙදපොළට ප‍්‍රවාහනය කළ යුතුය. අස්වැන්න නෙළාගෙන පැය 24 ක් ගතවන විට අඩංගු සීනි ප‍්‍රමාණයෙන් අඩක්ම රසය සමඟ පිරිහීම ඊට හේතුව ලෙස සැලකේ. 
මෙරට බොහෝ බඩඉරිඟු‍ ගොවීන් තවදුරටත් පාරම්පරික වගා ක්‍රම මත යැපීම ගැටලු‍ක් වී ඇත. එමෙන්ම නිවැරදි පැළගහනය පවත්වා නොගැනීම, වැඩි දියුණු කළ ප‍්‍රභේද භාවිත නොකිරීම හා එවැනි ප‍්‍රභේද භාවිතය ඉතාමත් සීමිත මට්ටමක පැවතීම, ප‍්‍රමාණවත් පොහොර භාවිතයක් නොවීම, වල් පැළෑටි, රෝග හා පළිබෝධ හානි ආදිය ද අඩු අස්වැන්නක් ලැබීමට හේතුවී ඇති බව පර්යේෂකයන්ගේ පැහැදිලි කිරීම වී ඇත. අතීතයේ ග්‍රාමීය ප්‍රදේශවල ආහාර සුරක්ෂිතතාව සඳහා හේතුවූ බඩඉරිඟු‍ වගාව වර්තමානයේ යම් ආර්ථික ලාබදායි බවකින් යුක්ත වීමත් සමගම නව වගා ක්‍රම කෙරෙහි යම් පමණක නැඹුරුවක් ගොවීන් තුළ දක්නට ඇතත් බෝගයෙන් ස්වයංපෝෂිත තත්වයක් ලබාගැනීමට නව තාක්‍ෂණය භාවිත කිරීම ඉතාමත් ඉහළ මට්ටමකට පැමිණිය යුතුව ඇත. 
දේශීය බඩඉරිඟු‍වල ඇති අසතුටුදායක තත්වය හේතුකොටගෙන බොහෝ සත්ව ආහාර නිෂ්පාදකයන් තව දුරටත් ආනයනික බඩඉරිඟු‍ කෙරෙහි විශ්වාසය තබා ඇති බවද සඳහන් වේ. අස්වැන්න නෙළාගත් පසු කරල් ගොඩගසා තැබීම, ඉක්මනින් වියළා නොගැනීම, අපිරිසුදු භාජන හා ස්ථානවල ඇසිරීම ආදී නුසුදුසු ක්‍රියා හේතුවෙන් මෙලෙස දේශීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය පහත වැටී ඇත. ඉක්මනින් වියළා ගැනීමත්, හානියට පත් හා රෝගී කරල් ඉවත් කිරීමත්, නිවැරදි ගබඩා ක්‍රම භාවිතය පිළිබඳ උපදෙස් හා පහසුකම් සැපයීම විශේෂයෙන් වාණිජ වගාවල යෙදෙන ගොවීන්ගේ යහපතට හේතුවකි. 
කුරුල්ලන්ගෙන් හානියට පත් හා රෝගී කරල් ඉවත් කිරීමත්, අස්වැන්න නෙළාගත් පසු වියළීමේ හා සකස් කිරීමේ නවීන ක්‍රම භාවිතයත්, නිරෝගී හා පිරිසුදු නිෂ්පාදනයක් ලබා ගැනීමට උපකාරී වේ. මෙම සියලු‍ තත්ව හේනේ, කුඹුරේ දහදිය හෙළන ගොවියාගේ සිට මේ අන්දමින් බඩඉරිඟු කරලින් මහ මග ජීවිතය සොයන අහිංසකයන්ගේ ජීවිත යහපත සදහා ද හේතුවන බව නොකිවමනාය. එපමණක් නොව මිලියන ගණනින් ප්‍රතිපාදන වැය කොට ඒ සඳහා ආරම්භ කෙරෙන ව්‍යාපෘතිවල මුල් බැස ඇති දූෂණය අවම කිරීමෙන් බඩඉරිඟුවලින් ස්වයංපෝෂිත වීමේ සිහිනයට යම් පමණකට හෝ ළඟාවිය හැකි වනු ඇත. 

 

 



අදහස් (0)

බඩඉරිඟු වලින් ස්වයංපෝෂිත වන්නේ කවදාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site