මිරිස් ප්‍රවර්ධනයට කලින් කලට එන ව්‍යාපෘති ඇස් බැන්දුම් පමණයි
නිලධාරින්ගේ අවංක දායකත්වයක් නොවීමෙන් ගොවියෝ අමාරුවේ
විශාල වැය බරක් දැරීමට සිදුවීමත් ගොවියන් මිරිස් වගාවෙන් ඈත් වීමට හේතුවක්
විවිධ පළිබෝධ හානි පැමිණීමත් වගාව සීමාවීමට හේතුවෙලා
වන අලි, මොනරු වගාවට එන තවත් කරදරකාරයෝ
වෙළෙදපොළ තුලනයට නිසි ක්‍රමවේදයක් නෑ
නිලධාරින්ගේ ව්‍යාජ දත්ත නිසි ක්‍රමවේදයක් හැදීමට බාධාවක්
කලක් රතු පළස ලෙස හැදින්වු මහවැලියේ ගොවියෝත් මිරිස් වගාව අතහැරලා
බුල්නෑව ප්‍රදීප් රණතුංග
කලින් කලට මෙරට වෙළෙදපොළේ අමු මිරිස් කිලෝවක මිල රුපියල් දහස ඉක්මවා යයි. එමෙන්ම ආනයනික වියළි මිරිස් කිලෝවක මිල රුපියල් නවසියයක් පමණ වන විට, දේශිය වියළි මිරිස් කිලෝවක් රුපියල් දහස ඉක්මවා යමින් තිබේ. දේශීය මිරිස් වගාව සපුරාම අකර්මණ්‍යය වී ඇති පසුබිමක මෙම මිල ඉහළ යෑම දැඩිව අවධානයට ගත යුතු කරුණක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් මෙරට මිරිස් වගාව වර්තමානය වන විට පවතින පසුබිම පිළිබද යම් විමසුමක යෙදීමේ අවස්ථාව ද උදාවී තිබේ.
හැත්තෑව දශකයේ දී මෙරට වියළි කලාපයේ මිරිස් වගාව ඉහළ මට්ටමින් සිදුවුවද, මිරිස් වගාවට වැළදෙන විවිධ රෝග, පළිබෝධ හානි, නියගය, අධික වැසි වැනි පාරිසරික බාධක හේතුවෙන් වගාවෙන් ගොවියන් බැහැර වීමත් සමග දේශීය නිෂ්පාදනය පහත වැටී වියළි මිරිස් ආනයනය ඉහළ ගොස් ඇත. අමු මිරිස් පාරිභෝගිකයාට දැරිය නොහැකි මිලක් දක්වා ඉහළ නැග තිබේ. මොනරාගල, අම්පාර, පුත්තලම, වවිනියාව, කුරුණෑගල, හම්බන්තොට සහ විශේෂයෙන් අනුරාධපුරයේ කලාවැව කේන්ද්‍ර කොටගෙන ඇති මහවැලි එච් කලාපය ප්‍රධාන වශයෙන් මිරිස් වගාකරන ප්‍රදේශ ලෙස හදුනාගෙන ඇත.
මහවැලි එච් කලාපයේ ගල්නෑව, තඹුත්තේගම, තලාව, එප්පාවල, නොච්චියාගම, මහඉලුප්පල්ලම ආදි ප්‍රදේශවල අසුව දශකය තුළ ඉතා සාර්ථකව මිරිස් වගාව සිදුකර ඇතත්, අද වන විට එම තත්වය සම්පුර්ණයෙන්ම බිදවැටී තිබේ. එවැනි පසුබිමක අනුරාධපුරය, නොච්චියාගම ප්‍රදේශයේ ගලේඇළ, ඇත්පන්තිය, ඇහැටුවාගම, කුඩාවැව, අඹගහවැව, ඉට්ටිකුලම, කුකුල්කටුව, රනෝරාව, දුනුමඩලාව, කොකුන්නෑව, හැලඹවැව ආදි ගම්මැදිවල ගොවියෝ විවිධ දුෂ්කරතා මැද තවමත් හේන් ආශ්‍රිතව මිරිස් වගාවේ නියැළී සිටිති. මෙහි ගොවියන් වැඩි පිරිසක් අමු මිරිස් අස්වැන්න ඉලක්ක කරගෙන මිරිස් වගාවේ යෙදෙති. අමු මිරිස් අස්වැන්න ඉහළ මිලකට අළෙවි කරගත හැකි වීම මේ සදහා හේතුවී තිබේ. එහෙත් වරින් වර මතුව එන විවිධ උපද්‍රව් හේතුවෙන් මෙම කලාපයෙන් ද ක්‍රමයෙන් මිරිස් වගාව අතහැරෙමින් තිබේ.
අනුරාධපුරයේ කලාවැව නිම්නයේ මහවැලි ප්‍රදේශය තුළ සරුසාරව කෙරෙන අතුරු බෝග වගා අතර මිරිස් වගාව සදහා අසුව දශකය තුළ ලැබී ඇත්තේ විශේෂ ස්ථානයකි. මේ පසුබිම නිසාම මහවැලි එච් කලාපයට එවක “රතු පලස” යන අන්වර්ථය ද පටබැද ඇත.
එවක විශේෂයෙන් මහවැලි එච් කලාපයේ මිරිස් වගාවෙන් ගොවීහු සරු අස්වැන්නක් ලබාගත්හ. එමගින් ඔවුහු හොද ආදායමක් ද ලබා ගත්තා පමණක් නොව ගල්නෑව ආදි ප්‍රදේශවලින් ලැබී ඇති සරු මිරිස් අස්වැන්න මැදපෙරදිගට අපනයනය කරනු ලදුව එමගින් විදේශ විනිමය ද උපයා ගනු ලැබ තිබේ. එහෙත් අද වන විට සියල්ල කණපිට පෙරළී ඇත්තේ මෙරට මිරිස් වගාව පිළිබදව අර්බුදයක් නිර්මාණය කරමිනි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනයට අනුව මිරිස් වගාව සඳහා මෙරට තුළ හොඳ විභවයක් පවතී. එහෙත් අපගේ දේශීය වියළි මිරිස් නිෂ්පාදනය ජාතික අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රමාණවත් නැත. එහෙයින් විශාල වශයෙන් විදේශ විනිමය වැයකර වසරක් පාසා මිරිස් ආනයනය කිරීමේ අවාසනාවට අපි තවමත් මැදිව සිටිමු. පසුගිය වසර කිහිපය තුළ දේශිය මිරිස් වගාවේ හා නිෂ්පාදනයේ ශීඝ්‍ර පසු බැසීමක් පෙන්වන අතර, ආනයනය හා ඒ සඳහා වැයවන විදේශ විනිමය වසරෙන් වසර විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ද පෙනී යන්නකි. අප රටෙහි වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 90 ක් පමණම ආනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය හෙළිදරව් කරන්නකි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් පාරිභෝජන අවශ්‍යතාව මේ වන විට මෙට්‍රික් ටොන් 55,000 ක් පමණ වු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි. ඉන් මෙට්‍රික් ටොන් 48,000 ක් පමණම ආනයනය කිරීමට සිදුව ඇත. ඒ සදහා වසරකට මිලියන ගණනක මුදලක වැය කිරීමට සිදුව තිබේ. මේ අතර මෙරට වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 70,000 ක් පමණ යැයි ගණන් බලා ඇත. දැනට රටට අවැසි අමු මිරිස් අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කර සපුරා ගැනෙන බව සදහන් වුවද ඒ සදහා කලින් කලට අධික පිරිවැයක් දැරීමට පාරිභෝගික ජනයාට සිදුව ඇත.
මිරිස් ශ්‍රී ලංකා වාසීන්ට නැතිවම බැරී ප්‍රධාන ආහාරයක් තරමටම වටිනා බෝගයක් බවට පත්වී ඇති අතර, රටේ දේශපාලනයට හා ආර්ථිකයට ද, බලපෑමක් ඇති කළ හැකි බලගතු බෝගයක් වී ඇත. පෝෂණයෙන් එකතු වන අගය කුඩා වුවත් අපේ ප්‍රධාන ආහාරය වන බතට මිරිස් නැතුවම බැරිය. බොහෝ පෝෂ්‍යජනක ආහාරවල රුචිය මෙන්ම රසය වැඩි දියුණු කරනුයේ මිරිස් යෙදීමෙනි. ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල වියළි මිරිස් පරිභෝජනය ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳා බලන විට ඉහළ අගයක් බව පෙනී යයි. එහෙයින්ම මෙරට ආහාර පරිභෝජන රටාවේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ද මිරිස් පවතී. ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල වාර්ෂික වියළි මිරිස් පාරිභෝජන අවශ්‍යතාව කිලෝ ග්‍රෑම් දෙකහමාරක් පමණ වන බවට ගණන් බලා ඇත.
දිගු කලක් තිස්සේ වගා කිරීම නිසා භුමිය පාංශු ඛාදනයට ලක්ව ඇත. රසායනික පොහොර, කෘමිනාශක යෙදීම නිසා පෝෂක කොටස් විනාශයට පත්වු ගොවි බිම් යළි මිරිස් වගාවට සුදුසු ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇත. වියළි කලාපයේ මිරිස් වගාවට සුදුසු ඉඩම් හදුනාගෙන ජීව විද්‍යාත්මක හා යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම පිළිබදව ගොවියන් දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව ද මතුවී ඇත. නිසි ප්‍රමිතියෙන් යුතු බීජ ගොවියන් වෙත හදුන්වාදීම සහ පහසුවෙන් මිලදී ගැනීමේ ඉඩකඩ සැලසිය යුතුව ඇත. ව්‍යාජ බීජ වෙළෙදපොළ තුළ සංසරණය වීම මගින් සමහර වගා කන්නවලදී මිරිස් වගාවේ නියුතු ගොවියන් විවිධ අකරතැබ්බයන්ට මුහුණ පෑ අවස්ථාවලද අඩුවක් නැත. නිෂ්පාදනය පිරිවැය ඉහළ යෑම මෙන්ම මෙවැනි අතෝරක් ගැටලුද ගොවියන් මිරිස් වගාවෙන් ඈත් වීමට හේතුවී තිබේ.
බොහෝ විට බීජ, රසායන ද්‍රව්‍ය, පොහොර ආදිය පිළිබදව ව්‍යාපාරිකයන් වෙතින් ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට සිදුව ඇත. එපමණටම ගොවිතැන හා සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීම අවම වී ඇත. මේ සියලු තත්වයන් ද ඉතා සීමිත ප්‍රදේශයකට මිරිස් වගාව සීමාවීමටත්, වියළි මිරිස් ආනයනය ඉහළ යෑමට සහ අමු මිරිස් මිල විටින් විට අසාමාන්‍ය ලෙස උච්ඡාවචනය වීමටත් හේතු වී ඇති බව පැහැදිලිය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දේශීය මිරිස් වගාව බිඳ වැටුනේ කාගේ වරදින්ද ?