IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දැදුරුඔය ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තයට පාත්වූ හෙනහුරා

ජලාශයට බෝවී ඇති ආක්‍රමණික “ජයන්ට් ස්නේක් හෙඩ්”‍ මත්ස්‍යා හේතුවෙන් මේ වන විට මත්ස්‍ය අස්වැන්න බිංදුවට වැටිලා
එදා මාළු කිලෝ 40 -50 ක මත්ස්‍ය අස්වැස්නක් ලැබූ ධීවරයකුට මේ වන විට දවස පුරා වෙහෙසී මත්ස්‍ය කිලෝ තුනක් අල්ලා ගන්නත් බෑ
විශාල පිරිසක් සෘජුව සහ වක්‍රව ආර්ථික අපහසුතාවලට පත්වෙලා
තොටුපොළේ බෝට්ටු 18 ක් පමණ තිබුණත් වැඩ කරන්නෙ පස් දෙනෙක් විතරයි.
නිලධාරීන් ඇවිත් කිහිප වාරයක් රුස්වීම් තිබ්බත් ප්‍රශ්නය විසඳුණේ නැහැ.
ජලාශයේ අක්කර 300 ක පාවෙන සෝලා පැනල් සවි කිරීමටත් සැරසෙනවලු‍


රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ


දැදුරුඔය ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තය වළපල්ලටම යමින් ඇතැයි එහි ධීවරයෝ පෙන්වා දෙති. ජලාශයට බෝවී ඇති ආක්‍රමණික  “ජයන්ට් ස්නේක් හෙඩ්”‍ මත්ස්‍යයා හේතුවෙන් මේවන විට සිය මත්ස්‍ය අස්වැන්න අන්තයටම නැතිවී ඇති බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ. මෙම ආක්‍රමණික මත්ස්‍යයා ජලාශයට බෝවීමට පෙර මාළු කිලෝ 40 -50 ක මත්ස්‍ය අස්වැස්නක් ලැබූ එක් ධීවරයකු මේ වන විට දවස පුරා වෙහෙසී මත්ස්‍ය කිලෝ තුනක් අල්ලා ගැනීමටවත් නොහැකිව අසරණව සිටී.
මෙම ගැටලු‍ව හේතුවෙන් ධීවරයන් පමණක් නොව ඒ හා බැඳුනු විශාල පිරිසක් සෘජුව සහ වක්‍රව ආර්ථික අපහසුතාවලට පත්ව සිටිති. දැදුරු ඔය ජලාශය විවෘත කළ කාලයේ සිටම එහි මත්ස්‍ය අස්වැන්න මිලට ගැනීමට පැමිණෙන ව්‍යාපාරිකයකු වන ඩී.එම්.ඩී. සරත්චන්ද්‍ර මහතා තමන් මුහුණ දී සිටින ගැටලු‍ව සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේය.
”‍ මම මේ ජලාශයට වතුර පුරවපු කාලයේ ඉඳලම මාළු ගන්න එනවා. ඒ කාලයේ මම ආවෙ ලොරියෙන්. මුල් කාලෙ මම මාළු කිලෝ 200 - 300 මෙතනින් අරගෙන යනවා. ඒ මාළු මීගමුව වැනි ඈත පළාත් වලටත් මම යැව්වා. ඒ කාලෙ මටත් මේකෙ ධීවරයන්ටත් හොඳ ආර්ථිකයක් තිබුණා. ඒත් දැන් අවූරුදු දෙකහමාරක වගෙ ඉඳල මාළු අස්වැන්න අඩුවේගෙන යනවා. දැන් මට මුළු තොටුපොළෙන්ම එකතු කරගන්න පුළුවන් මාළු කිලෝ 10 - 15 ක් විතරයි. ලොරිවලින් ඇවිත් ගෙනියන්න මාළු නැහැ. දැන් මම මෝටර් සයිකලයෙන් ඇවිත් තියෙන මාළු ටික අරගෙන යනවා. මේ ආක්‍රමණික මාළුවා ජලාශයට බෝවුණාට පස්සෙ මාළු අස්වැන්න නැත්තටම නැති වුණා. මේකට නිසි විසඳුමක් දෙන්න මේ වනතුරුත් කාටවත් බැරිවෙලා තියෙනවා. ඒක එදිනෙදා වියදම් පියවගන්නත් මදි. වෙන රස්සාවක් හොයාගන්න වෙලයි තියෙන්නේ.
ජලාශයේ ධීවරයකු වන සංජීව කාරියවසම් මහතා ගැටලු‍ව මෙසේ විස්තර කළේය.
“දවසකටත් වැඩිය වැඩ කෙරුවා. අන්තිමට මාළු කිලෝ තුන හමාරයි තියෙන්නේ. මෙහෙම ජීවත් වෙන්න අමාරුයි. හැමදෙනාම ඇවිත් කිව්වා කොහොමහරි මේ මාළුවව ඉවත් කරනවා කියලා. ඒත් එන්න එන්නම තත්වය නරක අතට හැරෙන එකයි වෙන්නෙ. මේ තොටුපොළේ බෝට්ටු 18 ක් විතර තියෙනවා. දැන් වැඩ කරන්නෙ පස් දෙනෙක් විතරයි. මේ රස්සාවෙන් වැඩක් නැති නිසා ඒ අය කුලී වැඩකට හරි යනවා.
දැදුරුඔය ජලාශයේ වල්පාලු‍ව ධීවර තොටුපොළ සමිතියේ ලේකම් එච්.ආර්. කුමාර මහතා සිය රැකියාවට බලපා ඇති තර්ජනය පිළිබඳව මෙසේ අදහස් පළකළේය.

“දැන් මාධ්‍යයෙන් ඇවිත් නිතරම අහනවා මොකද ප්‍රශ්නෙට වුණේ කියලා. එකම දෙයයි වුණේ. ප්‍රශ්නෙ තවත් උග්‍ර වුණා විතරයි. ඉස්සර මාළු කිලෝ 50 ක් අල්ලපු අපි දැන් දවසක් මහන්සිවෙලා මාළු කිලෝ තුනක් හතරක් තමයි ගොඩට ගේන්නෙ. ඒකත් නැති දවස් තියෙනවා. අල්ලගන්න මාළුත් සමහරවිට ආක්‍රමණික මත්ස්‍යයා බාගයක් කාලා. එහෙම නැත්නම් තුවාල කරලා. ඒ මාළු වෙළෙන්දො ගන්නෙ නැහැ. ස්නේක් හෙඩ් කියන මාළුවා ජලාශයේ දැක්ක දවස්වලම අපි අදාළ බලධාරීන් දැනුවත් කළා. ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය සහ නාරා ආයතනය ඇතුළු ආයතන මේ සම්බන්ධව දැනුවත් කළා. ඒ ආයතනවල නිලධාරීන් ඇවිත් කිහිප වාරයක් රැස්වීම් තිබ්බා ධීවරයන්ට. ඒ එකක්වත් සාර්ථක වුණේ නැහැ.  අපි ධීවරයන් විදිහට ඉල්ලා සිටියා ජලාශයේ වතුර ටිකක් අඩු කරල දෙන්න කියල. එතකොට අපිට මේ ආක්‍රමණික මත්ස්‍යයාගේ බෝවීම පාලනය කරන්න ලේසි නිසා. ඒත් ඒ පියවර ගත්තෙ නැහැ. නැවත අපි ඉල්ලු‍වා වාම් ඇළවල් දෙකට නෙට් දෙකක් දාන්න කියලා. ඒ අපි ගැන හිතලා නෙමේ. මේ ජලාශයෙන් වතුර යන විශාල ජලාශ ‍තුනක් ඇතුළු වැව් 20 ක් අමණ තියෙනවා. ඒවට මේ මත්ස්‍යයා බෝවීම වළක්වා ගන්නයි. ඒ කිසිම දෙයක් සිදුවුණේ නැහැ. මේ වෙනකොට මේ මත්ස්‍යයා හැම තැනම බෝවෙලා.
ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ අපට දැන් වෙලා තියෙන්නේ. ඈත පළාත් වලින් ජලාශයට පැමිණ බිලී කොකු මාර්ගයෙන් මසුන් අල්ලන පිරිස දැන් වැඩිවෙලා. ඒ නිසා අපට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. අපි ඒ අයට කියනවා අපේ ධීවර සමිතිවලට ඇවිත් සමිතියට සුළු මුදලක් ගෙවල මසුන් ඇල්ලීම කරන්න කියලා. අනිත් ගැටලු‍ව තමයි මේ ජලාශයේ අක්කර 300 ක පාවෙන සෝලා පැනල් සවි කිරීමට සැරසෙන බව ආරංචියි. දැන් අපට සැකයක් තියෙනවා මේ ආක්‍රමණික මත්ස්‍යයා ජලාශයට බෝ කළේ මේ සෝලා පැනල් අරමුණ ඇතිවද කියලා. අපි නැවත් නැවතත් ඉල්ලා සිටිනවා අපේ ගැටලු‍ව සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය ආයතන මැදිහත් වෙන්න කියලා.
විවිධ අවස්ථාවලදී එක් එක් ආයතනවලින් යැයි කියමින් පර්යේෂණ කණ්ඩායම් පැමිණ ඇති අතර ඔවුන්ට අවශ්‍ය නොයෙක් පහසුකම් ධීවරයන් විසින් ලබාදී ඇත. එහෙත් මේ වන තෙක් ගැටලු‍වට විසඳුමක් ලැබී නොමැති අතර ඒ වෙනුවට ගැටලු‍ කිහිප ගුණයකින් උත්සන්න වී ඇත.



අදහස් (0)

දැදුරුඔය ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තයට පාත්වූ හෙනහුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site