
බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලයේ පාක්ෂිකයන් කීවේ ‘සීනි නැතිව තේ බොන්නම්’ කියාය. එදා තේ බහුලව තිබුණාට සීනි හිඟවීම එයට හේතු විය. ඒත් අද ඇත්තේ සීනි පිළිබඳ ප්‍රශ්නයක් නොව තේ පිළිබඳ ප්‍රශ්නයකි. තේ කර්මාන්තය ආශ්‍රිත කම්කරුවන් සංඛ්‍යාව ලක්ෂයටත් වඩා පහළ බැස තිබීමත් වෙනත් ඉහළ වැටුප් ලැබෙන රැකියා සොයා තේ වතු කම්කරුවන් වතුකරය අතහැර යාමත් නිසා අනාතයේදී රට පැටවීමට තබා මෙරට ජනතාවගේ ප්‍රියතම කහට කෝප්පයත් නැතිවේදැයි යන ප්‍රශ්නයක් මේ වනවිට උද්ගතව තිබේ.
යටත් විජිත යුගයේ මෙරටට ලැබුණු තේ වගාව ප්‍රධාන අපනයන බෝග තුනෙන් වැඩිම අපනයන ආදායමක් මෙරටට ගෙන ආ වැවිල්ලය. ඒ නිසාම තේ, රබර්, පොල් යන ප්‍රධාන වැවිලි තුනෙන් මුලටම කියාවුණේද ‘තේ’ යන නාමයය. 1950 වනවිට ලංකාව ලෝකයේ දෙවැනි තැන සිටි තේ අපනයනකරුවා වූයේය. ඉන්දියාව සහ පාකිස්ථානය අක්කර 84,0000ක් වගා කර ලොව මුල් තැනට එද්දී ලකාව අක්කර 579,000ක් වගා කර දෙවැනි තැන ලබා සිටියේය. අද වනවිට එම තත්ත්වය ලංකාව ලෝකයේ සිව් වැනි විශාලතම තේ නිෂ්පාදකයා යන මට්ටමට පහත වැටී තිබේ.
උඩරට විදේශීය වැවිලි සමාගම් පිළිබඳව මෙරට දේශපාලන බලය හෙබ වූ ප්‍රධාන පක්ෂ දෙක අතර නිරතුරුවම ගැටුම් පැවතිණි. මෙම වතු හැඳින්වූයේ රන් පවුම් වතු ලෙසටය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු රන් පවුම් වතු විදේශිකයන් යටතේ තබා ගැනීමට සෑම විටම සහයෝගය දුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ හවුල් ආණ්ඩු මෙම රන් පවුම් වතු ජනසතු කිරීමට නිරතුරුවම උත්සාහ දැරීය. එය සාර්ථක වූයේ 1970 බලයට ආ සමගි පෙරමුණු රජය යටතේය. ඒ අනුව ආණ්ඩුවට හවුල්ව සිටි වාමාංශික පක්ෂ 1970 සිටම රන් පවුම් වතු රජයට පවරා ගැනීමට කළ උත්සාහය 1975දී ඉටුකර ගැනීමට ඔවුන්ට හැකි විය. ඒ අනුව විදේශීය හා දේශීය සමාගම් සතුව පැවතුණ තේ, රබර් හා පොල්වතු රජයට පවරා ගැනීම සඳහා ඉඩම් හා කෘෂිකර්ම ඇමැති හෙක්ටර් කොබ්බාකඩුව මහතා ඉදිරිපත් කළ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත (සංශෝධන) ජාතික රාජ්‍ය සභාවේදී සම්මත වූයේ 1975 ඔක්තෝබර් 14 වැනිදාය. පාර්ලිමේන්තු දින කිහිපයක් තුළ පැය විස්සක කාලයක් විවාද කර මෙම පනත සම්මත කර ගැනිණි. එකල රජය වතු පවරා ගැනීම මහත් අභිමානයෙන් සැලකුවද විපක්ෂය පැවසුවේ පලපුරුදු වැවිලි සමාගම් රට හැර යාම නිසා මෙරට තේ කර්මාන්තය විනාශ වන බවය.
වතු ජනසතු කරමින් බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රකාශ කළේ යටත් විජිතවාදීන් විසින් බලහත්කාරයෙන් මෙන්ම බලපුලුවන්කාරකමින් අඩු මිලකට ගෙන ඉතා ලාබ සහිතව පවත්වාගෙන ගිය සරුසාර ඉඩම් යළි පවරා ගෙන ජාතිය සතු කිරීමට ලැබීම ගැන ආඩම්බර වන බවය.
එහෙත් වතු ජනසතු කිරීම පිළිබඳ විවාදයේදී ප්‍රින්ස් ගුණසේකර වැනි පෙරළිකාර මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ පවරා ගන්නා වතු වෙනුවෙන් බ්‍රිතාන්‍යයන්ට වන්දි ගෙවන බව මාස ගණනාවකට කලින් සිටම බ්‍රිතාන්‍ය ආණ්ඩුව දැන සිටි බවත් ඒ නිසා මෙය වතු පවරා ගැනීමක් නොව වතු මිලදී ගැනීමක් ලෙස තමන් සලකන බවත්ය.
කෙසේ වුවත් විදේශීය වතු හිමියන්ට ඩොලර් සහ පවුම් වලින් වන්දි ගෙවීම සිදුවිය. වතු පවරා ගැනීම සිදුවූයේ බ්‍රිතාන්‍යයන් වතුවලින් ලබන අධික ලාභය සිය රටට ගෙන යන බවට චෝදනා කරමිනි. එහෙත් රජයට පවරා ගෙන ටික කාලයක් ගතවන විට බ්‍රිතාන්‍ය සමාගම් යටතේ ලැබූ ලාභයවත් වතුවලින් ලබා ගන්නට රජයට නොහැකි විය. වතු පාලනයට පත්වූ රාජ්‍ය නිලධාරීන් පොහොර යෙදීම වැනි නඩත්තු කටයුතුවලට ලබාගත් මුදල් වංචා කිරීම, වතු බංගලාවල උළුවහු ජනෙල් පවා රජයේ දේශපාලන හිතවතුන් තම නිවෙස්වලට ගෙන යාම ආදී අයථා ක්‍රියා ගණනාවක් වාර්තා විය. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් පවරා ගත් පෞද්ගලික ඉඩම් පාලනය කර ගැනීමටද රජයට නොහැකි විය. එම නිසා ඉඩම් ජනසතුව හැඳින්වුණේ එක් කොටසකගෙන් ඉඩම් උදුරා තවත් කොටසකට ලබාදුන් බවට චෝදනා එල්ල විය. රජය මෙම වතු පවරා ගත්තද පාලනය ගෙන යාමට අපහසු නිසා විවිධ සේවා සමුපකාර වැනි ආයතනවලට බදු දුන්නේය. එකල පුවත්පත්වල ප්‍රචලිතව තිබුණේ මාතර දිසාවේ එක් විවිධ සේවා සමිතියක් රජයෙන් ලැබුණු ඉඩම් පාලනය කරන්නේ හාල් සීනි හා පිටි විකුණා ලැබෙන මුදලින් බවය. ඒ නිසා උඩරට තේ වතු පවරා ගැනීමද ඉතා ඉක්මනින්ම නිෂ්ප්‍රයෝජනවත් කටයුත්තක් බවට පත්විය.

හැත්තෑ හතේ බලයට ආ ජේ.ආර්. ජයවර්ධන රජය ප්‍රසිද්ධියේම කියා සිටියේ වතු නඩත්තු කිරීම රජයට විශාල බරක් නිසා යළිත් සමාගම් වෙතට පැවරීම වඩාත් ලාබදායක බවය. ඒ වනවිට ලක්ෂ හතක ශ්‍රමික පිරිස් නඩත්තු කිරීමටද රජයට සිදුවී තිබිණි. 1987 වනවිට ලක්ෂ හයක ශ්‍රමිකයන් පිරිසක් වතුකරයේ සිටි අතර 1992 වතුකරයේ විශාල වතු සියල්ලම පෞද්ගලික සමාගම් 22ක් වෙත බදු දීමට රජය කටයුතු කළේය. විවිධ හේතු මත ඒ වනවිට වතු කම්කරුවන් සංඛ්‍යාව ලක්ෂ තුන දක්වා අඩුවී තිබිණි. තේ විකුණා ලැබුණු ආදායමද වේගයෙන් අඩු වෙමින් පැවතුණු නිසා රජය වතුකරය නඩත්තු කිරීමේ බර හැල්ලු කර ගත්තේ වතු පෞද්ගලික අංශයට පැවරීමෙනි.
අද වනවිට පවතින්නේ එදා බදු දුන් සමාගම් විසිදෙකමය. එහෙත් ශ්‍රමිකයන් සංඛ්‍යාව ලක්ෂයටත් වඩා පහලට බැස ඇති බව වතු සමාගම් පෙන්වා දෙයි. අප කලින් කී ආකාරයට වෙනත් රැකියා සොයා වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම එයට හේතුවය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන බෝගයක් වන තේ වගාව පිළිබඳ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා සහ තේ වතු හිමියන්ගේ සංගමය අතර ඉකුත් දා වැවිලි කර්මාන්ත අමාත්‍යාශයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. එනම් වතුකරය වේගයෙන් ශ්‍රමිකයන්ගේ හිඟයකින් පෙලෙන බවය. මේ වනවිට තේ වගාව ආශ්‍රිතව නිරතව සිටින කම්කරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂයටත් වඩා අඩු බව මෙහිදී හෙළිදරව් විය. 1992 දී රජයේ වැවිලි සමාගම් පෞද්ගලික අංශයට පැවරුණු අවස්ථාවේ ලක්ෂ දෙකහමාරක් වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂයටත් වඩා පහළ බැස ඇති බව වතු සමාගම් එහිදී පවසා තිබිණි. තවත් වසර කිහිපයක් එහාට යන්නේ නම් 1970 වනවිට මෙරට තේ වගාව ආශ්‍රිතව සිටි කම්කරුවන් සංඛ්‍යාව ලක්ෂ හයක් බව අතීත සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි. වැඩි පඩි ලැබෙන රැකියා සොයා තරුණ පිරිස වතුකරය හැරදා යාමෙන් මෙම ශ්‍රමික හිඟය මතුවී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් ඉකුත් අයවැය යෝජනාවලියෙන් වතුකම්කරු වැටුප ඉහළ නංවන බව ප්‍රකාශ කළද තවමත් එම වැටුප් නැංවීමට රජයට නොහැකි විය. මෙම සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යාමුවූ අතර දැනට රුපියල් 1350ක් වන වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා නැංවීම රජයේ අපේක්ෂාවය. වතු සමාගම් විසි දෙකේම බලධාරීන් පැවසුවේ එසේ වැඩි කිරීමට තමන්ට අසීරු බවය. ඒ සඳහා වසරකට රුපියල් බිලියන 12ක මුදලක් අමතරව වැය වන බවත් එවැනි මුදලක් වැය කළ නොහැකි බවත් වතු හාම්පුතුන් පවසා ඇත. ඇමැති විද්‍යාරත්න මහතා පවසා ඇත්තේ රජය වැටුප් වැඩි කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති නිසා කෙසේ හෝ එම කටයුත්ත කිරීමට සිදුවන බවය. තමන් සේවක හිඟයකින්ද පෙලෙන බව වතු සමාගම් පවසා ඇත්තේ එම සාකච්ඡාවේදීය.
වැවිලි ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බව රජය සහ හාම්පුතුන් යන දෙපිරිසම පවසන අතර එහෙත් ශ්‍රමිකයන් රඳවා ගැනීමට දෙපාර්ශවයටම හැකියාවක් නැත. තරුණ වයසේ කාන්තා සහ පිරිමි දෙපාර්ශ්මයම වතු සේවය අතහැර ඉහළ වැටුප් ලැබෙන නගරබද වෙනත් රැකියා සඳහා නික්මෙන්නේ වසර කිහිපයක සිටය. වතු ක්ෂේත්‍රයේ ඉතිරිව සිටින බහුතරයක් වැඩිහිටි කම්කරුවන් වීම නිසා තේ දළු නෙලීම ක්‍රියාදාමය අර්බුදයකට ලක්ව ඇත.
තේ වගාව මේ වනවිට පවතින්නේ එවැනි අසීරු ස්ථානයකය. වැවිලි කර්මාන්ත ඇමැතිවරයාම පවසන පරිදි තේ වගාවේ බිඳවැටීමක් මේ වනවිට දක්නට ඇත. වේගයෙන් හීනවන කම්කරු ශ්‍රමය රැක ගැනීමට නම් දැනට වඩා ඉහළ වැටුපක් කම්කරුවන්ට අවශ්‍ය වන අතර එම මුදල සැපයීමට ආදායම් ප්‍රමාණවත් නොවන බව වතු හාම්පුතුන්ගේ අදහසය. බාලවී ඇති තේ ගස් සාරවත් කිරීම සඳහා පොහොර සහනාධාරය දිගටම ලබාදිය යුතු අතර රජය ඒ සඳහා අරමුදල් හිඟකමින් පෙළෙයි.
මේ වනවිට තේ අපනයනයෙන් සියයට හැත්තෑ පහක්ම සිදුවන්නේ පහතරට කුඩා තේ ඉඩම් හිමියන්ගේ දායකත්වයෙනි. උඩරට විශාල වතුවල දායකත්වය සියයට විසිපහට සීමාවී ඇති බවද ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. දැනට තේ කර්මාන්තය බිඳ වැටී ඇති බව කියන වැවිලි කර්මාන්ත අමැතිවරයා පස් අවුරුදු සැලැසුමක් යටතේ 2030 වසරේදී ඩොලර් බිලියන දෙකහමාරක ආදායමක් ඉපැයීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව සඳහන් කරයි.
2024 වසරේදී මෙරට අපනයනය කළ නිමි තේ කොළ ප්‍රමාණය කිලෝ මිලියන 262කි. ලැබූ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 1490කි. වර්ෂ 2030 වනවිට නිමි තේ කොළ කිලෝ 400ක අපනයන ඉලක්කයක් ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන බවද අමැතිවරයා පවසයි. මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ සහාය අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා ඉල්ලා තිබේ. රටට තේ අපනයනයෙන් ඩොලර් ඉපැයීමට නම් වතුකරය සඳහා රුපියල් වියදම් කළ යුතු අතර ඒ සඳහා කළ යුතු ක්‍රියා පරිපාටියද ඇමැතිවරයා පැහැදිලි කර තිබේ. තේ වතුවල පාලු සිටුවීමට ජනතාව අසීරු බවත් නැවත වගාව සඳහා රජයෙන් සහාය අවශ්‍ය බවද තේ කර්මාන්ත සඳහා තාක්ෂණය අවශ්‍ය බවද ඇමැති විද්‍යාරත්න මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පෙන්වාදී ඇත. කම්කරු ශ්‍රමය හිඟකම නිසා නවීන තේ නෙළන යන්ත්‍රවල අවශ්‍යතාව එමගින් පෙන්වාදී තිබේ. ඉකුත් වසර පහක පමණ කාලය තුළ පොහොර නොයෙදීම නිසා තේ ගස් බාලවී ඇති බවත් තේ ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදිය යුතු බවත් කියා ඇති අමැතිවරයා පස නිසරුවී ඇති හෙයින් පස සරු කර ගැනීමට රජයේ උදව් ගොවීන් බලාපොරොත්තු වන බවද පෙන්වාදී ඇත. ජනාධිපතිවරයා ද පවසා ඇත්තේ තේ අපනයන ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා මෙම සහන ලබාදිය යුතු බවය.
තේ වගාව මේ වනවිට පවතින්නේ එවැනි අසීරු ස්ථානයකය. වැවිලි කර්මාන්ත ඇමැතිවරයාම පවසන පරිදි තේ වගාවේ බිඳවැටීමක් මේ වනවිට දක්නට ඇත. වේගයෙන් හීනවන කම්කරු ශ්‍රමය රැක ගැනීමට නම් දැනට වඩා ඉහළ වැටුපක් කම්කරුවන්ට අවශ්‍ය වන අතර එම මුදල සැපයීමට ආදායම් ප්‍රමාණවත් නොවන බව වතු හාම්පුතුන්ගේ අදහසය. බාලවී ඇති තේ ගස් සාරවත් කිරීම සඳහා පොහොර සහනාධාරය දිගටම ලබාදිය යුතු අතර රජය ඒ සඳහා අරමුදල් හිඟකමින් පෙළෙයි. වැවිලි කර්මාන්ත ඇමැතිවරයා යෝජනා කරන්නේ දැනට තේ අපනයනයෙන් අය කරන සෙස් බද්ද ඍජුවම මහා භාණ්ඩාගාරයට බැරවන නිසා එම මුදල වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට බැරකර ගොවීන්ට ලබාදෙන ලෙසය. මේ සඳහා නිලධාරීන්ගේ පැහැදි පිළිතුරක් ද තවමත් ලැබී නැත.
2025 ඔක්තෝබර් මස 08
1320
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1242
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
456
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කම්කරු හිඟය: තේ වගාවේ අනාගතය