සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
ඓතිහාසික අනුරාධපුර පුජා නගරයට ඔබ්බෙන් පිහිටි මල්වතු ඔය හරහා ඉදිකොට ඇති සුප්‍රකට ගල් පාලම වෙත එන සංචාරකයන්ට පලතුරු, රස කැවිලි, ධාන්‍ය, අත්කම් නිර්මාණ ආදිය විකුණා කීයක් හෝ උපයා ගැනීමේ අවස්ථාව යාබද ගැමි ළියන්ට උදාවේ. විවිධ දුෂ්කරතා මැද ගෙවීයන ඔවුනගේ දිවියට එය මද හව්හරණකි. පෙරිම්යන්කුලම, ගල් පාලම, කිරිබත් වෙහෙර, අශෝකපුර, සාලියපුර, කොළොන්ගහවැව ආදී ගම්මැදිවල සිට ගැමිළියෝ මෙහි වෙළෙඳාමට පැමිණෙති.
කලකට ඉහතදී දෙස්, විදෙස් සංචාරකයන් සැලකිය යුතු ලෙස පිරිසක් මෙහි පැමිණිය ද අද වන විට එම පිරිස වන්දනාකරුවන් කිහිපදෙනකුට සීමා වී තිබේ. සියවස් ගණනක් පැරණි අද වන විට කොටසක් පමණක් ශේෂ වී ඇති ගල් පාළම පාමුල කුඩා පොල් අතු මඩු තුළට වී ඔවුහු වන්දනාකරුවන් එන තෙක් මග බලති. සිය වෙළෙඳාම සිදුකරගැනීම සඳහා නිසි ලෙස ඉදිකළ පුංචි වෙළෙඳ කුටි කිහිපයක් හෝ නොවීමෙන් මේ ගැමි ළියෝ අව්වෙන්, වැස්සෙන් පීඩා විදිති.
පලතුරු, රසකැවිලි ආදිය විකුණා දිවි සටන ගෙනයෑමට වෙහෙසෙන රේණුකා දමයන්ති මහත්මිය කළේ මෙවැනි ඉල්ලීමකි.
“පොඩි හරි වැස්සක් වහින කොට හැමදේම තෙමෙනවා. අපිට ලොකු දෙයක් නෙමෙයි පොඩියට මේ වෙළෙඳාම කරගන්න කඩකෑලි ටිකක් හදලා දෙන්න කාට හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අපිට එහෙම දෙයක් කරගන්න තරම් හයියක් නෑ. මේ යන්තන් පොල් අතු කෑලි ටිකක් එකුතු කරගෙන මේ මඩු හදාගෙන තියෙන්නේ. මං අසනීපත් තියාගෙන මෙතැනට එන්නේ කීයක් හරි හොයාගන්න ඕන නිසා. නිකං මෙහෙම තියාගෙන වෙළෙඳාම් කරන්න ගියහම රිළවුන්ගෙන් එහෙමත් බේරගන්න හරි අමාරුයි. පුරාවිද්‍යා එකෙන් අපිට අනුකම්පා කරලා වෙළෙඳම් කරගන්න ඉඩදීලා තියෙනවා. ඒත් හයියෙන් වහින කොට ඔය උතුරලා අපි ඉන්න හරිය යටවෙනවා. මොකක් හරි පිළිවෙළකට කඩකෑලි ටිකක් හදලා දුන්නොත් අපිට කීයක් හරි හොයාගන්න පුළුවන්. දරුවන්ට කරදර කරන්නත් බෑ. මං වෙනම හිටියත් අස්වැසුම ලැබෙන්නෙත් නෑ.”
මල්වතු ඔය හරහා ඉදිකොට ඇති මෙම ඉපැරණි ගල්පාලම ක්‍රමයෙන් අභාවයට ගොස් මේ වන විට මුළුමනින්ම විනාශ වීමේ අවදානමට ලක්ව තිබේ. මෙම විස්මිත නිර්මාණය වෙත ළඟාවීමට රුවන්වැලි මහා සෑයට අභිමුඛව උතුරු දෙසින් පිහිටි සංඝමිත්තා මාවත ඔස්සේ ගමන් කළ යුතුය. වත්මනෙහි කාපට් අතුරා පිළිසකර කර ඇති එම මාර්ගය ඔස්සේ කිලෝ මීටර් තුනහමාරක් පමණ ගමන් කළ පසුව මුණගැසෙන පෙරිමියන්කුලම ගම්මානය ආසන්නයේ මෙම ගල් පාලම් දැකගත හැකිව තිබේ. කිරිබත්වෙහෙර හන්දියේ සිට වෙල් යාය මැදින් ගල් පාලම දක්වා ඇති මාර්ගය වළ ගොඩැලි මතුව අබලන්ව ඇත. එයද මෙහි පැමිණෙන සංචාරකයන්ට හිරිහැරයක් වී තිබේ.
අතීතයේ දී සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධි ශාඛාව භාරතයෙන් රැගෙන දඹකොලපටුනෙන් මෙරටට ගොඩ බැස මහත් හරසර සහිතව අනුරාධපුර නගරය දක්වා වඩම්වාගෙන එන ලද්දේ ද මෙම ගල් පාළම වැටී ඇති පුරාණ මාර්ගය ඔස්සේ බව සඳහන්වේ. ඒ කිස්තු පූර්ව 250-210 කාලයේ දෙවනපෑතිස් රජ සමයේදීය. කුට්ටම්පොකුණ, ඓතිහාසික සමාධි බුද්ධ ප්‍රතිමාව ආදි පුරාවිද්‍යා ස්මාරක මුණගැසෙනුයේ ද මෙම මාර්ගයේ ගමන් කරන අතරතුරදීය. එහි පැමිණෙන වැඩිදෙනකු ගල් පාලම වෙත පැමිණියද දැන් එය මගහැරී ඇති බව මෙහි ගැමියෝ පවසති. මෙහි ඇති ඓතිහාසික තතු විත්ති නිසි ලෙස ජනගත නොවීම ඊට හේතු වී ඇතැයි යන්න ඔවුන්ගේ විස්වාශයයි.
වසර තිහකට වැඩි කාලයක් ගල් පාලම අසල වෙළෙඳාමේ නිරත ඒ.එස්.පී. ශ්‍රියාලතා මහත්මිය මතුව ඇති දුෂ්කරතා පිළිබඳව මෙසේ කරුණු කීවාය.
“අපි කීපදෙනෙක් තමයි ඔය මෙතැනට වෙලා කීයක් හරි හොයාගන්න බලන්නේ. මගේ මහත්තයාත් නෑ. සතියේ දවස්වලට නම් කවුරුවත්ම මෙතැනට එන්නේ නැති තරම්. ඉරිදා, සෙනසුරාදා දවස්වලට නම් කීපදෙනෙක් එනවා. ඒත් සමහර දවස්වලට මෙතැන පාලුයි. සෙනඟ නෑ. මීට අවුරුදු කීපෙකට කලින් නම් මෙතැනට සෙනඟ ආවා. ඒත් මොන හේතුවක් ද දන්නෑ හරි අඩුවෙන් කට්ටිය දැන් මෙතැනට එන්නේ. මෙතැන තියෙන වටිනාකම ගැන හරි පණිවිඩයක් කවුරුත් දෙන්නැති නිසා වෙන්න ඇති එහෙම වෙලා තියෙන්නේ. වහින වෙලාවට එහෙම මෙතැන වෙළෙඳාම් කරන්න බෑ. ගොඩක් වෙලාවට වැස්ස පායනකන් අපි වෙළෙඳාමට එන්නෙත් නෑ. අපි මේ පොඩි මඩු ඇතුලේ විකුණන දේවල් තියාගෙන ඉන්නේ. ඉතිං මොකක් හරි පිළිවෙළක් තියෙනවා නම් හොඳයි. පිළිවෙළක් නැතිවුණහම සමහරු අහක බලාගෙන යනවා.”
මල්වතු ඔය ගල් පාලම අඩි අනූවක් පමණ දිගකින් යුතු වන්නට ඇති බවත් පළල අඩි 15 ක් පමණ වී ඇති බවත් අනුමාන කෙරේ. මීට වසර දහයකට පමණ ඉහතදී මල්වතු ඔයට අඩක් පෙරලී ඇති මෙම ගල් පාළම යතාවත් කිරීමට යම් උත්සාහයක් දරා ඇතත් කිසිදු සාධනීය ප්‍රතිඵලයකින් තොරවම එයද අතරමග නැවතී තිබේ. සිදුව ඇති එකම වෙනස නම් මල්වතු ඔය ගල් පාලමට මීටර් කිහිපයක් ඔබ්බෙන් ඔය හරහා අලුතින් කොන්ක්‍රීට් පාලමක් ඉදිවීම පමණක්මය. එමගින් ඔයෙන් එපිට පිහිටි අශෝකපුර, සාලියපුර, පානියන්කඩවල, පුලියන්කුලම ආදී ගම්මාන වෙත ගමන් පහසුව සැලසී තිබේ. එහෙත් 2020 වර්ෂයේ මෙම නව පාලම ඉදිවීමත් සමග ගල් පාලම කෙරෙහි කිසියම් අවධානයක් තිබුණේ නම් එය අද වන විට මුළුමනින්ම අතහැරී තිබේ.
සිය දිවියේ වැඩි කාලයක් ගල් පාලම අසල වෙළෙඳාමත් සමග ගත කර ඇති කේ.එම්. කුසුමාවතී මහත්මිය පැවසුවේ මෙවැනි කරුණු පෙළකි.
“මේ පාලම් නියම විදිහට ආරක්ෂා කරගත්තොත් මිනිස්සු එයි මේ දේවල් බලන්න. දැන් වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම අතඇරලා දාපු දරුවෝ ගානට වැටිලා තියෙන්නේ. ගල් කණු වැටිච්ච වැටිච්ච තැන්වල. සමහර ගල්කණු ඔයේ වැල්ලට යටවෙලා. මේ පාරෙන් ශ්‍රී මහා බෝධිය වැඩම කෙරෙව්වා කියලනේ කියන්නේ. මේවා පුදුම ඓතිහාසික තැන්. මිනිස්සු ආවොත්නේ දෙයියනේ කියලා අපිත් කීයක් හරි හොයා ගන්නේ. සමහර දවස්වලට ආදායමක් ඇත්තෙම නෑ. දැන් අපේ වයසත් එක්ක වෙන මොනව කියලා කරන්නද. අපි හැමෝම ඉස්පිරිතාලේ සායනවලට යන අය. හැමදේටම දරුවන්ට කරදර කරන්න බෑනේ. අස්වැසුම ඉල්ලුවට දෙන්නෙත් නෑ. අඩුම ගානේ මෙතැන වෙළෙඳිම කරගන්න උදව්වක් කරන්ඩ පුළුවන් නම් ලොකු දෙයක් .”
මේ ගැමි ළියන්ගේ කටුක ජීවන පෙවෙතට යම් පමණක හෝ පිහිටක් වී ඇත්තේ මේ කුඩා වෙළෙඳාම පමණකි. හේන්, කුඹුරු කිරීමට ඔවුනට ඉඩම් ඇත්තේද නැත. කුමන කම්කටොළු පැමිණියද ජීවිතය අතෑර යෑමටද ඔවුනට ඉඩක් ඇත්තේද නැත. සිය ගැටලුවලට යම් සහනයක් සලසන ලෙස ඔවුන් වගකිව යුත්තන් වෙතින් ඉල්ලීමක් කරනුයේ එබැවිනි.
2025 නොවැම්බර් මස 04
384
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුඩා වෙළෙඳාමෙන් දිවි ගෙවන ගැමිළියන්ගේ අර්බුදය