IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කැකිරාවේ කම්මල් කර්මාන්තයේ අර්බුදය

යකඩ හොයාගන්නේ කොහොමද කියන එක ලොකුම ප්‍රශ්නක්

ඉස්සර නම් කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා යකඩ, වානේ දෙන වැඩපිළිවෙළක් තිබුණා

දැන් සමිතිත් කඩාකප්පල් වෙලා. කිසිම නිලධාරියෙක් ගමට එන්නේ නෑ

යකඩ විකුණන මිනිස්සු ළඟ කිලෝ එක රුපියල් පන්සීයක් විතර වෙනවා

සමහර මාසවල කරන්ට් බිල දැක්කම හිසේ කැක්කුම හැදෙනවා

සාම්ප්‍රදායික කම්මලේ තිබු “මයිනහම” දැන් කොට්ටල්බද්දේ කොතනකවත් දැකගත නොහැකි තරම්

යකඩ රත් කිරීමට අවශ්‍ය අඟු‍රු සඳහා දැව සපයා ගැනීමත් අද වන විට කොට්ටල්බද්ද ගැමියන්ට ඇති තවත් ගැටලු‍වක්

ඉන්දියාව, චීනය වැනි රටවල නිෂ්පාදිත හැඩවැඩ දැමූ පිහි වර්ග ආනයනය කිරීමද සාම්ප‍්‍රදායික කම්මල්කරුවන්ගේ වෙළෙඳපොළ අර්බුදය උග‍්‍ර කරන්නක්


බුල්නෑව ප්‍රදීප් රණතුංග


අද වන විට කොහේ හෝ ගම්මුල්ලක පවත්වාගෙන යන කම්මලක් දෙකක් දක්නට ලැබුණද එය කර්මාන්තයක් ලෙස ක්‍රමානුකූලව අභාවයට යමින් ඇති බව සැඟවිය නොහැකි සත්‍යයයි. කරුණු එසේ තිබියදී අනුරාධපුරයේ, කැකිරාව, කොට්ටල්බද්ද ගම්වාසීන් කිණිහිරය මත තවමත් ජීවිත අපේක්ෂාවලට පණ පොවති. එදිනෙදා ජන ජීවිතයට අවැසි ආම්පන්න සකසා, සපයා දීමට සුදුසු හැකියාවෙන් යුතු සාම්ප්‍රදායික වෘත්තිකයන්ගෙන්ද ගම සවිමත්ව තිබිණි. ලෝකුරු හෙවත් කම්මල් කර්මාන්තය ද එවක ගමේ ස්ව උත්පාදන ආර්ථිකයට මනා රුකුලක් වී ඇත. ඉමහත් පිළිගැනීමක් දිනමින් කම්මල් බාසුන්නැහැ ද එදවස ගමේ ඉහළ භූමිකාවකට පණ දුන්නේය. 

පොල කැත්ත, විසි කැත්ත, ඇඹුල් කැත්ත, මන්නා පිහිය, දෑ කැත්ත, හිරමනා තලය, පන්කැත්ත, නගුල් තලය, උදලු‍ තලය, පොරව, කුරහන් කැත්ත, ගිරය, පොල් උල ආදී මෙකි නොකී එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය බොහෝමයක් ආම්පන්න නිෂ්පාදනය කළ කම්මල් කර්මාන්තය වර්තමානයේ කදුළු අතර දියවෙමින් තිබේ. 

කොට්ටල්බද්ද ගමේ හැට හත් හැවිරිදි ජේ. ඒ. නවරත්න වසර හතළිහකට වැඩි කලක් ගෙවා ඇත්තේ ගිනියම් කම්මල තුළය. අද දවස වන විට කොට්ටල්බද්ද ගමේ ජීවත්ව සිටින කම්මල් බාසුන්නැහැලා අතර නවරත්නට ඇති අත්දැකීම් සම්භාරය තවෙකෙකුට නැති තරම්ය. ඔහු පැවසුවේ මෙවැනි කරුණු පෙළකි.

“ගමේ හිටපු පරණ බාස්ලා ගොඩක් අය දැන් නෑ. පරණම අයගෙන් දැන් ඉන්නේ මම විතරයි. අද වෙනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි යකඩ හොයාගන්නේ කොහොමද කියන එක. ඉස්සර අපිට කාර්මික සංවර්ධන මණ්ඩලේ හරහා යකඩ, වානේ එහෙම දෙන වැඩපිළිවෙළක් තිබුණා. ඔය බස් ඩිපෝවලින් එහෙම අහක දාන දුනුකොළ වගේ දේවල් ලාබෙට අරගෙන දුන්නා අපිට. ගම්වල සමුපකාර සමිති පිහිටුවලා තිබුණා. නිලධාරි ගමට ආවා. දැන් සමිතිත් කඩාකප්පල් වෙලා තියෙන්නේ. කිසිම නිලධාරියෙක් ගමට එන්නේ නෑ. අපිට යකඩ හොයාගෙන තැන් තැන්වල යන්න වෙලා තියෙන්නේ. එකතු කරලා යකඩ විකුණන මිනිස්සු ළඟ ගාන වැඩියි. කිලෝ එක රුපියල් පන්සීයක් විතර වෙනවා. ඒ ගානට අරගෙන බඩු හදලා විකුණන්න ගියහම මිනිස්සු කියන්නේ අපේ බඩුවල ගාණ වැඩියි කියලා.” 

කොට්ටල්බද්ද මෙම ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රදායික පැරණි ගම්මාන කිහිපය අතුරින් එකකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය මෙහි එන්නට පෙර සිටම මෙම ගම ප්‍රදේශයේ පතළව පැවත ඇත. ඒ මෙම කම්මල් කර්මාන්තය හේතුවෙනි. දැන් මෙහි පරම්පරා කිහිපයක් වානේ පන්නරය තබමින් කල් ගෙවති. කැකිරාව නගරයේ සිට එප්පාවල දෙසට පැමිණෙන අතරවාරයේ කිලෝ මීටර් දොළහක් පමණ ආ පසු කොට්ටල්බද්ද මුණගැසේ. 

සිසිර තවත් විටෙක කම්මලේ විවිධ පරිවර්තන හමුවේ වුවද අද ද කොට්ටල්බද්ද ගමේ වැඩි පිරිසකගේ ජීවනෝපාය කම්මල මගින් සරිවේ. 

හතළිස් අට වියැති වසන්ත කුමාර කිණිහිරය මත පදම් වන දිවිසැරිය ගැන කීයේ මෙවැනි කරුණු පෙළකි. 

“මුළු ගමේම පවුල් හැත්තෑවක් විතර ඉන්නවා. වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ මේ කම්මල් රස්සාවෙන්. ගමට කම්මල් 20 ක් විතර තියෙනවා. හැම පවුලකටම තමන්ටම කියලා කම්මලක් නැති වුණත් පුළුවන් විදිහට කාගේ හරි කම්මලකට එකතු වෙලා රස්සාව කරනවා. මේව හදන්න යන වියදමයි, අපේ මහන්සියයි බලපුවහම අපට මහලොකු ලාබයක් නෑ. සමහර මාසවල කරන්ට් බිල දැක්කහම ඔලු‍වේ කැක්කුම හැදෙනවා. මේ ඔක්කොම එක්ක අපට ජීවත් වෙන්න තියෙන එකම කර්මාන්තේ මේක. අපි කන්නේ, බොන්නේ, දරුවෝ දීග තල දෙන්නේ මේ හම්බකරන කීයෙන් හරි.” 

සාම්ප්‍රදායික කම්මලේ තිබු “මයිනහම” දැන් කොට්ටල්බද්දේ කොතනකවත් දැකගත නොහැකි තරම්ය. මෙහි ගැමියන් මයිනහමෙන් ඈත්වී වසර කිහිපයක් ගතවී ඇත. ඒ ගමට විදුලිය ලැබීම හේතුවෙනි. එහෙයින් විදුලි බලෙන් වානේ රත් කිරීමට අවැසි අගුරු අවුළුවා ගත හැකිය. අගුරු මත රත්වූ යකඩය නිවෙන්නට පෙර තලාගන්නේ කිණිහිරය මතදීය. ගම ආසන්නයේ කැකිරාව - එප්පාවල මග දෙපස කැති, පොරෝ, මන්නා පිහි, හිරමනා වැනි ආම්පන්න විකිණීමට තබා ඇති අයුරු කොට්ටල්බද්දේ දී දැකගත හැකිය. සමහරෙකු යකඩ තැලීමෙන් සපුරාම ඉවත්වී ආම්පන්න විකිණීමට අත ගසා ඇත. දෑතේ සවියත්, සිතේ ධෛර්යත් පිළිබඳ විශ්වාසයෙන් යකඩ මට්ටු කරන මේ මිනිසුන් දෙදෙනකු එක්ව සිදුකරන යකඩයක් හෝ වානේ කෑල්ලක් තුනී කිරීම රිද්මයානුකූල වැඩකි. එහෙත් පොඩ්ඩ එහෙ මෙහෙ වුවහොත් අනතුරක් සිකුරුය. එය මේ කර්මාන්තයේ හෙට දවස මෙන්ය. 

රත්වූ යකඩ පදම් කිරීමේ කලාව හොඳින් දත් රොබින් පියතිස්ස අද දවසේ කම්මල් කර්මාන්තය ගැන පැවසුවේ මෙවැනි අදහස් පෙළකි.  

“එක පැත්තකින් නානාප්‍රකාර ආයුධ වෙළෙඳපොළට එනවා. මේ කර්මාන්තය විතරක් කරලා ජීවත් වෙන එක අද හරිම අමාරුයි. ඒත් වෙන දෙයක් කරන්න අපි දන්නෑ. දන්න කියන දවසේ ඉඳලා අතහුරු වුණේ මේ කර්මාන්තෙට. මේක අපේ පරම්පරා උරුමේ. ගොවිතැන් කරන්න වුණත් ඉඩක් නෑ. ඉඩමකට කියලා තියෙන්නේ මේ පදිංචි වෙලා ඉන්න අක්කර කාල විතරයි. මේ හැමදේම තියෙද්දි තාමත් මිනිස්සු කැත්තක්, පිහියක් හදාගන්න එන්නේ පරණ පුරුදු ගාණට. ඒ අය ඉල්ලන ගාණට බඩු දීලා මේ කර්මාන්තේ කරන්න බෑ.”

යකඩ රත් කිරීම උදෙසා අවැසි අගුරු සඳහා දැව සපයා ගැනීම ද අද වන විට කොට්ටල්බද්ද ගැමියන්ට ඇති තවත් ගැටලු‍වකි. ඉතා හොඳ අඟු‍රු අස්වැන්නක් ඇති පලු‍, වීර වැනි දැව වර්ග හිඟවී තිබේ. අන්දර, කෝන්, ඇහැල ආදිය ද සොයා ගැනීම අසීරු වී තිබේ. පාන් පෝරණු ආදියෙන් ඉවත ලන අඟු‍රු සොයාවිත් යන්තමින් දවස පිරිමසා ගත හැකිය. එහෙත් දර පෝරණු ද ක්‍රමයෙන් අභාවයට යමින් තිබේ. ඊට අමතරව ඉන්දියාව, චීනය වැනි රටවල නිෂ්පාදිත හැඩවැඩ දැමූ පිහි වර්ග ආදිය ලංකාවට ආනයනය කිරීමද සාම්ප‍්‍රදායික කම්මල්කරුවන්ගේ වෙළෙඳපොළ අර්බුදය උග‍්‍ර කරන්නක් වී තිබේ.

පාරම්පරික කම්මල් කර්මාන්තයෙන් තරුණ පිරිස ඈත්වීම අද කොට්ටල්බද්දට ද උරුම පොදු ගැටලු‍වක් වී තිබේ. සියලු‍ උපද්‍රව මැද වුවද කම්මලෙන් දවස දිනන සුසන්ත සිසිර කුමාර කම්මලේ එකලස් වන ආම්පන්න ගමින් ගම ගොස් විකිණීමට වෙහෙස වෙයි. 

සිසිර තවත් විටෙක කම්මලේ ආම්පන්න සකසමින් දවස ගත කරයි. ඔහු මෙසේ පැවසුවේය. 

“මං කරන්නේ අපි හදන දේවල් පිට ගම් වලට ගිහිල්ලා විකුණනවා. සමහර මිනිස්සුන්ගේ කකුල් දෙක ළඟට බඩු ගිහින් දුන්නත් ගන්න පුළුවන් අඩුම ගාණට තමයි ඒ අය බඩු ඉල්ලන්නේ. පුදුමේ කියන්නේ ඒ භාණඩයම කඩවලින් කීයයි කිව්වත් ගන්න ඕනෑතරම් මිනිස්සු ඉන්නවා. බඩු ගන්න එන හුඟ දෙනකුට අපේ මහන්සිය ගැන ගාණක් නෑ. ආම්පන්න හදලා පිට වෙළෙන්දෙකුට දීලා මේ කර්මාන්තෙන් ආදායම් හොයන්න බෑ. ඒ හින්දා අපිම ගම්වලට ගිහිල්ලා විකුණන්න බලනවා.”



අදහස් (0)

කැකිරාවේ කම්මල් කර්මාන්තයේ අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 880 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site