IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


අයවැය අභියෝග: ආර්ථිකයට සංවර්ධනයට කාන්තා ශ්‍රම සහභාගීත්වය වැඩිකිරීම

ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව, 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම සාභාගීත්වය සියයට 29.8 කි. එනම් වැඩ කළ හැකි වයසේ පසුවන මුළු කාන්තාවන්ගෙන් ශ්‍රම බළකායට අයත් වන්නේ තුනෙන් එකටත් වඩා අඩු සංඛ්‍යාවකි. 2017 වර්ෂයේ දී මෙම අගය සියයට 36.6 ක් පමණ වූ අතර ඉන් පසු වසරවල දී කාන්තා ශ්‍රම සහභාගීත්වය ක්‍රමිකව පහළ යාමක් වාර්තා වී ඇත. ආසියානු කලාපයේ පහළම කාන්තා ශ්‍රම සහභාගීත්වයක් වාර්තා කරන රටවල් අතර එකක් වන්නේ ශ්‍රී ලංකාවයි. 
උදාහරණයක් ලෙස 2024 වර්ෂයේ දී බංගලාදේශයේ කාන්තා ශ්‍රම සහභාගීත්වය සියයට 44ක් වන අතර මැලේසියාවේ එම අගය සීයයට 56 ක් වේ. තායිලන්තයේ සහ වියට්නාමයේ කාන්තා ශ්‍රම සහභාගීත්වය පිළිවෙළින් සියයට 59ක් සහ සියයට 63 කි. ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම සහභාගීත්වය පහළ මට්ටමක පැවතීම ව්‍යුහාත්මක ගැටලු‍වක් වන අතර එම තත්වය ආපසු හැරවීම සඳහා විවිධ අවස්ථාවල ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය. උදාහරණයක් ලෙස පසුගිය රජය මගින් ගෙනඑන ලද ආර්ථික පරිවර්තන පනත තුළ ද කාන්තා ශ්‍රම සහභාගීත්වය වැඩි කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන පැවතිණි. ආර්ථික පරිවර්තන පනතට අනුව 2030 වනවිට කාන්තා ශ්‍රම සාභාගීත්වය සියයට 40ක් දක්වාත් 2040 වනවිට සියයට50ක් දක්වාත් වැඩි කරලීමට ඉලක්කගතව පැවතිණි.
 කාන්තා ශ්‍රම සහභාගීත්වය පහළ අගයක් ගැනීම ගැටලු‍ ගණනාවක් ඇති කරනු ලබන අතර එම ගැටලු‍ කාන්තාවන්ට අදාළව සාධාරණත්වය (Fairness) ඇති කිරීමෙන් ඔබ්බට යමින් ආර්ථිකයේ අංශ ගණනාවකට අහිතකර බලපෑම් ඇති කරනු ලබයි. කාන්තා ශ්‍රම සහභාගීත්වය පහළ මට්ටමක පවත්නේ මන්ද? ශ්‍රම සහභාගීත්වය ඉහළ නැංවීමේ සමාජ-ආර්ථික වාසි කවරේ ද? ශ්‍රම සහභාගීත්වය ඉහළනැංවීම සඳහා කුමක් කළ හැකිද? මෙම ලිපියේ අරමුණ වන්නේ ඉහත ගැටලු‍ සඳහා පිළිතුරු සැපයීම වේ. එම කරුණු නොබෝ දිනකින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය තුළ කාන්තා ශ්‍රම සහභාගීත්වය වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති/ වැඩසටහන් හඳුනා ගැනීමට උපකාරී වෙතැයි අපේක්ෂා කරමු.


කාන්තා ශ්‍රම ‍වෙළෙඳපොළ ස්වභාවය
2017 වර්ෂයේ දී ශ්‍රමබළකාය තුළ කාන්තාවන් මිලියන 3.1 (සියයට 36.6) සිටි අතර 2024 වර්ෂය වනවිට එම සංඛ්‍යාව මිලියන 2.8 (සියයට 29.8) දක්වා ලක්ෂ 3 කින් පමණ පහළ ගොස් ඇත. නාගරික අංශය තුළ කාන්තා ශ්‍රම සහභාගීත්වය සාපේක්ෂව පහළ මට්ටමක පවතින අතර වතු අංශයේ කාන්තා ශ්‍රම සහභාගීත්වය සියයට 44ක් පමණ වේ. සේවා නියුක්තව ඇති කාන්තාවන්ගෙන් සැලකිය යුතු පංගුවක් අනාරක්ෂිත (Unprotective) අවධිමත් අංශයේ (Informal Sector) පහළ වැටුපකට සේවය කරනු ලබයි. උදාහරණයක් ලෙස කුටුම්භ ආශ්‍රිත නිෂ්පාදන කටයුතුවලට දායකත්වය දක්වන (Contributing Family Workers) මුළු ශ්‍රමිකයන්ගෙන් සියයට 74ක් නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන්ය. මෙවැනි තත්වයක් තුළ ඔවුහු යම් වැටුපක් නොලබති. එමෙන්ම, කෘෂි කාර්මික (තේ, රබර් වැනි නිෂ්පාදන ආශ්‍රිතව) කටයුතු මෙන්ම කර්මාන්ත අංශයේ (ඇඟලු‍ම් කර්මාන්තය ආශ්‍රිතව) කාන්තා ශ්‍රම සහභාගීත්වය ඉහළ මට්ටමක පවතී. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ රාජ්‍ය පරිපාලනය වැනි කේෂ්ත්‍ර ආශ්‍රිතව කාන්තාවන්ගේ ශ්‍රම සහභාගීත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින නමුත් අනෙකුත් අංශවල කාන්තා ශ්‍රම සහභාගීත්වය පවතින්නේ පහළ මට්ටමක වේ. විශේෂයෙන්ම කාන්තා ව්‍යාවසායකත්වය ඉතා පහළ මට්ටමක පවතී. 


කාන්තා ශ්‍රම සහභාගීත්වය පහළ මට්ටමක පැවතීමට හේතු මොනවාද?
සමස්තයක් ලෙස ගත් කල කාන්තා ශ්‍රම සහභාගීත්වය පහළ මට්ටමක පැවතීම සඳහා කරුණු ගණනාවක් බලපා ඇති බව එම කේෂ්ත්‍රයට අදාළව ගොඩනැගී ඇති පර්යේෂණ සාහිත්‍ය පෙන්වා දෙයි. එම සොයා ගැනීම් අතරින් කීපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. පළමුව, තවමත් ලාංකේය සමාජය තුළ කාන්තාවන් පිළිබඳ සමාජමය ආකල්ප සකස්ව ඇත්තේ කාන්තාව යනු ගේ දොර කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දී දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ රැකවරණය සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපව කටයුතු කරන්නකු විය යුතුය යන්නයි. දරුවන් සහ වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා විධිමත් සහ දරාගත හැකි මිල ගණන් යටතේ යාන්ත්‍රණ නොමැතිවීම මෙම තත්වය තවදුරටත් තීව්‍ර කිරීමට බලපා ඇත.
එමෙන්ම ලාංකේය සමාජය තුළ ගේ දොර වැඩකටයුතු බොහොමක් කාන්තාව ඉටු කරනු ලබයි. 2017 දී ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව කාල භාවිතය පිළිබඳව කරනු ලැබූ ගෘහ සමීක්ෂණය (Time Use Survey) මගින් පෙන්වා දුන් කරුණක් වූයේ වයස 10 ට වැඩි කාන්තාවන්ගෙන් සියයට 87 ක්ම ගේ දොර වැඩකටයුතුවල නියුතු වුවත් එම වයස් කාණ්ඩයේම පිරිමින්ගෙන් සියයට 60ක් පමණක් ගේ දොර වැඩකටයුතුවල නිරත වන බවයි. 
එමෙන්ම කාල-දුප්පත්කම (Time Poverty) පිළිබඳව කරනු ලැබු අධ්‍යයනයකින් හෙළි වූ කරුණක් වූයේ රැකියා කරනු ලබන කාන්තාවක් ගේ දොර කටයුතු සඳහා දවසකට පැය 5-6 ත් අතර කාලයක් ගත කළත් රැකියා කරනු ලබන පිරිමි පුද්ගලයකු ගේ දොර වැඩ සඳහා ගත කරනුයේ පැය 2-3 ත් අතර කාලයක් බවයි. මේ හේතුවෙන් කාන්තාවන් අතර කාල දුගී බව ඉහළ මට්ටමක පවතින අතර කාන්තාවකට ගේ දොර වැඩකටයුතු ආශ්‍රිතව දැඩි පීඩනයක් පවතින බවයි. එවන් තත්වයක් තුළ රැකියාවක නිරතවීම තරමක් අභියෝගයක්ව පවතී. 
දෙවනුව, කාන්තාවන් මුහුණදෙන අනාරක්ෂිත තත්ව ද ශ්‍රම සහභාගීත්වය කෙරෙහි අහිතකරව බලපා ඇත. මෙම අනාරක්ෂිත තත්ව රැකියා පරිසරයට අදාළව, පොදු ප්‍රවාහනයට අදාළව සහ පොදුවේ පවත්නා අනාරක්ෂිත තත්වය සමග ගැටගැසී පවතී. පොදු ප්‍රවාහනය තුළ දී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනය පිළිබඳව කරනු ලැබූ පර්යේෂණයක් පදනම් කරගනිමින් වත්මන් අග්‍රාමාත්‍යවරිය විසින් මෑතක දී කළ හෙළිදරව්වක් වූයේ කාන්තාවන්ගෙන් සියයට 90ක් අවම වශයෙන් එක්වතාවක් හෝ පොදු ප්‍රවාහන මාධ්‍ය තුළ දී ලිංගික හිංසනයට ගොදුරුව ඇති බවයි. එම දත්ත මගින් පොදු ප්‍රවාහනය තුළ දී කාන්තාවන්ගේ අනාරක්ෂිත බව මනාව පිළිබිඹුවේ. 
ශ්‍රී ලංකාවේ මුළු රැකියා ප්‍රමාණයෙන් සියයට 65 ක් පමණ අවිධිමත් රැකියා වන අතර එවැනි රැකියා පවත්නා කම්කරු නීති මගින් ආවරණය නොවේ. කාන්තාවන් එවැනි රැකියා වෙනුවට විධිමත් අංශයේ රැකියා සඳහා, විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ, වැඩි කැමැත්තක් දක්වනු ලැබුවත් එම අංශයේ රැකියා නිර්මාණය වන්නේ ඉතා මන්දගාමීව වේ. පොදු ප්‍රවාහනයට අදාළව ඇති ගැටලු‍, විශේෂයෙන්ම ඒවායේ පවතින තදබදය මෙන්ම රාත්‍රී කාලයේ පොදු ප්‍රවාහන සේවා නොමැතිවීම කාන්තාවන් රැකියාගත කිරීමට අදාළව ඇති ප්‍රබලතම අභියෝගයක්ව පවතී. තුන්වනුව, පවත්නා කම්කරු නීති ද යම්තාක් දුරකට කාන්තා ශ්‍රම සහභාගීත්වය පහළ මට්ටමක පැවතීමට බලපා ඇත. විශේෂයෙන්ම, රාත්‍රී කාලයේ වැඩ කිරීම සහ ප්‍රසූත නිවාඩු පහසුකම වැනි කරුණු ද කාන්තාවන් පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳ වාගැනීමට ඇති බධා වේ. අනෙකුත් දැඩි නීතිමය තත්ව හේතුවෙන් අර්ධකාලීන රැකියා (Part-time jobs) සහ වඩාත් නම්‍යශීලි කොන්දේසි යටතේ කාන්තාවන්ට රැකියාගතවීම් වළක්වා ඇත. 
තවත් එක් හේතුවක් වන්නේ බොහොමයක් රැකියා අවස්ථා ප්‍රදේශ කීපයකට සීමාවීම වේ. විශේෂයෙන්ම ආර්ථීක සංවර්ධනයට අදාළව ඇති දැඩි භූගෝලීය අසමානතාව හේතුවෙන් බස්නාහිර පළාතේ කලාප කීපයකට අදාළව පමණක් නව රැකියා ඇතිවීම දැකගත හැකිය. පොදු ප්‍රවාහනය දැඩි ලෙස බිඳවැටී ඇති තත්වයක රැකියා සඳහා පිට පළාත්වලින් පමණක් නොව බස්නාහිර පළාත තුළද ගමනාගමනය අතිශ්‍යය දුෂ්කර කටයුත්තක්ව පවතී. කාන්තා ශ්‍රම සහභාගීත්වය මෑත කාලීනව පහත වැටීමට රැකියා සඳහා කාන්තාවන් සහ පිරිමි විදේශ රැකියාවලට විශාල වශයෙන් යොමු වීම ද හේතු වී ඇත. රට තුළ ක්‍රියාත්මක සහනාධාර වැඩසටහන් ද කාන්තාවන් ශ්‍රම සහභාගීත්වය පහළ මට්ටමක පැවතීමට හේතුවක්ව ඇති බව බොහෝ දෙනාගේ මතයයි. අවසාන වශයෙන් කාන්තාවන්ට තමන්ගේ කුසලතා (පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපන හරහා ලබාගත්) රැකියා වෙළෙඳ පොළට නොගැළපීමද කාන්තා ශ්‍රම සහභාගීත්වය පහළ මට්ටමක පැවතීමට හේතුවක්ව පැවැතීමට බලපා ඇත. 


ශ්‍රම සහභාගීත්වය ඉහළනැංවීමේ සාමාජ- ආර්ථික වාසි කවරේ ද?
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වර්ෂයේ දී රැකියා විරහිත කාන්තාවන්ගේ සංඛ්‍යාව 200,000 කට ආසන්න වේ. ශ්‍රම වෙළෙඳපොළ සමීක්ෂණය කරනු ලබන කාලසීමාවේ දී සක්‍රීයව රැකියා සොයමින් නොසිටියත් රැකියාවක් කිරීමට කැමැත්තෙන් පසුවන කාන්තාවන්ගේ සංඛ්‍යාව (potential female labour force) 122,000 පමණ වන අතර එයින් 36,000 ක් පමණ රැකියා සෙවීම අතහැර ඇත්තේ රැකියාවක් සොයා ගැනීමට ඉඩකඩක් නැතැයි යන මතය හේතුවෙනි. ඒ අනුව ගත් කළ ඉතා කෙටි කාලයක් තුළ රැකියාගත කළ හැකි කාන්තා ශ්‍රමිකයන්ගේ ගණන 300,000 ඉක්මවා ඇති බව පැහැදිලි වේ. 
2030 වනවිට කාන්තා ශ්‍රම සහභාගීත්වය සියයට 40 දක්වා වැඩි කිරීමට නම් අවම වශයෙන් තවත් මිලියනයක පමණ කාන්තාවන් පිරිසක් ශ්‍රමය සැපයීමට සූදානම් කළ යුතුව ඇත. කාන්තා ශ්‍රම සහභාගීත්වය ඉහළ නංවාලීම තුළ සමාජ- ආර්ථික වාසි ගණනාවක් ඇත. පළමුව, ආර්ථිකයක ශ්‍රමය යනු ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන අතර නිෂ්පාදන සාධක ප්‍රමාණාත්මකව ඉහළ යයි නම් එමගින් ආර්ථිකයක නිෂ්පාදනය පුළුල් වී ආර්ථික වර්ධනය ඉහළ යයි. උදාහරණයක් ලෙස රැකියා විරහිත සහ රැකියාවක් කිරීමට කැමැති පිරිස ආර්ථික කටයුතුවලට සහභාගීකර ගතහොත් එමගින් දළ දේශීය නිෂ්පාදනයට රුපියල් බිලියන 300 ක පමණ වාර්ෂික අගය එකතු කිරීමක් කළහැකි වේ. එමෙන්ම ආර්ථිකයේ ශ්‍රම පලදායීතාව සහ නවෝත්පාදන ඉහළ නැංවීමට ද කාන්තා ශ්‍රම සහභාගීත්වය උපකාරී වේ. දෙවනුව, කාන්තාවන් ආර්ථික කටයුතුවලට සහභාගීවීම කුටුම්භයක ආදායම් තත්වය ඉහළයාම සඳහා ධනාත්මක බලපෑමක් ඇති කරන අතර එමගින් දුප්පත්කම තුරන් කිරීමට මහත් පිටුවහලක් සැපයේ. 
ලෝක බැංකු දත්තවලට අනුව රටේ සෑම පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකු දරිද්‍රතාවෙන් පෙළෙන අතර දුප්පත්කම තුරන් කිරීම සඳහා පවතින හොඳම විසඳුම වන්නේ දුගී පවුල්වල පිරිස් ශ්‍රම වෙළෙඳපොළට සහභාගී කරවීම වේ. තුන්වනුව, කාන්තා ශ්‍රම සහභාගීත්වය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරනු ලබන ආයෝජන ඉහළ නංවාලීමට උපකාරීවන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇති අතර මේ නිසා ශ්‍රම සහභාගීත්වය වැඩි කිරීමෙන් දරුවන්ගේ පමණක් නොව තම සහෝදර සහෝදරියන්ගේ ද අධ්‍යාපනය සඳහා ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ලබයි. 
සිව්වනුව, කාන්තා ශ්‍රම සහභාගීත්වයෙන් කාන්තාවන් සවිබල ගැන්වෙන අතර ඒ තුළින් කාන්තාවන්ට ආත්මාභිමානයෙන් යුතුව ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මණය වේ. එමෙන්ම ගෘහස්ථ හිංසනය වැනි අයහපත් තත්වද මෙමගින් පහළයාම සිදුවිය හැකිය. අවසාන වශයෙන් කාන්තා ශ්‍රම සහභාගීත්වය සාර්ව ආර්ථික ස්ථායීතව සඳහා ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ලබයි. විශේෂයෙන්ම බදු පදනම පුළුල් කිරීම සඳහා කාන්තා ශ්‍රම සහභාගීත්වය උපකාරීවේ. 


ශ්‍රම සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා කුමක් කළ හැකිද?
පසුගිය දශක දෙකක කාලය තුළ වාර්ෂිකව ඉදිරිපත් කළ අයවැය දෙස බැලීමේදී පෙනී යන මූලික කරුණක් වන්නේ කාන්තා ශ්‍රම සහභාගීත්වය වැඩි කරලීම සඳහා විවිධ යෝජනා/ වැඩසටහන් ඉදිරිපත්ව පැවතීමයි. එහෙත්, කාන්තා ශ්‍රම සහභාගීත්වය දිගින් දිගටම වාර්ෂිකව පහළ යමින් පැවතීමෙන් කියවෙන්නේ එක්කෝ එම යෝජනා ක්‍රියාත්මක නොවූ බව හෝ නැතහොත් කාන්තා ශ්‍රම සහභාගීත්වය ඉහළ නැංවීමට කරනු ලැබූ වැඩසටහන් අසාර්ථක ඒවා වූ බවයි. කලාපීය රටවල අත්දැකීම් ද උපයෝගී කරගනිමින් කාන්තා ශ්‍රම සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් යෝජනා කළ හැකිය. පළමුව, වඩාත් ආරක්ෂිත පොදු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට අවධානය යොමු කළ යුතුව ඇත. පාකිස්තානයේ ලාහෝර් නුවර මෑතක දී අත්හදා බලන ලද්දක් වූයේ කාන්තාවන් සඳහාම වෙන්වූ බස්රථ සේවාවක් “Pink Buses” හඳුන්වා දීම විය. අවශ්‍ය පමණට බස් රථ නොමැති වුවද එම විසඳුම කාන්තාවන්ට සුරක්ෂිත පොදු ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා සුදුසු ක්‍රමවේදයක් ලෙස හඳුනාගෙන ඇත. 
දෙවනුව, වියටිනාමය, මැලේසියාව, සිංග්ගප්පූරුව වැනි රටවල අත්දැකීම් ද පදනම් කරගනිමින්, දැනට පවත්නා කම්කරු නීති කාන්තා ශ්‍රම සැපයුම මෙන්ම ඉල්ලු‍ම ද ඉහළ නැංවිය හැකි අයුරින් සංශෝධනය විය යුතුය. වඩාත් නම්‍යශීලි වැඩ පරිසරයක් ඇති කිරීම මෙන්ම වැඩ පරිසරය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කළ යුතුව ඇත. නීති හඳුන්වාදීම පමණක් නොව ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වේ ද යන්න පිළිබඳ සුපරීක්ෂාව ද අත්‍යඅවශ්‍ය වේ. ප්‍රසූත නිවාඩු සහ දීමනා ලබාදීම සේව්‍ය පක්ෂයට බරක්වීම හේතුවෙන් පෞද්ගලික අංශයේ සමහර ආයතන කාන්තාවන් රැකියාවලට බඳවා ගැනීමට මැලිකමක් දක්වන බව ප්‍රසිද්ධ රහසක් වේ. එබැවින් ප්‍රසූත නිවාඩු සහ දීමනා සේව්‍ය පක්ෂයට බරක් නොවන පරිදි සංශෝධනය විය යුතුව ඇත. මේ සඳහා වියට්නාමය, සිංගප්පූරුව සහ දකුණු කොරියාව විසින් අනුගමනය කරනු ලබන සමාජ රක්ෂණ ක්‍රම (Social Insurance schemes for cost Sharing) හඳුන්වාදීම සඳහා අවධානය යොමුකළ යුතුව ඇත. දැනට ප්‍රසූති නිවාඩු සහ දීමනා සඳහා සුදුසුකම් ලබන්නේ විධිමත් අංශයේ සේවයේ නියුතු කාන්තාවන් පමණක් හෙයින් නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නේ නම් එම ක්‍රමවේද මගින් අවධිමත් අංශයේ රැකියා කරනු ලබන කාන්තාවන් ද ආවරණය කිරීම අත්‍යවශ්‍ය වේ. 
තුන්වනුව, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ සේවා දරාගත හැකි මිලකට සැපයීමට පියවර ගැනීම කාන්තා ශ්‍රම සහභාගීත්වය ඉහළ නැංවීමට අතිශය උපකාරී වේ. පසුගිය වසරවල ඉදිරිපත් කරන ලද අයවැය තුළ මේ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් යෝජනා වුවද තවමත් ප්‍රමාණවත් ළමා දිවා සුරැකුම් පහසුකම් අවම වශයෙන් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව හෝ ලබාදීමට අසමත්ව ඇත. රජයේ සීමිත මූල්‍ය අවකාශය පිළිබඳව අවධානය යොමු කිරීමේදී, රාජ්‍ය සම්පත් මෙම අරමුණ වෙනුවෙන් යෙදවීමට ඇති හැකියාව අවම වේ. එබැවින්, පෞද්ගලික අංශයේ ආයතන ආශ්‍රිතව මෙන්ම ප්‍රජා මධ්‍යස්ථාන ආශ්‍රිතව ළමා දිවා සුරැකුම් සේවා සැපයීමට අවශ්‍ය දිරිදීම් ලබාදිය යුතුව ඇත. වතු අංශය තුළ මෙවැනි මධ්‍යස්ථාන පැවතීමෙන් ප්‍රකට වන්නේ ඈත අතීතයේ දී පවා ළමා දිවා රැකුම් මධ්‍යස්ථාන කාන්තා ශ්‍රම සහභාගීත්වය වැඩි කිරීම සඳහා තීරණාත්මකව බලපානු ලබන්නක් බව යටත්විඡිත පාලනය මගින් අවබෝධ කරගෙන සිටි බවයි.
සිව්වනුව, ආර්ථික වශයෙන් පසුගාමී ප්‍රදේශ සංවර්ධනය සඳහා විධිමත් වැඩසටහන් දියත් කළ යුතුව ඇත. මෙහිලා දේශීය සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු අතර ඊට අදාළවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇත. විශේෂයෙන්ම, කාන්තාවන් සඳහා ඉහළ වැටුප් සහිත පලදායී රැකියා ඇති කිරීමේ ඉහළ හැකියාවක් ඇත්තේ අපනයනාභිමුඛ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා නිෂ්පාදන ආයතනවලට වේ. පස්වනුව, රැකියා වෙළෙඳපොළ ඉල්ලු‍මට සරිලන වෘත්තීය පුහුණුවීම් අවස්ථා කාන්තාවන් සඳහා ඇති කළ යුතුව ඇත. ආර්ථිකමය වශයෙන් සක්‍රිය නොමැති කාන්තාවන්ගෙන් සියයට 60 ක්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත්වූවන් වන අතර මේ නිසාම ඔවුන් කිසිදු පිළිගත හැකි වෘත්තීය පුහුණුවක් නොලද පිරිසක්වීමට ඇති ඉඩකඩ ඉහළ වේ.
එබැවින් මෙම පිරිස ද ඉලක්ක කරගනිමින් විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීම මෙන්ම කාන්තාවන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සඳහා ද වැඩි අවධානයක් යොමුකිරීම කළ යුතුය. අවසන් වශයෙන්, වත්මන් සුබසාධන වැඩසටහන් ශ්‍රම සැපයුමට ඇති කරනු ලබන බලපෑම පිළිබඳව නිසි අධ්‍යයනයක් කළ යුතුව ඇත. සුබසාධන වැඩසටහන් හැඟීම්වලින් නොව තාර්කික සහභාගීත්වයේ වැදගත්කම ඉස්මතු කිරීම උදෙසා මාධ්‍ය හරහා ප්‍රචාරණ වැඩසටහන් දියත් කළ යුතුව ඇත. 


නිගමනය
කාන්තා ශ්‍රම සාභාගීත්වය ප්‍රවර්ධනයෙන් ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට අදාළ අතිශ්‍යය වැදගත් ධාවක බලවේගයක් (Growth Driver) සක්‍රිය කරගත හැකි වේ. එවැන්නකින් තොරව ආර්ථිකය යථාවත් කිරීම මෙන්ම ඉදිරි ආර්ථික අභියෝග ජය ගැනීමට නොහැකිය. මේ වනවිට ලාංකික ආර්ථිකයට අදාළව ජන විකාශන ලාභාංශ (Demographic Dividend) ලබාගැනීමේ අවස්ථාවක් නොමැති අතර රැකියා සඳහා විදේශගතවීම ඉතා ඉහළ මට්ටමක පවතින තත්වයක් යටතේ ආර්ථිකයේ සෑම අංශයක්ම ශ්‍රම හිඟයකට මුහුණදෙමින් සිටී. මෙවන් තත්වයක් යටතේ කාන්තා ශ්‍රම සහභාගීත්වය ප්‍රවර්ධනය සඳහා පෙරදාටත් වඩා වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීම කළ යුතුව ඇත. ඉදිරි අයවැය තුළ ඊට අදාළ නිසි අවධානයක් යොමු වෙතැයි අපේක්ෂා කරමු. 



අදහස් (0)

අයවැය අභියෝග: ආර්ථිකයට සංවර්ධනයට කාන්තා ශ්‍රම සහභාගීත්වය වැඩිකිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site