• 2026 අගෝස්තු 21 දින සිට කොරියානු වීසා අයදුම්කරුවන්ට කොළඹ පිහිටි VFS Global වීසා අයදුම් මධ්‍යස්ථානයට පැමිණ පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස තම වීසා සේවා අවශ්‍යතා ඉටුකරගත හැකියි 
  • වීසා අයදුම්පත භාරදීමට මධ්‍යස්ථානය වෙත පැමිණීමට පෙර වේලාවක් වෙන් කරගැනීම අනිවාර්යයි

රජයන් සහ පුරවැසියන් වෙනුවෙන් වීසා ඇතුළු අවශ්‍යතා සඳහා සුරක්ෂිත තාක්ෂණික සේවා සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් වන VFS Globa, ශ්‍රී ලංකාව තුළ දකුණු කොරියානු වීසා සේවා ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කළේය. මේ සඳහා නවතම වීසා අයදුම්කරණ මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරන ලද අතර, මෙම මධ්‍යස්ථානයෙන් මෙරට කොරියානු වීසා අයදුම්කරුවන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවා අත්දැකීමක් හිමි වනු ඇත.
2026 අගෝස්තු 21 දින සිට මෙරට කොරියානු වීසා අයදුම්කරුවන්ට මාර්ගගතව කලින් වේලාවක් වෙන්කරවා ගැනීමෙන් පසු කොළඹ පිහිටි නව කොරියා වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත පැමිණ සිය අයදුම්පත් භාරදිය හැකි වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Eunji KANG මහත්මිය පැවසුවේ, තානාපති කාර්යාලය සහ VFS Global වීසා අයදුම් මධ්‍යස්ථානය අතර පවතින සහයෝගීතාව හේතුවෙන් වීසා අයදුම්කරුවන්ට වැඩි පහසුවක් සහ වඩාත් උසස් සේවාවක් හිමි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
මේ අතර  VFS Global සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී (දකුණු ආසියානු කලාපය) Yummi Talwar මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය. “අපගේ කොරියා වීසා අයදුම් මධ්‍යස්ථානය ආරම්භ කිරීම, ලාංකිකයන් වෙනුවෙන් වීසා අයදුම්පත් භාරදීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා තබන ලද වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. කොළඹ නගරයේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය, වැඩි ඉඩකඩක් සමග නවීන පහසුකම්වලින්ද සමන්විතයි. වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේ සෑම අදියරකදීම අයදුම්කරුවන්ට සහය වීම සඳහා මනා පුහුණුවක් ලැබූ පාරිභෝගික සේවා නියෝජිත කණ්ඩායමක් මෙහි සේවයේ යෙදී සිටිනවා.”
VFS Global  සමාගම 2011 වසරේ සිට වීසා ක්‍රියාවලිය සඳහා කොරියානු ජනරජයේ විශ්වාසනීය හවුල්කරුවකු ලෙස කටයුතු කරයි. මේ වන විට එම සමාගම ලොව රටවල් 5 ක ස්ථාපිත කර ඇති වීසා අයදුම් මධ්‍යස්ථාන 7 ක් හරහා කොරියානු ජනරජය වෙනුවෙන් වීසා සේවාවන් සපයයි.
වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේදී VFS Global  සමාගමේ කාර්යභාරය මූලික පරිපාලන කටයුතුවලට පමණක් සීමා වේ. වීසා අයදුම්පත් එකතු කිරීම, පිරික්සුම් ලැයිස්තුවට අනුව අවශ්‍ය ලිපිලේඛන සියල්ල තිබේදැයි පරීක්ෂා කිරීම සහ ජෛවමිතික දත්ත ලබාගැනීම වැනි කාර්යයන් රැසක් VFS Global  මගින් ඉටුකරනු ලබයි. වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලියට VFS Global  කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන අතර, එහි පූර්ණ බලතල සහ වගකීම දරනු ලබන්නේ අදාළ තානාපති කාර්යාලය මඟිනි.
කොළඹ පිහිටි කොරියානු ජනරජ වීසා අයදුම් මධ්‍යස්ථානය 2 වැනි මහල, අංක 657, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 09 යන ස්ථානයේ පිහිටා තිබේ.
වීසා අවශ්‍යතා, ගාස්තු, වේලාවන් වෙන්කරවාගැනීම සහ ලබාගත හැකි සේවා පිළිබඳ නවතම තොරතුරු සඳහා කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ VFS Global  සමාගමේ නිල වෙබ් අඩවිය පමණක් භාවිත කළ යුතුය..