උසස් සහ කඩිනම් පාරිභෝගික සේවාවක් ලබා අරමුණයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන SDB බැංකුව, සිය ඩිජිටල් බැංකු යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM (NYSE: IBM) සහ South Asian Technologies (SAT)  සමග සහයෝගීතාවක් ආරම්භ කර තිබේ. මෙම සහයෝගීතාව හරහා IBM හි අති නවීන ව්‍යවසාය තාක්ෂණික යටිතල පහසුකම් සහ ස්වයංක්‍රීය විසඳුම් භාවිතයට ගනිමින්, SDB බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධති නවීකරණය කිරීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව හා ඉහළ විශ්වාසනීයත්වයක් සමගින් කඩිනම් බැංකු සේවාවක් ලබා දීමටත්, කටයුතු කරනු ඇත.

පාරිභෝගික අපේක්ෂා සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රය වේගයෙන් වෙනස් වන පසුබිමක, SDB බැංකුව සිය ප්‍රධාන බැංකුකරණ පද්ධති සහ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ උපායමාර්ගික පියවරක් වශයෙන් මෙය ආරම්භ කර ඇත. මෙමගින්, බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, පාරිභෝගික අවශ්‍යතාවලට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්විය හැකි විසඳුම් අභිරුචිකරණය කිරීමටත්, බැංකු සේවා පුළුල් කිරීමටත් හැකියාව ලැබේ.

මෙම සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය. ’අපගේ අවධානය සෑමවිටම යොමු වන්නේ, විශ්වාසදායී, පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාවක් ලබා දීමටයි. IBM සමග ඇතිකරගත් මෙම සහයෝගීතාව හරහා අපගේ මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කරගනිමින්, පාරිභෝගික අවශ්‍යතා සහ වෙළෙඳපොළ ඉල්ලීම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හැකි නම්‍යශිලී ශක්තිමත් සේවාවක් ලබා දීමට අපට හැකි වී තිබේ. මෙම මුලපිරීම තුළින්, දිගුකාලීන නවෝත්පාදන වර්ධනයක් අත්පත් කර ගනිමින්, ව්‍යාපාර වර්ධනය වේගවත් කිරීම සඳහා මනා රුකුලක් සැපයෙනු නිසැකයි’’

මෙම ඩිජිටල් පරිවර්තන වැඩසටහනේ කොටසක් ලෙස, SDB බැංකුව, IBM Power ඉහළ කාර්යසාධනයක් සහිත සේවාදායක සහ  IBM FlashSystem භාවිතයෙන් මූලික බැංකු පද්ධතිය නවීකරණය කර තිබෙන අතර, අතවශ්‍ය බැංකුකරණ මෙහෙයුම් සඳහා වන ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදුරටත් ශක්තිමත් කර තිබේ. ඊට සමගාමීව, බැංකු කාර්යයන් විධිමත් කිරීමට, අන්තර්ගත කළමනාකරණය වැඩිදියුණු කිරීමට සහ ප්‍රධාන ව්‍යවසායක ක්‍රියාවලීන් ස්වයංක්‍රිය කිරීමට IBM Cloud Pak for Business Automation  සිය උපායමාර්ගික ස්වයංක්‍රීය වේදිකාව වශයෙන් යොදා ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ IBM India & South Asia  හි තාක්ෂණ අංශයේ උප සභාපති ගෞරව් අගර්වාල් මහතා පැවසුවේ මෙවැන්නකි. ‘වර්තමාන බැංකු ක්ෂේත්‍රයේ සාර්ථකත්වය සඳහා නවෝත්පාදනය, ආරක්ෂාව සහ මෙහෙයුම් ස්ථාවරත්වය අතර නිසි සමතුලිතතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. SDB බැංකුව සමග ඇති කරගත් මෙම සහයෝගීතාව හරහා, SAT වැනි අපගේ හවුල්කරුවන් එක්ව මූල්‍ය ආයතනවලට ව්‍යාපාරික වටිනාකම ඉහළ නැංවීමටත්, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත්, සහ නවීන කෘත්‍රිම බුද්ධි  (AI) හා Hybrid Cloud තාක්ෂණයේ ශක්තිය උපයෝගී කර ගනිමින්, මහා පරිමාණ නවෝත්පාදන ක්‍රියාත්මක කිරීමටත් සහාය විය හැකි ආකාරය මෙයින් පෙන්නුම් කර තිබේ’’

මෙම නවීකරණය කරන ලද ඩිජිටල් වැඩසටහන මත පදනම්ව, සිය ඉදිරි මෙහෙයුම් කටයුතු සහ පාරිභෝගික සම්බන්ධතා නාලිකා හරහා AI  හැකියාව පුළුල් කිරීමට SDB බැංකුව සූදානමින් සිටී. එමෙන්ම පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින්, දිගුකාලීන තරගකාරිත්වය සහ තිරසාර වර්ධනය සඳහා අවැසි කඩිනම් බැංකු සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද මෙමගින් අවස්ථාව උදා වනු ඇත.