2025 පළමු කාර්තුවේදී ඉපැයූ රු.බි. 175.6 හා සැසඳීමේදී සියයට 7ක වර්ධනයක්
2022 පළමු කාර්තුවේ ඉපැයූ රු.බි. 254න් පසුව වැඩිම උපයා ගැනීමක් සිදු වූ පළමු කාර්තුවද මෙයයි 
බැංකු, විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ යන අංශ සමස්ත ඉපැයීම්වලින් සියයට 62 කට දායකත්වය දීලා
කොළඹ කොටස් හුවමාරුවේ  (CSE) ලැයිස්තුගත සමාගම් 279 ක්, 2026 වසරේ පළමු කාර්තුවේදී (2026 මූල්‍ය වර්ෂයේ සිව්වැනි කාර්තුවේදී) එම හුවමාරුව තුළ සිදු කළ ක්‍රියාකාරකම් හරහා රුපියල් බිලියන 186.9 ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි.
2026 පළමු කාර්තුව /2026 මූල්‍ය වර්ෂයේ සිව්වැනි කාර්තුව වනවිට ලැයිස්තුගත සමාගම් 279ක් මගින් කොළඹ කොටස් හුවමාරුවට නිකුත් කර ඇති සිය කාර්තුමය කාර්යසාධන වාර්තා අනුව සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් ආයතනය සකස් කළ වාර්තාවක මෙම කරුණු සඳහන්ව තිබේ. 
ඒ අනුව මෙය 2025 වසරේ පළමු කාර්තුවේදී උපයා ගත් රුපියල් බිලියන 175.6 හා සැසඳීමේදී සියයට 7ක වර්ධනයක් සහ 2025 සිව්වැනි කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 182.7 හා සැසඳීමේදී සියයට 2ක වර්ධනයක් ලෙස සටහන් වන බව එම ආයතනය සඳහන් කරයි.

එසේම මෙම වාර්තාවට අනුව 2019 පළමු කාර්තුවේ සිට ගත් විට 2022 පළමු කාර්තුවෙන් පසුව එම කාර්තුවක් තුළ වැඩිම උපයා ගැනීමක් සිදු වූ කාර්තුව ලෙසින්ද 2026 පළමු කාර්තුව සැලකෙයි. 2022 පළමු කාර්තුවේදී එය රුපියල් බිලියන 254ක් විය.
මෙහිදී බැංකු, විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ යන අංශ මෙම පළමු කාර්තුවේදී උපයා ගත් සමස්ත ඉපැයීම්වලින් සියයට 62 කට දායකත්වය ලබාදී තිබේ. ඒ අනුව බැංකු රුපියල් බිලියන 47.3ක්, විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් රුපියල් බිලියන 35.4ක් සහ ප්‍රාග්ධන භාණ්ඩ රුපියල් බිලියන 32.4 ක් ලෙස සටහන්ව තිබේ.