•  විදුලියෙන් ක්‍රියාත්මක SUV රථ පංගුව සියයට 6 කිට සියයට 18ක් දක්වා ඉහළට 

මේ වසරේ මැයි මාසයේදී අලු‍තින් ලියාපදිංචි කළ බ්‍රෑන්ඩ් නිව් කාර් රථ 1,110 ක් අතරින් සියයට 91 ක්ම විදුලියෙන් ක්‍රියාත්මක (EV)  කාර් රථ වන බවත්, ඉන්ධන දහන එන්ජින් සහිත කාර් රථ ප්‍රතිශතය සියයට 9 ක් බවත් වාර්තා වෙයි. 
HNB ස්ටොක්බ්‍රෝකර්ස් ආයතනය මැයි මාසයේ වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ මෙම කරුණු සඳහන්ව තිබේ. ඒ අනුව මෙම විදුලි වාහන අතරින් 519ක් BAW මාදිලියට අයත් වන අතර, 436ක්  BYD මාදිලියට අයත්ය. මෙහිදී මූලිකවම තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීම සඳහා මාදිලි පැවතීම ඊට හේතුව වී තිබේ.  
මේ අතර ඒකක 1,606 ක් වන බ්‍රෑන්ඞ් නිව් SUV ලියාපදිංචියෙන් විදුලියෙන් ක්‍රියාත්මක SUV ප්‍රතිශතය සියයට 18 කි. එහෙත් එය අප්‍රේල් මාසයේ පැවැති සියයට 6කට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. එසේම ඉන්ධන දහන එන්ජින් සහිත SUV සියයට 66ක් වන අතර, හයිබ්‍රිඩ් SUV ලියාපදිංචිය සියයට 16කි.  
එහිදී විදුලියෙන් ක්‍රියාත්මක රථ යටතේ BYD මාදිලියේ SUV  රථ ලියාපදිංචිය අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 87.7 ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන්ම තරගකාරී මිල ගණන් යටතේ විදුලියෙන් ක්‍රියාත්මක SUV රථ වෙළෙඳපොළට පැමිණීමත් සමගින්ම ඒ සඳහා වන පාරිභෝගික උනන්දුව ඉහළ යාම හේතුව බව HNB ස්ටොක්බ්‍රෝකර්ස් වැඩිදුරටත් පවසයි.