විමුක්ති එස්. රුද්‍රිගු
ශ්‍රී ලංකාවට, 2030 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් කෝටි 1500ක ඩිජිටල් ආර්ථිකයට ළඟාවීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
වර්තමානය වනවිට ජනතාව බහුලව මුදල් පරිහරණය කිරීමට පුරුදු වී සිටින බවත් සමාජය ඉන් ඈත් කිරීමට රජය උත්සාහ දරමින් සිටින බවත් ඔහු පැවැසුවේය. මුදල් භාවිතයෙන් තොර සමාජයක් සඳහා මෙරට ගෙවීම් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සක්‍රීයව ඉදිරියට ගෙන යමින් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, ඉදිරියේදී ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ප්‍රචලිත කිරීම සහ සක්‍රීය කිරීම සඳහා විශේෂ ප්‍රමුඛතාවක් ලබාදීමට නියමිත බවද ඔහු කීවේය. මේ වනවිට ස්මාර්ට් අධ්‍යාපන ක්‍රම හඳුන්වාදෙමින් සිටින බවත් කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරය සහ අනෙකුත් අංශ ඩිජිටල්කරණය කිරීම ආරම්භ කර තිබෙන බවද වීරරත්න මහතා ප්‍රකාශ කළේය.
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියද ක්‍රියාත්මක කිරීමේ අවධියේ පසුවන බවත් මෙම වසර අවසාන වීමට පෙර ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
ලබන වසරේ අගෝස්තු මස අවසන් වනවිට ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ සඳහා ඉදිරියේදී ජාතික දත්ත හුවමාරුව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එමගින් රජයේ දත්ත එක් ජාලයකට සම්බන්ධ වනු ඇති බවත් ඔහු පැවැසුවේය.
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය 2012 වසරේ සිට සාකච්ඡාවට බඳුන් වූ බවත් එය අතරමග නැවැතී තිබූ ව්‍යාපෘතියක් බවත් වීරරත්න මහතා ප්‍රකාශ කළේය. වර්තමානය වනවිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙහිලා ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් (මොබිටෙල්) සමූහය මෙම වසරේ පළමු භාගයේදී අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd