ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය (FY26) සඳහා රුපියල් බිලියන 65.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.2 ක වර්ධනයකි. සුව සේවා අංශයේ අඛණ්ඩ වර්ධනය, පාරිභෝගික අංශයේ වේගවත් වර්ධනය සහ කෘෂි ව්‍යාපාර අංශයෙන් ලැබුණු ඉහළ දායකත්වය මෙම ආදායම් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
සමූහයේ සමස්ත ආදායමට සුව සේවා අංශයේ කැපීපෙනෙන දායකත්වය හේතු වූ අතර 2026 මූල්‍ය වර්ෂයේදී එම අංශය සියයට 56.8 ක දායකත්වයක් ලබා දී ඇත. මේ අතර සමූහයේ ආදායමට පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර අංශ පිළිවෙළින් සියයට 28.9 ක සහ සියයට 14.3 ක දායකත්වයක් ලබා දී ඇත. මෙමගින් සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල සන්ෂයින් හෝල්ඩින්ග්ස් සතු විවිධ වර්ගයේ ව්‍යාපාරික ශක්තිය පිළිබිඹු වේ.
සමූහයේ දළ ලාබය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.7 කින් රුපියල් බිලියන 19.0 ක් දක්වා වර්ධනය වී ඇත. කෙසේ වුවද, 2025 මූල්‍ය වර්ෂයේදී සියයට 30.1 ක් ලෙස වාර්තා වූ දළ ලාභාන්තිකය මෙම වසරේදී සියයට 28.9 ක් දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. සමූහයේ මෙහෙයුම් ලාබය (EBIT) රුපියල් බිලියන 9.3 ක් ලෙස ස්ථාවර මට්ටමක පැවතුණ ද, මෙහෙයුම් ලාභාන්තිකය පසුගිය මූල්‍ය වසරට සාපේක්ෂව සියයට 15.7 සිට සියයට 14.1 දක්වා පහත වැටී ඇත. සන්ෂයින් සමූහයේ බදු පසු ලාබය ((PAT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 2.5 ක සුළු අඩුවීමක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 5.0 ක් වී ඇත. ලාබදායීත්වයේ මෙම සුළු පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සුව සේවා අංශයේ ලාබ ප්‍රතිශතය අඩුවීමයි. විශේෂයෙන්ම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ඖෂධ නිෂ්පාදන සඳහා සිදුකළ මිල සංශෝධන සහ රජයේ වෛද්‍ය ඇණවුම් සඳහා අඩු මිල ගණන් ගෙවීම මීට බලපාන ලදී.
අදාළ මූල්‍ය වර්ෂයේදී සමාගම Joint Agri Products Ceylon පුද් සමාගමේ (JAPC) බහුතර කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගත්තේය. ප්‍රධාන වශයෙන් යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කාබනික කුළුබඩු, තේ සහ අනෙකුත් කෘෂි නිෂ්පාදන සකස් කර අපනයනය කිරීම JAPC සතු ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර වේ.
2026 මූල්‍ය වසරේදී සුව සේවා අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 14.9 කින් වර්ධනය වී රුපියල් බිලියන 37.4 ක් වී ඇත. ඖෂධ විකුණුම් ප්‍රමාණය වැඩිවීම සහ අපනයන ආදායම ඉහළ යාම හේතුවෙන් සන්ෂයින් ෆාමසියුටිකල්ස් පසුගිය වසරට සාපේක්ෂව සියයට 24.4ක කැපීපෙනෙන ආදායම් වර්ධනයක් පෙන්නුම් කළේය.
Healthguard Distribution හි නව ව්‍යාපාර ආකෘතියේ සාර්ථකත්වය සහ නව බෙදාහැරීමේ සේවා පහක් Healthguard Distribution සමග අලුතින් එක්වීම හේතුවෙන් සමාගමේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 25.2 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මීට අමතරව, ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ සඳහා වෙළෙඳපොළේ පැවති ස්ථාවර ඉල්ලුම හේතුවෙන් Sunshine Medical Devices සමාගමේ ආදායම ද පසුගිය වසරට සාපේක්ෂව සියයට 12.3 කින් වර්ධනය වී ඇත.
මේ අතර 2026 වර්ෂය සඳහා වූ රජයේ මිලදී ගැනීමේ ඇණවුම් වෙනුවෙන් අඩු මිල ගණන් නියම වීම හේතුවෙන්, සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පෞද්ගලික සමාගමේ වාර්ෂික ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.1 ක පහත වැටීමක් පෙන්නුම් කර ඇත.
පාරිභෝගික වෙළෙඳාම් අංශය වන හෙල්ත්ගාර්ඩ් ෆාමසි හි ආදායම සියයට 11.3 ක වර්ධනයක් වාර්තා කර ඇත.
පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුළත් පාරිභෝගික අංශයේ ආදායම 2026 වර්ෂය තුළ සියයට 2.8 ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති අතර එය සමූහයේ සමස්ත ආදායමට සියයට 28.9 ක දායකත්වයක් ලබා දී ඇත.
සන්නාමගත තේ අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.6 කින් වර්ධනය වී ඇත. මේ අතර රසකැවිලි ව්‍යාපාරය සහ රසකැවිලි අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙළින් සියයට 8.5 කින් හා 8-9කින් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම, චුයින්ගම් සහ වේෆර් නිෂ්පාදන කාණ්ඩ වෙළෙඳපොළ තුළ දැක්වූ ඉහළ කාර්යසාධනය මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
සමූහයේ අපනයන ව්‍යාපාරය වන Sunshine Tea, අගය එකතු කළ නිෂ්පාදන වෙනුවට තොග වශයෙන් තේ අපනයනය කිරීමේ ඇණවුම් වෙත වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් සමාගමේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.8 ක අඩුවීමක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්, විදේශීය වෙළෙඳපොළේ පවතින අඛණ්ඩ ඉල්ලුම හේතුවෙන් තේ අපනයන අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.1 කින් ඉහළ ගියේය.
සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම 2026 මූල්‍ය වර්ෂයේදී පසුගිය වසරට සාපේක්ෂව සියයට 18.9 ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත. පාම් ඔයිල් ව්‍යාපාරය 2026 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 8.4 ක ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 23.6 ක වර්ධනයක් වන අතර පාම් ඔයිල් ව්‍යාපාරයේ ඉහළ ආදායම සහ වෙළෙඳපොළ මිල ගණන් වර්ධනය වීම මෙයට හේතු විය. තවද අදාළ මූල්‍ය වර්ෂයේදී මෙම අංශය සියයට 30.8 ක ඉහළ ලාබ ප්‍රතිශතයක් පවත්වා ගනිමින් රුපියල් බිලියන 2.6 ක බදු පසු ලාබයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.2කින් රුපියල් බිලියන 1.1ක් දක්වා පහත වැටුණු අතර විකුණුම් මිල අඩුවීම මෙයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd