පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය පසුගියදා කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල වශයෙන් විවෘත කළ අතර, එය සමාගමේ වර්ධන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ශ්‍රී ලංකාව, ආසියානු කලාපය සහ ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාරික ප්‍රජාවට දිගුකාලීනව සහාය ලබාදීමේ කැපවීම තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් විය.
මෙම විවෘත කිරීමේ උත්සවයට රාජ්‍ය තාන්ත්‍රික සහ සංවර්ධන ක්ෂේත්‍ර නියෝජිතයන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා සහ වැඩබලන තානාපතිවරයා වන ඉවාන් රට්ජන්ස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්විය. එමෙන්ම යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO), Market Development Facility (MDF) Australia ඇතුළු සංවිධානවල නියෝජිතයන් ද, කර්මාන්ත හවුල්කරුවන්, සේවාදායකයන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
පීටර්සන් සොලියුෂන්ස් යනු 1920 වසර දක්වා දිව යන දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, ගෝලීය වශයෙන් පිළිගත් බහුජාතික සමාගමක් වන Peterson Control Union (PCU) සමූහයේ උපදේශන අංශයයි. සියවසකට අධික කාලයක් පුරා එම සමූහය රටවල් 80කට වැඩි ගණනක ක්‍රියාත්මක වෙමින්, රටවල් 120කට වැඩි සංඛ්‍යාවක ව්‍යාපෘති කරමින් සහ 6,500කට අධික වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජාලයක් හරහා සේවාදායකයන් 40,000කට වැඩි සංඛ්‍යාවකට සේවා සපයමින් විශ්වාසනීය ජාත්‍යන්තර හවුල්කරුවකු ලෙස වර්ධනය වී ඇත.
විශ්වාසනීයත්වය, තාක්ෂණික විශේෂඥතාව සහ ප්‍රායෝගික ව්‍යාපාරික විසඳුම් මත ගොඩනැගුණු පීටර්සන් සොලියුෂන්ස් සමාගම, තිරසාරභාවය, අනුකූලතාව, සැපයුම් දාම කළමනාකරණය, සහතිකකරණය, කෘෂිකාර්මික සංවර්ධනය සහ තාක්ෂණික නවෝත්පාදන සම්බන්ධ අභියෝග ජය ගැනීම සඳහා ආයතනවලට අවශ්‍ය සහාය ලබාදෙමින් කීර්තිමත් නාමයක් දිනාගෙන ඇති සමාගමකි.
වර්තමානයේ පීටර්සන් සොලියුෂන්ස් සමාගම පහත සඳහන් සේවා විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා සපයනු ලබයි. සහතිකකරණ සහාය සේවා, තිරසාර සැපයුම් දාම විසඳුම්, තිරසාරභාවය සහ ESG උපදේශන සේවා, තාක්ෂණික සහ ඩිජිටල් විසඳුම්, Peterson Academy හරහා පුහුණු සහ ධාරිතා සංවර්ධන සේවා, ජාත්‍යන්තර බෝග උපදේශන සේවා, පීටර්සන් සොලියුෂන්ස් සමූහයට අනුබද්ධ ඩෙල්ෆි ආයතනය මගින් සපයනු ලබයි.
පීටර්සන් සොලියුෂන්ස් සමාගම කෘෂිකර්මාන්තය, ආහාර හා පාන, ඇඟලු‍ම් හා රෙදිපිළි, ධීවර, සංචාරක, නිෂ්පාදන, සිල්ලර වෙළෙඳාම, තොරතුරු තාක්ෂණය, ලොජිස්ටික්ස් සහ අපනයන ආශ්‍රිත කර්මාන්ත ඇතුළු විවිධ ක්ෂේත්‍ර වෙත සේවා සපයයි. සමාගමේ බහුවිධ ප්‍රවේශය හරහා තාක්ෂණික විශේෂඥතාව, තිරසාරභාවය පිළිබඳ දැනුම, කෘෂිකාර්මික උපදේශන සේවා, ඩිජිටල් නවෝත්පාදන සහ සහතිකකරණ විසඳුම් එකම වේදිකාවක් යටතේ ලබාදීමට හැකියාව ලැබී ඇත.
ආසියා-පැසිෆික් කලාපය තුළ පීටර්සන් සොලියුෂන්ස් ආයතනය ශ්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, චීනය, තායිවානය, පැපුවා නිව් ගිනියාව, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් 14 ක කාර්යාල ජාලයක් හරහා ක්‍රියාත්මක වේ. මෙම කලාපීය ජාලය මගින් දේශීය වෙළෙඳපොළ පිළිබඳ අවබෝධය ජාත්‍යන්තර විශේෂඥතාව හා යහපත් භාවිතයන් සමග ඒකාබද්ධ කරමින් සේවා සැපයීමට ආයතනයට හැකියාව ලැබී ඇත.
ශ්‍රී ලංකාව තුළ පීටර්සන් සොලියුෂන්ස් ආයතනය 2023 වසරේදී කොළඹ 03 ප්‍රදේශයේ පිහිටි කාර්යාලයකින් සිය මෙහෙයුම් ආරම්භ කළ අතර, කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ සේවාදායකයන් 170කට අධික සංඛ්‍යාවකගේ විශ්වාසනීය හවුල්කරුවකු බවට පත්වීමට සමත් විය. එමෙන්ම මාලදිවයින, කාම්බෝජය සහ මියන්මාරය ඇතුළු රටවල ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් කලාපීය වශයෙන් සිය සේවා පුළුල් කර ඇත.
Barista, Pelwatte Dairy Industries, Ethimale Plantations, Sysco LABS, INSEE Ecocycle, Ceylon Tobacco Company, Prima සහ Ansell ඇතුළු ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් සමග පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය මේ වන විට කටයුතු කරමින් සිටී.