මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බැංකු ගනුදෙනුවන්කරුවන්ට
QR කේත ප්‍රධානය කරමින්.


ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව


ඩිජිටල් ගෙවීම්වලින් ගනුදෙනු කිරීමේදී පහසුව, ආරක්ෂාව වගේම විශ්වාසනීයත්වයත් ඇති වන අතර මෙම ගෙවීම් කිරීමේදී අමතර මුදලක් වැය නොවීමත් නිසා අපේ අසල්වැසි ඉන්දියාවේ මෙම ගනුදෙනු වඩාත් ප්‍රචලිතව ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත්දා (05) ත්‍රිකුණාමලයේ පැවැති ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනකදී පැවසීය.

ත්‍රිකුණාමලය මධ්‍යම බස් නැවතුම්පොළ අසල පැවති මෙම ප්‍රවර්ධන වැඩසටහන “ඩිජිටල් ගනුදෙනුවලින් අනාගතය හැඩ ගන්වමු”‍ යන තේමාව යටතේ පැවැති අතර බැංකු, මූල්‍යායතන, සන්නිවේදන ආයතන, රැසක් මෙයට සම්බන්ධ විය.මෙහිදි මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බැංකුකරුවන් හා ගනුදෙනුකරුවන් අතර ගෙවීම් සඳහා නව QR  කේත හඳුන්වාදීම මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර අනතුරුව බැංකුකරුවන් ඉදිරියේ ගනුදෙනුකරුවන් වෙත QR  කේත ප්‍රධානය කිරීමද සිදුකෙරිණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම වැඩසටහනට සමගාමීව ඩිජිටල් වංචා වැළැක්වීම සම්බන්ධයෙන් අපි ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම් කරගෙන යනවා. උදාහරණයක් විදිහට ගනුදෙනුකරුවන්ට ලබාදෙන OTP අංකය නොදැනුවත් භාවය නිසා තවත් කෙනකුගේ අතට පත්වීම වැළැක්වීම වාගේ දේවල් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමද මේ අනුව සිදු කෙරෙනවා යැයි පැවැසීය.

මෙම අවස්ථාවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සිරි කුමාර කුඩාගම, මහ බැංකුවේ ගෙවීම හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වසන්ත අල්විස්, නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, සහකාර පොලිස් අධිකාරි චරිත ඒ.බි. ජයසුන්දර, ත්‍රිකුණාමලය නගරාධිපති කේ.සෙල්වරාජා යන මහත්වරුද සහභාගී වූහ.