දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පසු, කොමියුනිස්ට්වාදීන්ගෙන් යුරෝපා රටවල් ආරක්ෂා කර ගැනීමට ඇමෙරිකාවේ ප‍්‍රධානත්වයෙන්, ජාත්‍යන්තර සංවිධානයක් බිහිවිය. එය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව ලෙසින් නම් කෙරුණි. වසර 63 කට පසු අද වනවිට නේටෝ සංවිධානය බරපතළ අර්බුද රැසකට මුහුණ දී සිටී. පසුගිය 20 වැනිදා සහ 21 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී නේටෝවේ 25 වැනි මහ සමුළුව පැවැත්වූණේ විරෝධතා රැසක් මැදය. නේටෝ සමුළුවට එරෙහිවූ විරෝධතාකරුවන් එක හඬින් කියා සිටියේ නේටෝ සංවිධානය ලෝකයට තර්ජනයක් වී අද එය ලොවට ‘වසංගතයක්’ වී ඇති බවය. නේටෝවට අයත් නේටෝ ආරක්ෂක සහයෝගීතා බළඇණිය නැතහොත් නේටෝ හමුදාව, අද වනවිට ආක‍්‍රමණික හමුදාවක් බවට පත්වී, ජගත් ප‍්‍රජාවගේ අප‍්‍රසාදයට ලක් වී ඇත. නේටෝ හමුදා මධ්‍යම ආසියාවේ ඇෆ්ගනිස්තානයේත්, අප‍්‍රිකා කලාපයේත් සංග‍්‍රාමවලට අත පොවන්නේ, 21 වැනි සියවසේ අභියෝගවලට මුහුණ දෙන බව කියමින් යැයි විරෝධතාකරුවෝ චෝදනා කරති. චිකාගෝ නුවරදී පැවැති නේටෝ සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු කාරණා අතරින්, ප‍්‍රධාන තැනක් ගත්තේ ‘ඇෆ්ගනිස්තානය වෙනුවෙන් කැපවී කටයුතු කිරීම’ යන්නය. නේටෝ සංවිධානය එයින් අදහස් කරන්නේ ඇෆ්ගනිස්තානයේ ප‍්‍රධාන නේටෝ කඳවුරු තව දුරටත් පවත්වාගෙන යමින් මධ්‍යම ආසියාවේ බලය තහවුරු කර ගැනීමට වෙර දැරීමදැයි ප‍්‍රශ්නාර්ථයකි. නේටෝවේ අරමුණු වෙනස් වූයේත් එහි කාර්යභාරය ප‍්‍රශ්නාර්ථයක් වූයේත් සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීමෙන් පසුවය. ඇමෙරිකාව සහ නේටෝ සංවිධානයේ සෙසු රටවල් අතරත් පසුගිය වසර පුරාම හැල හැප්පීම් සිදුවිය. හැමවිටම නේටෝ සංග‍්‍රාම මෙහෙයුම්වලදී වැඩි බරක් දැරීමට සිදුවන්නේ ඇමෙරිකාවටය. සාමාජික රටවල් 28 ක් ඇතුළු රටවල් 60 ක එකමුතුවකින් නේටෝව ශක්තිමත් වුවද නේටෝ සංවිධානයේ කටයුතුවලින් වැඩි බරක් දරන්නේ ඇමෙරිකාවය. නේටෝව වෙනුවෙන් ඇමෙරිකාව ලොකු වියදමක් ද දරයි. ඒ අනුව බලන කල ඇමෙරිකාවට යුරෝපය ආරක්ෂා කිරීමට සිදුවී ඇත. ඇමෙරිකාවට එහි අරමුණු සහ යුරෝපයේ අරමුණු එකක් බවට පත් කර ගැනීමට සිදුවී ඇත. චිකාගෝ නුවර පැවැති නේටෝ සමුළුවට එරෙහිව විරෝධතා පැවැත් වුණේ ආර්ථික අර්බුදයකට ලක් වී කෙමෙන් එයින් ගොඩ ඒමට උත්සාහ ගන්නා ඇමෙරිකාව, නේටෝව සමඟ එක් වී විදේශවල කරන හමුදා සංග‍්‍රාමවලට එරෙහිවය. එම විරෝධතාවලට දහස් ගණනක් සහභාගී වූහ. නේටෝව තම ප‍්‍රඥප්තියට පටහැනිව කටයුතු කරමින්, ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටිද්දී පවා සංග‍්‍රාමවල නියැළෙනවා යැයි විරෝධතාකරුවෝ චෝදනා කරන්නට වූහ. විරෝධතා පෙළපාළිවලට සහභාගී වූවන්ට පොලිසිය හරස් වීමත් සමඟ දෙපිරිස අතර දරුණු ගැටුම් ද හට ගැනුණි. ඇමෙරිකානු ජාතිකයන්ට අමතරව විදේශිකයන් පිරිසක් ද විරෝධතාවලට එක් ව සිටි බව වාර්තා විය. කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවෝ 50 දෙනෙක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණාහ. එම විරෝධතා සංවිධානය කර තිබුණේ ඇමෙරිකාවේ මානව කි‍්‍රයාකාරී සංවිධානයයි. ඔවුන් විරෝධතා සංවිධානය කළේ නේටෝ සමුළුව චිකාගෝ නුවර පැවැත්වීමට දින කිහිපයකට පෙර සිටය. විරෝධතා සංවිධානය කෙරුණේ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහාය. කෙසේ නමුත් කඩාකප්පල්කාරී කි‍්‍රයාවලින් සහ කිසිදු බාධාවකින් තොරව සමුළුවේ වැඩ කටයුතු කරගෙන යෑමට චිකාගෝ නුවර කැරැලි මර්දන පොලිස් ඒකකයේ සහාය ලැබුණි. කැරැලි මර්දනය කිරීමේ දක්ෂයන් ලෙස ප‍්‍රසිද්ධ චිකාගෝ පොලිස් නිලධාරීන්, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට අලූත් මාදිලියේ කැරැලි මර්දන අවි ආයුධ රැසක් ද යොදා ගත් බව වාර්තා විය. ඊට අමතරව සමුළුවට විරෝධය පළ කරමින් ‘ත‍්‍රස්ත කි‍්‍රයා’ සිදු කිරීමට තැත් කළ ඇමෙරිකන් තරුණයන් තිදෙනකු පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමුළුව පැවැත්වීමට පෙර දිනයේදී අල්ලා ගැනීමට ද චිකාගෝ පොලිසිය සමත් විය. එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ 24 හැවිරිදි තරුණයන් දෙදෙනකු සහ 20 හැවිරිදි තරුණයෙකි. ඇමෙරිකාවේ තෙවැනි විශාලතම නගරය වන්නේත් ජනපති බැරැක් ඔබාමාගේ ජන්ම භූමියත් චිකාගෝ නගරයයි. මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් මීට පෙර චිකාගෝ නුවර පවත්වා නොතිබිණි. සාමය සුරැකීමේත්, ආරක්ෂාව තහවුරු කිරීමේත් අරමුණ ඇතිව නේටෝ සංවිධානය පිහිටුවන ලද්දේ 1949 වසරේදීය. නේටෝව පිහිටුවීමෙහිලා උතුරු අත්ලාන්තික් ගිවිසුමට අත්සන් තැබුණේ 1949 වසරේ අපේ‍්‍රල් 4 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදීය. නේටෝ සංවිධානයේ මූලස්ථානය පිහිටුවන ලද්දේ බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවරය. නේටෝව ‘ඔටාන්’ සංවිධානය ලෙසින් ද හැඳින්වෙයි. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඉංගී‍්‍රසි බසින් ලිවීමේදී එම වචනවල මුලකුරුවලින් ‘නේටෝ’ යන්න නිර්මාණය වූවාක් මෙන්, ප‍්‍රංශ බසින් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යන්න ලියූවිට, එම වචනවල මුලකුරුවලින් තැනෙන්නේ ‘ඔටාන්’ යන පදයයි. නේටෝ සංවිධානයට ඉංගී‍්‍රසි සහ ප‍්‍රංශ දෙබසින් නිල නාම දෙකකි. ආරම්භයේදී නේටෝ සංවිධානයට අයත් වූයේ ඇමෙරිකාව, බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සෙන්බර්ග්, ප‍්‍රංශය, එක්සත් රාජධානිය, කැනඩාව, පෘතුගාලය, ඉතාලිය, නෝර්වේ, ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය යන රටවල්ය. නේටෝ ආරක්ෂක සහයෝගීතා බළඇණිය නැතිනම් නේටෝ හමුදාව බොහෝ දෙනාගේ අපකීර්තියට පත් වූයේ 2001 වසරේ සිට ඇෆ්ගන් සංග‍්‍රාමයට මැදිහත් වීමෙනි. ඇෆ්ගනිස්තානයට සාමය උදා කරදී එහි ස්ථාවරභාවයක් ඇති කිරීමට යැයි පවසමින් ඇෆ්ගන් සංග‍්‍රාමය ආරම්භ කළත් නේටෝවට වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ එය කළ නොහැකි වී ඇත. නේටෝ හමුදාව තව තවත් අපකීර්තියට පත්වූයේ පසුගිය වසරේ ලිබියා අර්බුදයට මැදිහත් විමෙනි. නිකලස් සාර්කෝසිට ජනපති ධුරය අහිමි කිරීමට පවා එය හේතු විය. ලිබියාවට එරෙහි නේටෝ ගුවන් මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේ, ලිබියාවේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ උතුම් චේතනාවෙන් මුලින්ම ලිබියාවට පහර දුන්නේ ප‍්‍රංශ ගුවන් හමුදාවයි. ඒ, ජනපති ධුරයේ සිටි නිකලස් සාර්කෝසිගේ නියෝගයකට අනුවය. එම තීරණයට සාර්කෝසිට නේටෝ රටවලින් සහාය ලැබුණු නමුත් ප‍්‍රංශ වැසියෝ ඔහු ගැන කලකිරීමකට පත් වූහ. එම අවස්ථාවේදී ඔවුහු ඊට විරෝධය පළ කළහ. මෙවර චිකාගෝ නුවර නේටෝ සමුළුවට සහභාගී වූයේ නව ප‍්‍රංශ ජනාධිපතිවරයාය. පසුගිය ජනපතිවරණයෙන් සාර්කෝසි පරාජය කොට ජනපතිධුරයට පත් ඔහු ෆ‍්‍රන්සුවා  ඕලන්ද්ය. ඔහු නේටෝ සමුළුව අමතමින් කියා සිටියේ ඇෆ්ගනිස්තානයේ සිටින ප‍්‍රංශ හමුදා 2014 වසරට පෙර වහා ආපසු ගෙන්වා ගැනීමට තමන් කටයුතු කරන බවය. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන නේටෝ සංග‍්‍රාමය නිල වශයෙන් අවසන් කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ සංවිධානයේ රටවල් කටයුතු කරන්නේ 2014 දීය. සංග‍්‍රාම මෙහෙයුම් අවසන් වුවත් ඇෆ්ගනිස්තානයට ආධාර ලබා දීම නවත්වන්නේ නැතැයි ඇමෙරිකා ජනපතිවරයාත් නේටෝ මහ ලේකම්වරයාත් සහතික වී ඇත. සෘජු තීරණයක් ගනිමින් ජනපති  ඕලන්ද් කියා සිටියේ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ප‍්‍රංශය සිය යුතුකම් සහ වගකීම් ඉටු කළ බවයි. මේ වසර අවසන් වීමට පෙර ප‍්‍රංශ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ගෙන්වා ගන්නා බව ජනපති  ඕලන්ද් කියා සිටියේ නේටෝ සමුළුවට සමගාමීව, ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි සමඟත් නේටෝ මහ ලේකම්වරයා සමඟත් විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමෙන් පසුවය. නේටෝවට අයත් රටක රාජ්‍ය නායකයන් නොවුවත් ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිට සහ පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සර්දාරිට සමුළුවට සහභාගී වන්නැයි ජනපති ඔබාමා සහ ඇමරිකා රාජ්‍ය ලේකම්වරිය විශේෂ ආරාධනාවක් කර තිබුණි. ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක නේටෝ සංග‍්‍රමයේදී පාකිස්තානයේ සහාය ද ඇමෙරිකාවට සහ නේටෝ හමුදාවලට අත්‍යවශ්‍ය වේ. ඇෆ්ගනිස්තානයට ස්ථාවරත්වයක් උදා කර දීමට නම් ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවට ඇෆ්ගනිස්තානයේ එක් අසල්වැසියකු වන පාකිස්තානයේ සහාය අත්‍යවශ්‍යය. ඇෆ්ගනිස්තානයේ අනෙක් අසල් වැසියා ඉරානයයි. පවතින නොහොඳ නෝක්කඩුකම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ස්ථාවරත්වයක් ඇති කිරීමට ඇමෙරිකාවට ඉරානයෙන් උදවු   ඉල්ලීමට නොහැකිය.    නේටෝ සමුළුවේ වැඩ කටයුතු ගැන වඩාත් විමසිල්ලෙන් සිටියේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයයි. ඇෆ්ගන් අර්බුදයට විසඳුමක් සෙවීමටත්, එරටට සාමය උදා කිරීමටත් අවශ්‍ය නම්, ප‍්‍රංශය කළාක් මෙන් නේටෝවට අයත් සෙසු රටවල් ද, තම හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගත යුතු යැයි තලේබාන් සංවිධානය චිකාගෝ නේටෝ සමුළුව අවසන් වූ වහාම අන්තර් ජාලය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කළේය. බින් ලාඩන්ට ආරක්ෂාව දුන් ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන්ගේ පාලනය පෙරළා දමමින් ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ, 2001 වසරේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයෙන් පසුවය. ඇමෙරිකාව ආරම්භ කළ එම යුද්ධයට, නේටෝ සංවිධානයට අයත් සෙසු රටවල හමුදා ද එක්විය. ඇෆ්ගන් යුද්ධයට වසර 9 ක් ගතවී ඇතත් තලේබාන් සටන්කාමීන් පරාජය කිරීමට හෝ ඇෆ්ගනිස්තානයට සාමයක් උදා කිරීමට හෝ ඇමෙරිකාවට හෝ නේටෝවට හෝ තවමත් හැකියාවක් ලැබී නැත. සිරියා අර්බුදය දිනෙන් දින උත්සන්න වෙයි. සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන්ට පෙනි පෙනී බෝම්බ පිපිරේ. නැගෙනහිර සිරියාවේ ඞීර් එසෝර් නුවර හමුදා බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඉකුත් 19 වැනිදා උදෑසන අධි බලැති කාර් බෝම්බයක් පුපුරා ගියේය. එම ප‍්‍රහාරයෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් වී 100 දෙනෙක් තුවාල ලැබූහ. එය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් බව සිරියා ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය. පසුගිය වසරේ මාර්තු මාසයේ සිරියා ජනපති බෂීර් අල් අසාද් සහ ඔහුගේ රජයට එරෙහි විරෝධතා ආරම්භ වී, එය රජයේ හමුදා සහ කැරැලිකරුවන් අතර අවි ගැටුමක් තෙක් දුරදිග යෑමෙන් පසු ඞීර් එසෝර් නගරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර මේ අයුරින් බෝම්බ පුපුරා ගියේ ඩමැස්කස්, හොම්ස් සහ රෆ්තාන් යන නගරවලය. ප‍්‍රහාරය සිදු කළේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් යැයි සිරියා රජය චෝදනා කරද්දී,  කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘දේශපාලන හඬ’ ලෙසින් සැලකෙන ‘සිරියා ජාතික මණ්ඩලය’ ප‍්‍රකාශ කළේ බෝම්බ ප‍්‍රහාරයේ වගකීම සිරියා රජය බාර ගත යුතු බවයි. මේ අයුරින්ම පසුගිය 10 වැනිදා ද ඩමැස්කස් අගනුවර කාර් බෝම්බ දෙකක් පිපිරී ගිය අතර එයින් 55 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 400 කට ආසන්නය. එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන් සිරියාවට පැමිණ සිටින්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අනන් සහ අරාබි ලීගය එක් වී සිරියාවට හඳුන්වා දුන් සාම සැලැස්ම කි‍්‍රයාත්මක වන්නේ දැයි විමසා බැලීමටය. එම සාම සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට සිරියා රජයේත් විපක්ෂ කණ්ඩායම්වලත් සහාය ලබන කැරැලිකාර පාර්ශ්වය කැමැත්ත පළ කර ඇති නමුත් එය එසේ වන බවක් පෙනෙන්නට නැත. කෙසේ නමුත් සිරියා අර්බුදය ද ඇමෙරිකාවේ පැවැති නේටෝ සමුළුවේදී සාකච්ඡාවට ලක්විය. සමුළුව අමතමින් නේටෝ මහ ලේකම් අන්ද්‍රේස් ෆෝග් රස්මුසෙන් කියා සිටියේ ලිබියාවේ අර්බුදයට මැදිහත් වූවාක් මෙන් සිරියා අර්බුදයට හමුදාමය මැදිහත් වීමක් සිදු කිරීමට නේටෝ සංවිධානයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවය. ඔහු මෙසේ කියා සිටියේ නේටෝ සාමාජික රටවල් ද සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවය. බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය සහ හමුදාව විරෝධතාකරුවන් මර්දනය කිරීමට දළදඬු කි‍්‍රයා මාර්ග අනුගමනය කිරීම නේටෝව අනුමත නොකරන බවත්, රජයේ ආරක්ෂක අංශ සහ ආයුධ සන්නද්ධ වී සිටින සිරියා කැරැලිකරුවන් අතර සිදුවන ගැටුම්වලින් අහිංසක සිවිල් වැසියන් මියයෑම අනුමත නොකරන බවත් රස්මුසෙන්, නේටෝ සමුළුව අමතමින් අවධාරණය කළේය. ගැටුම්වලින් සිරියාවේ සිවිල් වැසියන් ඝාතනය වීම ඉතා කනගාටුවට කරුණක්. සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව නේටෝ සංවිධානයේ විශ්වාසයයි. සිරියා අර්බුදයට මැදිහත් වෙන්න නේටෝව සූදානම් නැහැ යැයි ද මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය. සිරියාවේ ගැටුම් හේතුවෙන් 1,200 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. නේටෝ මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටින්නේ, එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන්, සිරියාවට හඳුන්වා දුන් සාම සැලැස්ම රටේ පවතින අර්බුදයට එකම විසඳුම කියාය. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහි විරෝධතා ආරම්භ වූයේ ඉකුත් වසරේ මාර්තු මාසයේදීය. ඒ, ටියුනීසියාවේ ඊජිප්තුවේ සහ ලිබියාවේ විරෝධතා සහ ආණ්ඩු පෙරැුළි ආරම්භ වූ අවධියේදීය. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි, සිය හමුදාව සහ කුලී හේවායන් යොදා එම විරෝධතා මර්දනය කළ අවස්ථාවේදී, ලිබියා විරෝධතාකරුවෝ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් පිරිසක් ලෙසින් රජය සමඟ ගැටුම් ඇති කර ගත්හ. එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කර ගත් යෝජනාවකට අනුව, ඇමෙරිකාවේ ද මැදිහත් වීම මත, නේටෝ ගුවන් හමුදා ගඩාෆිගේ රජයේ හමුදාවලට පහර දුන්නේය. ගඩාෆි මරා දැමීමටත් ඔහුගේ පාලනය අවසන් කිරීමටත් ලිබියා කැරැලිකරුවන්ට හැකිවූයේ ඉන් පසුවය. ගඩාෆිගේ පාලනය අවසන් කිරීමට නේටෝව එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් ගඩාෆිගේ ඥාතීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් නොව ලිබියා සිවිල් වැසියෝ රැසක් ද ජීවිතක්ෂයට පත්වූහ. සිවිල් වැසියන් අමු අමුවේ මරා දැම්මා යැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නේටෝවට චෝදනා එල්ල කරන අතර, නේටෝ ප‍්‍රහාරවලදී සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද පැවැත්වේ.
ලූසිත ජයමාන්න
විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සමුළුවට පැමිණි ජනපති සර්දාරි හිලරි ක්ලින්ටන් හමුවි කර්සායි සහ ඔබාමා හමුව චිකාගෝ පොලිස් නිලධාරිනියෝ විරෝධතාකරුවන්ට පොලිසිය හරස් වෙමින් විරෝධතාකරුවෙක් නේටෝ සමුළුවට එරෙහිව චිකාගෝ නුවර විරෝධතා නේටෝ සමුළුවට පැමිණි රාජ්‍ය නායකයෝ සහ නියෝජිතවරු නේටෝ මහ ලේකම් රස්මු සෙන් ප‍්‍රංශ නව ජනපති  ඕලන්ද් ඇෆ්ගන් ජනපති කර්සායි සමග