අරාබිකරයේ ඒකාධිපති පාලකයින්ට එරෙහිව නැගුණු ජනතා උද්ඝෝෂණයේදී බිඳ වැටුණු දෙවැනි බලකොටුව වන ඊජිප්තුවේ හොස්නි මුබාරක්ගේ පාලන ක‍්‍රමය වෙනුවට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන අදියර තුනකින් යුත් ඡන්ද විමසීමේ පළමු වටය පසුගිය සඳුදා හා අඟහරුවාදා පැවැත්විණි. ජනමාධ්‍ය වාර්තාවල සඳහන් කරන ආකාරයට මුබාරක්ගේ ඒකාධිපති පාලන සමයේ පැවැති ඡන්ද විමසීම්වලදී මෙන් නොව මෙම ඡන්ද විමසීමේදී ඡන්ද දායකයින් මහත් උද්යෝගයකින් සහභාගිවූ අතර එහිදී වඩාත් කැපී පෙණුණේ ස්ත‍්‍රීන්ගේ සහභාගිත්වයයි. දශක තුනකට අධික කාලයක් පැවැති ඒකාධිපති පාලනය වෙනුවට බලපෑමකින් හෝ ඡන්ද වංචා හා දුෂණ වලින් තොරව තමන්ගේ නියෝජිතයින් තෝරා ගැනීමට අවස්ථාවක් ලැබීම පෙබරවාරි මාසයේදී ජයග‍්‍රහණය කළ විප්ලවයේ පලයක් ලෙස බොහෝ දෙනා සලකන්නට ඇත. එහෙත් වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී සිදු වූ ආකාරයට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමත් අකලට හටගත් ඵලයක් මෙන් නිෂ්ඵල වේද යන්නයි. එවැනි සැකයක් මතු වීමට මූලික හේතුව වන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමටත් හය මාසයක් ඇතුළත නිදහස් ඡන්දයක් පවත්වා බලය පවරා දීමටත් පොරොන්දු වූ සන්නද්ධ බල සේනා උත්තරීතර මණ්ඩලය (SCAF) ඒ කිසිත් ඉටු නොකළ නිසාය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්විය යුතු ඡන්ද විමසීම මාස දහයකට පසුව පැවැත්වෙන අතර අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය මුබාරක්ගේ පාලන සමයේ පැවැති තත්ත්වයට වඩා වෙනස් වී නැත. පෙබරවාරි විප්ලවයට නායකත්වය දුන් තරුණයින් හා වෘත්තිකයින් මුබාරක්ගේ පාලනයේ ආරක්ෂක ඇමතිවරයා වූ ෆීල්ඞ් මාර්ෂල් මොහොමඞ් හුසේන් ටන්ටවි කෙරේ විශ්වාසයක් රැඳවූයේද නැත. එහෙත් පැවැත්වෙන කුමන ඡන්ද විමසීමකදී හෝ තමන්ට බහුතර බලයක් දිනාගත හැකියැයි විශ්වාස කරන මුබාරක් පාලනය යටතේ තහනමට ලක්ව සිටි මුස්ලිම් සහෝදරත්වය හමුදා පාලකයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ය. එම නිසා මුබාරක්ගේ පාලනය යටතේ පැවැති ආයතන හා පරිපාලන ව්‍යුහය ඒ ආකාරයෙන්ම පැවතියදී ඔව්හු මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් වුහ. එහෙත් එම විශ්වාසය පළුදු වීමට හේතු වූයේ සන්නද්ධ හමුදාව මහජන නියෝජිතයින්ගේ අධීක්ෂණයට යටත් නොකිරීමට හා ජනාධිපතිවරයා කලින් නියම කර ගත් ආකාරයට ලබන වසරේදී නොව 2013 දී පැවැත්වීමට ටන්ටවි පාලනය සුදානම් බව පලවීමත් සමගය. ඊට විරෝධය පෑමටත් හමුදා පාලනය වහාම ඉවත්වී අන්තර් වාර පාලනයකට බලය පවරන ලෙසත් උද්ඝෝෂණය කිරීමට නැවත වරක් ඉදිරිපත් වූයේ රටේ මුළු ජන සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණ වන තරුණයින්ය. නැවත වරක් වෘත්තිකයින්ගේ සහාය ඔවුන්ට පළවිය. නැවත වරක් තහ්රීර් චතුරශ‍්‍රයේ කූඩාරම් ඉදි වූ අතර ලක්ෂසංඛ්‍යාත පිරිසක් ඊට එකතු වූහ. ටන්ටවි ගේ පාලනය ද එම විරෝධතාවයට ප‍්‍රතිචාර දැක්වූයේ මුබාරක් ප‍්‍රතිචාර දැක්වූ ආකාරයටමය. තහරිර් චතුරශ‍්‍රයෙන් විරෝධතාකරුවන් පළවා හැරීමට ආරක්ෂක හමුදා යෙදවූ අතර ඉන් හටගත් ගැටුම්වලදී රජයේ සංඛ්‍යාලේඛන අනුව 38 ක් මිය ගොස් තවත් 1500 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. විරෝධතාකරුවන් මර්දනය කිරීමට මෙවරද එක්සත් ජනපදයේ නිෂ්පාදිත කඳුළු ගෑස් යොදා ගැණින. වෙනසකට වූයේ මෙවර යොදා ගන්නා ලද කඳුළු ගෑස් පෙබරවාරියේ භාවිත කළ කඳුළු ගෑස්වලට වඩා ප‍්‍රබල වීමය. එංගලන්තයේ පළවන ගාඩියන් පුවත්පත රැස් කරන ලද තොරතුරු අනුව මෙවර විරෝධතාකරුවන් මර්දනය කිරීමට යොදාගෙන ඇත්තේ සී.ඇස්. හා සී.ආර්. නම් රසායන අඩංගු කඳුළු ගෑස්ය. එම ගෑස් නිසා තුවාලකරුවන්ට ප‍්‍රථමාධාර ලබා දීමට තහ්රිර් චතුරශ‍්‍රයේ පිහිටුවා තිබුණ වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කළ වෛද්‍යවරියක් ද මියගියාය. මෙම උද්ඝෝෂණය මර්දනය කිරීමට ප‍්‍රචණ්ඩත්වය යොදා ගත් නිසා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවිය. එක්සත් ජනපදයේ ජනාධිපති ඔබාමා අධිකාරි බලය පවත්වා ගත යුතු බවත් සියලූ පාර්ශ්ව ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් නැවත වරක් අවධාරණය කළේය. සිරියාවේ තත්ත්වය ගැන වඩාත් උනන්දු වන අරාබි ලීගය ඊජිප්තුවේ තත්ත්වය සැලකිල්ලට ගත්තේ නැත. එසේ වුවත් 2013 දක්වා කල් දැමීමට තීරණය කළ ජනාධිපතිවරණය 2012 වසරේ පැවැත්වීමටත් අලූතින් පත් කරන අගමැතිවරයාට වඩාත් වැඩි බලතල ලබාදීමටත් උත්තරිතර මණ්ඩලයේ ප‍්‍රධානි ටන්ටවි එකඟ වූයේය. එහෙත් ඔහු අගමැති තනතුරට පත් කළේ මුබාරක්ගේ පාලන සමයේදී අගමැතිවරයෙකු වූ කමාල් ගන්සුරි ය. දැනට 78 වියේ පසුවන ඔහුට තහ්රිර් චතුරශ‍්‍රයේ උද්ඝෝෂණය කරන තරුණයින් ගේ අපේක්ෂාවන් තේරුම් ගැනීමට හෝ ඊට නිසි ප‍්‍රතිචාර දැක්වීමට හැකියාවක් ඇද්ද යන්න සැක සහිතය. උද්ඝෝෂකයෝ නාමිකව කෙරෙන මෙවැනි වෙනස්කම් ප‍්‍රතික්ෂේප කළහ. මුබාරක්ගේ පාලනය වෙනත් නමකින් පවත්වාගෙන යන උත්තරීතර මණ්ඩලයට ජනතා අයිතිවාසිකම් තහවුරු කිරීමට  ඕනෑකමක් හෝ හැකියාවක් නැති නිසා උද්ඝෝෂකයින්ගේ එකම ඉල්ලීම වූයේ හමුදාව ආපසු බැරැක්ක වලට ගොස් සිවිල් පරිපාලනයකට ඉඩ සැලසිය යුතුය යන්නයි. ඡන්ද විමසීම කල් දැමීම ද ඔවුන්ගේ ඉල්ලීමක් විය. ටන්ටවිගේ පාලනය උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම නොසලකා කලින් නියම කර ගත් ආකාරයට පසුගිය සඳුදා සිට ඡන්ද පැවැත්වීමට පියවර ගත්තේය. ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට ඡන්දදායකයෝ මහත් උනන්දුවකින් ඡන්ද පොළවල් කරා ඇදෙති. අතුරු සිදුරු නැතිව පිරීගිය තහ්රිර් චතුරශ‍්‍රය හිස්ව ඇත. මින් තහවුරු වන්නේ තරුණ උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම නොසලකා ක‍්‍රියාකිරීමට ජනවරමක් හමුදා පාලකයින්ට ලැබී ඇත යන්නද? මෙසේ පවත්වන ඡන්ද විමසීමෙන් සැබෑවටම ජනතා අපේක්ෂාව පිළිබිඹු වන්නේය යන්නද? ඒ කෙසේ වුවත් හමුදා පාලකයින් 1952 දී ගමාල් අබ්දුල් නසාර් රාජ්‍ය බලය පැහැර ගත් දා සිට ඔවුන් සතුව තිබූ අධිකාරි බලය අත හැර දැමීමට සූදානම් නැති බව පැහැදිලිය. ඊට එක හේතුවක් වන්නේ මේ මුළු කාලය තුළම සන්නද්ධ සේවා ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීමෙන් අත්කර ගත් ධනය හා බලය තවදුරටත් පවත්වා ගැනීමට අපේක්ෂා කිරීමය. නොයෙකුත් ව්‍යාපාරික කටයුතුවලින් රැස් කර ගත් ධනය බොහෝ විට හිමි වූයේ හමුදාවේ ඉහළ තනතුරුවල සිටින අයටය. එය අහිමි වීම ඔවුන්ට දැරිය නොහැකි වනු ඇත. දෙවැනි රාජ්‍ය පාලනය සම්පූර්ණයෙන්ම සිවිල් සමාජයට හිමිවුවහොත් බොහෝ හමුදා නායකයින්ට ද මුබාරක්ට මෙන් අධිකරණය ඉදිරියට යෑමට සිදු වනු ඇත. එය බොහෝ දුරට හමුදා අධිකරණයක් නොව සිවිල් අධිකරණයක් විය හැක. මෙය හමුදා නායකත්වය අපේක්ෂා කරන්නක් නොවේ. අනිත් අතට දැනට පැවැත්වෙන ඡන්ද විමසීම සාධාරණව හා අපක්ෂපාතීව සිදුවන්නේ යැයි කිව නොහැක. එම නිසා මැතිවරණයට ඉදිරිපත්වූ නිදහස් මතධාරී පක්ෂයක් වූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තරගයෙන් ඉවත්වීමට තීරණය කළේය. මීට අමතරව ස්වාධීන නිදහස් මතධාරීන් බොහෝ දෙනෙක් හමුදා පාලනය ගැන විශ්වාස කළ නොහැකි නිසා තරගයෙන් ඉවත් වූහ. දැනට තරග බිමේ සිටින්නේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටින නිදහස හා යුක්තිය සඳහා වූ පක්ෂය හා ක‍්‍රිස්තියානි කොප්ටික් ආගමිකයන්ගේ නිදහස් ඊජිප්තු පක්ෂය හා තවත් ස්වාධීන කණ්ඩායම් පමණි. මොවුන් අතුරෙන් මුස්ලිම් සහෝදරත්වයේ අනුග‍්‍රහය ලබන පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකි වුවද ඔවුන්ට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි බව බොහෝ නිරීක්ෂකයෝ පෙන්නා දෙති. හමුදා පාලකයින් මෙන්ම මුස්ලිම් සහෝදරත්වය සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ගරු කරන සමාජයක් ගොඩ නැගීමට උනන්දු වන්නේ යැයි කිව නොහැකිය. මේ දෙකොටසම සුළුතරයක් වන ක‍්‍රිස්තියානි කොප්ටික් ජන කොටසේ අයිතිවාසිකම් වලට ගරු නොකරන බව පසුගිය ඔක්තෝබර් 9 වැනිදා වූ ගැටුම් වලදී පැහැදිලි විය. හමුදා පාලකයින් සැබැවින්ම අයිතිවාසිකම් ගරු කිරීමට සූදානම් නැති බව මනාව ඔප්පු වූයේ එම සිද්ධියෙනි. එම නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තෝරා පත් කර ගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීමට ජනතා සහභාගිත්වය ලැබුණත් එය ඊජිප්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනට පෙරහුරුවක් විය නොහැකිය. තහ්රීර් චතුරස‍්‍රයට නැවත රැස්වු ජනතාව ඡන්ද මධ්‍යස්ථානයක් ඊජිප්තු අගමැති කමාල් ගන්සූරි මාධ්‍යට අදහස් දක්වමින් ඡන්දය ගණන් කරන අවස්ථාවක් ඡන්දය ප‍්‍රකාශ කරමින් අපේක්ෂකයන්ගේ පෝස්ටර් තාප්ප මත අලවා තිබු අයුරු