මියන්මාර ජනාධිපති මිංග් අවුන්ග් ලයිංග් පස් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය රජයෙන් ජනාධිපති මිංග් අවුන්ග් ලයිංග්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. මියන්මාර ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි.

අවුන්ග් ලයිංග්, ජනාධිපති ධුරයේ වැඩ බාර ගත්තේ ඉකුත් අප්‍රේල් මාසයේය. ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය සඳහා ලයිංග් තෝරා ගත්තේ ඉන්දියාවය.

මියන්මාර ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේත්, ඉන්දීය ජනාධිපති ද්‍රෘපදී මුර්මූ අතරේත් හමුවක් පැවැත්විණි. 
මිංග් අවුන්ග් ලයිංග්, මියන්මාරයේ හමුදාපතිවරයාය. 2021 දී ඔහු කුමන්ත්‍රණය කරමින් රටේ බලය අල්ලා ගත්තේ, බලයේ සිටි අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළමිනි. අවුන් සාන් සූ කී චෝදනා රැසකට වරදකාරිය කරමින් බන්ධනාගාරගත කෙරුණි. පසුව ඇය නිවාස අඩස්සියට පත් කෙරුණි.

එම හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඉකුත් අප්‍රේල් මාසයේ මියන්මාරයේ මැතිවරණ පැවැත්විණි. එම මැතිවරණයෙන් ජයග්‍රමණය කළේ හමුදාවට හිතවාදි පක්ෂය. ඒ අනුව, මිංග් අවුන්ග් ලයිංග්, සිවිල් ජනාධිපතිවරයකු ලෙස ජනාධිපති ධුරය බාර ගත්තේය.

මියන්මාර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි සමග ආර්ථික සහ වෙළෙඳ ගනුදෙනු ගැන සාකච්ඡා පැවැත්වීය. ඔහු ඉන්දීය ව්‍යාපාරික ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව සිටි බව වාර්තා වේ.