ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රජයේ ආයතනවලින් අසාධාරණයට ලක්වූවන්ට වන්දි ගෙවීම සඳහා වෙන් කළ ඩොලර් බිලියන 1.8 අරමුදලට ඇමෙරිකන් අධිකරණය හරස් විය.
මෙම වන්දි ගෙවීම තාවකාලිකව තහනම් කරන්නැයි වර්ජිනියා ජනපදයේ, නැගෙනහිර දිස්ත්‍රික් සිවිල් අධිකරණ විනිසුරු ලියෝනි බ්‍රින්කේමා නියෝග කර ඇත.

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව, දේශපාලන පළිගැනීම් මර්දන අරමුදල නමින් මෙම වන්දි ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික බදු වාර්තා නීතිවිරෝධී ලෙස මාධ්‍ය වෙත මුදාහැරීමට එරෙහිව, එරට අභ්‍යන්තර ආදායම් සේවාවට විරුද්ධව ඔහු පවරා තිබූ නඩුවක් සමථයකට පත්කර ගැනීමේ එකඟතාවක ප්‍රතිඵලයක් වශයෙනි.

පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කොමිසමක අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට තිබූ 1.776ක අරමුදල මඟින්, රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කරමින් සිදුකරන විමර්ශන හා දේශපාලන දඩයම්වලට  ලක්වූවන් සඳහා වන්දි මුදල් පිරිනැමීමට සැලසුම් කෙරුණි.

ඊට විරෝධය දක්වමින් අධිකරණය හමුවට ගියේ ට්‍රම්ප් ප්‍රතිවාදීන්ය. ඔවුන් අධිකරණය හමුවේ තර්ක කර ඇත්තේ මෙම අරමුදල සම්පූර්ණයෙන්ම පක්ෂපාතී සහ දේශපාලනික පදනමකින් නිර්මාණය කර ඇති බැවින්, වත්මන් පාලනාධිකාරියේ මතවාදයන්ට එකඟ නොවන සහ ඉන් බැහැරව සිටින අගතියට පත් වෙනත් පාර්ශවයන්ට මෙයින් වන්දි ලබාගැනීමේ අවස්ථාව අහිමි වන බවත්ය‍.