IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


නාස්තියයි - අකාර්යක්ෂමබවයි ආණ්ඩුව පසුබස්සයි

(සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි)
(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුව අවසානයේ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය.

හිටපු රජයේ අති සුවිශේෂී පුද්ගලයකු ඩුබායි බැංකු ගිණුමකට මුදල් බැර කර ඇති බවට වාර්තාගත සාක්කි තමන් සතුව ඇති බව ඔහු කීවේ ය.

ඉක්මනින්ම එම තොරතුරු හෙළි කරන බව කියා සිටි අමාත්‍යවරයා, එම මුදල් ගිං ගඟ-නිල්වලා ගග ව්‍යාපෘතියෙන් අයථා ලෙස ලබාගෙන ඇතැයි චෝදනා නැගුණු මුදල් බව පැවසුවේ ය. දකුණට ගලන මෙම ගංගා ද්විත්වයේ වැඩි ජලය හම්බන්තොට සංවර්ධන කලාපයේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා භාවිතා කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.

ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුවෙන් සියයට 4.3 ක මුදලක් එනම් ඩොලර් ලක්ෂ 299ක මුදලක් චීනයේ සීඒඑම්සීඊ සමාගම සේවය ලබාගැනීම සදහා කුලී පදනම යටතේ ලබාගත් කොන්ත්‍රාත්තුකරුවකුට ලබාදුන්නේ මන්දැයි සම්බන්ධයෙන් දැනටමත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් පවත්වමින් සිටී.

ඩොලර් ලක්ෂ 6900ක වටිනාකමින් යුතු වූ ව්‍යාපෘති ගිවිසුම 2014 නොවැම්බර් මස 05 වැනිදා ජල සම්පාදන සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය සහ චීන සමාගම අතර අත්සන් තැබිණ. එසේ වුවත් ව්‍යාපෘතිය කටයුතු ආරම්භ කිරීම දීර්ඝ කාලයක් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වමින් සිටින විමර්ශනයෙන් අවධානය යොමු කර තිබේ. එවක ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඩොලර් ලක්ෂ 5000ක් විය. මේ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු රාජ්‍ය නිලධරයින් කිහිපදෙනෙකුගෙන්ම දැනටමත් ප්‍රශ්න කර ඇති අතර, චීන සමාගමේ පාර්ශ්වයෙන් ඔවුනට දැනගත හැකිව තිබෙන්නේ එවක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ කොන්ත්‍රාත්තු නිසි අයුරින් නොතිබූ බවය.

අමාත්‍ය සේනාරත්නගේ අනාවරණයත් එය හා බැඳී තිබෙන සිදුවීම් සම්බන්ධයෙන් මේ දක්වාම සාධනීය පියවරක් ගෙන තොතිබීමත් හමුවේ විවිධ විමර්ෂණ ආයතන මහා පාරිමාන වංචා හා දූෂණ අරබයා පවත්වමින් සිටින විමර්ෂණවලට අත්ව තිබෙන ඉරණම නැවත වරක් අවධානයට ලක්වේ. එම විමර්ෂණවල අවසානයක් දැකගත හැකිවනු ඇති ද?, වරදකරුවන් නීතිය හමුවට පැමිණවෙනු ඇති ද? රජයේ විමර්ෂණ ආයතනයන් හා නීතිපති දෙපාර්තමේන්තුව එකිනෙකාට චෝදනා කරගනිමින් සිටීමෙන් අත්ව තිබෙන කිසිදු ප්‍රතිඵලයක් නැත.වංචා හා දූෂණ මර්දනය කරන්නේයැයි පොරොන්දුව පිට බලයට පත්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය අද වන විට ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකරන තරම්ය.

රජයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෝ පවා වංචා, දූෂණ ගැන දැන් අනුගමනය කරමින් සිටින්නේ නිහඩ පිළිවෙතකි. පසුගිය රජය සමයේ රට කරවූ විවිධ පුද්ගලයින්ට එල්ලවී තිබෙන වංචා හා දූෂණ චෝදනා ගෙන හැර දැක්වීමට මේ ඉඩ මදිය.

අමාත්‍ය සේනාරත්නගේ අනාවරණයෙන් විමර්ෂණ කටයුතු අරබයා රජය ලබා තිබෙන ප්‍රගතිය මැනවින් පැහැදිලි වේ. මීට වසර දෙකහමාරකට පෙර, රජය බලයට පත්වූ අවස්ථාවේදීම, මෙම අති සුවිශේෂී පුද්ගලයාට එරෙහිව චෝදනා නැගිණ. එවක විදේශ ඇමැති මංගල සමරවීර මහතා එහි පෙරමුණේම සිටි අතර, මෙම පුද්ගලයා සහ ඔහුගේ පවුල ඩොලර් ලක්ෂ 170ක මුදලක් විදෙස් බැංකුවල තැන්පත් කර ඇති බවට ඔහු චෝදනා කළේ ය.තවත් අවස්ථාවක දී, පසුගිය රජය සමයේ මෙම පුද්ගලයා ළඟින්ම ඇසුරු කර අත්දැකීම් ඇති වර්තමාන රජයේ අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක මහතා, එදා මැතිවරණ සමයේ දී මෙම පුද්ගලයා මැතිවරණ ව්‍යාපාරයන්ට ගෝනි ගණන් මුදල් යෙදවූ බව අනාවරණය කරමින් නම්, වාහන අංක තහඩු, සහ වෙනත් සාක්කි රාශියක් හෙළි කළේය. නමුත් මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වුණු බව හෝ සඳහන් කිරීමට හැකියාවක් නොමැත.

2015 අප්‍රේල් මස 30 වැනිදා, ජනපති සිරිසේන, නීති විරෝධී අයුරින් පවරාගෙන ඇති රජයේ සම්පත් නැවත පවරාගනු වස් විශේෂ ජනපති කාර්යසාධන බළකායක් පත් කළේ ය.ඒ පිළිබඳ ජනපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ ද සඳහනක් විය. මෙම බලකාය සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත විය. බිම්බා තිලකරත්න, එච්.එම්.එල්.ටී. මුදලිගේ, එච්. අමරතුංග, සී.ඒ.එච්.එම්. විජේරත්න, ඒ.කේ.ඩී.ඩී. අරන්දර, එල්.එස්. පතිනායක, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, කල්‍යාණි දහනායක, ජගත් පී. විජේවීර, ඩී.ජී.එන්.ජයවර්ධන, සී.ඒ.ප්‍රේමශාන්ත, ජනපති උපදේශක යසන්ත කෝදාගොඩ, සහ ජේ්‍යෂ්ට නීතිඥ ජේ.සී.වැලිඅමුණ ඔවුහුය. ජනපති ලේකම් පී.බී. අබේකොන් මහතා ද මෙම අවස්ථාවට සහභාගීව සිටියේ ය.

මෙම බළකායේ ඇතැම් සාමාජිකයන් විදෙස් රටවල සංචාරයන් සදහා අති විශාල මුදල් ප්‍රමාණයන් වැය කර තිබෙන බව රහසක් නොවේ. එක් අවස්ථාවක දී කාර්යසාධන බලකායේ සාමාජික පිරිසක් සහ තවත් නිලධාරීන් පිරිසක් අති සුවිශේෂී පුද්ගලයකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් යැයි පැවසුණු ඩුබායි බැංකු ගිණුම්වල තොරතුරු අනාවරණය කරගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට සැරසුණු අතර, නමුත් ඔවුන් කිසිවෙකුත් එමිරේට් රාජ්‍යයේ එවැනි කටයුතු සිදුවන ආකාරය පිළිබද දැන නොසිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස එමිරේට්හි ජ්‍යෙෂ්ඨ නිලධරයන් ශ්‍රී ලංකාව කෙරේ අතිශයින් කුපිත විය. පසුව වරද හඳුනාගෙන, නැවත වරක් ඔවුන්ගේ සහය ලබාගැනීමට ගත් උත්සාහයන් සියල්ල ද ව්‍යර්ථ විය. මෙම සම්පූර්ණ ව්‍යයායමයෙන් කිසිඳු ප්‍රතිඵලයක් නොලැබිණ. විශේෂ ජනපති කාර්යසාධන බළකාය හා සමීප ආරංචි මාර්ගයකට අනුව මේ දක්වා ගෙවී ඇති කාලයේ එකදු අවස්ථාවක වර්තමානයේ තියා පසුගිය රජය සමයේ හෝ, අයථා ලෙස රාජ්‍ය දේපල අත්පත් කරගෙන සිටින දේශපාලඥයකු හෝ රජයේ නිලධරයකු හෝ පිළිබදව තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකිව තිබේ.

මේ හමුවේ රජයේ විශ්වසනීයත්වය කෙරෙහි ගැටලු මතුවේ. විමර්ෂණ ආයතනයන්ට සහ ජනපති විශේෂ කාර්ය බළකායට, මෙම අති සුවිශේෂී පුද්ගලයාගේ ඩුබායි බැංකු ගිණුම් පිළිබද තොරතුරු අනාවරණය කරගත නොහැකිව හෝ තිබෙන අල්ප සාක්කි ප්‍රමාණය මත ඉදිරියට යා නොහැකිව වසර දෙකකට අධික කාලයක් ගෙවී තිබෙන අවස්ථාවක, රජයේම අමාත්‍යවරයකු, ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කැබිනට් මණ්ඩල හමුවක දී කියා සිටින්නේ තමන් සතුව එම අති සුවිශේෂී පුද්ගලයාගේ ඩුබායි බැංකු ගිණුම්වල තොරතුරු තිබෙන බවය.

සේනාරත්නගේ අනාවරණය ඔහුගේ අමාත්‍ය සගයන් පමණක් නොව රටේ සාමාන්‍ය ජනතාව පවා භාරගනු ඇත්තේ කිසිඳු ප්‍රතිඵලයක් නොලැබෙන දෙයක් ලෙස මෙන්ම රටේ අවධානය වෙනතක යොමුකිරීමට ගත් උත්සාහයක් ලෙසය. ඔහුටම එරෙහිව නැගී තිබෙන ඇතැම් චෝදනා නිසා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම අමාත්‍ය සේනාරත්නගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින අතර, එම ඇතැම් චෝදනා සම්බන්ධයෙන් ඔහු කිසිදු ප්‍රකාශයක් පවා සිදුකර නොමැත. ඩුබායි බැංකු ගිණුම් තොරතුරු තමන් සතුව ඇතැයි සේනාරත්න කරන ප්‍රකාශය සුරංගනා කතාවක් යැයි මෙයින් කිසිසේත්ම අදහස් නොකෙරේ. පදනම් සහගත සාක්කි ඔහු සතුව තිබෙන්නට හැකි වුවත් ගැටලුව වන්නේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා විමර්ෂණයක් නොපැවැත්ව ඇත්තේ ඇයි ද යන්නය.එවන් විමර්ෂණයක් පැවැත්වුණ ද, මහා පරිමානයෙන් සිදුකැරුණු විමර්ෂණයන්ගෙන් අනාවරණය කරගත නුහුණු තොරතුරු එයින් අනාවරණය කර ගත හැකිවනු ඇතිදැයි යන්නය.

මෙය පමණක් නොව පුළුල් පරාසයක විහිද තිබෙන ගැටලු රාශියක් හමුවේ රජය කෙරේ ඇති ජනතා විශ්වසනීයත්වය බරපතළ ලෙස පහත ගොස් තිබේ. උදාහරණයක් ලෙස කොළඹ හා රටේ ප්‍රධාන නගරවල මේ දිනවල උද්ගතව ඇති කැළිකසළ අර්බුදය දැක්විය හැකිය. වගකිව යුතු ආයතන සිටින්නේ එකිනෙකාට චෝදනා කරගනිමින්ය. එකතුවන කැළිකසළ වහාම බැහැර කිරීම සදහා කිසිඳු හදිසි පියවරක් ගෙන නොමැත. අනෙක් පසින් අනවසර කලාපවල කැළිකසළ බැහැර කරමින් සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් පොලිසිය, හමුදාවේ ද සහය ඇතිව ආරම්භ කර ඇත.

නීතිය රක්ෂා කළ යුතු වීමේ කිසිදු ගැටලුවක් නැත.නමුත් හමුදාව යොදාගෙන සිදුකැරෙමින් තිබෙන දැඩි මර්දනය හමුවේ නිතැතින්ම ගැටලුවක් නැඟේ. මෙසේ සිදුවෙමින් තිබෙන්නේ කාගේ නියමයෙන් ද? කැළිකසළ බැහැර කිරීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් පැවැතුණි නම් මෙළෙස නගර පුරා, වීදි පුරා කසළ ගොඩගැසෙන්නේ නැත.රට වෙලාගෙන තිබෙන ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ මෙයමය.

සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේම අමාත්‍යංශ්‍යට අනුව මේ වන විට ඩෙංගු රෝගය නිසා පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් දසදහස් ගණනක් රෝගාතුරව සිටී. ඩෙංගු මදුරු වාසස්ථාන පැවැතුණි යැයි බරපතළම චෝදනා නැගී ඇත්තේ රජයේම දෙපාර්තමේන්තු කිහිපයකට එරෙහිවය.

“වීදිවල තිබෙන කුණු ගොඩවල් තමයි මේ දවස්වල ඔබගේ අලුත්ම සංචාරක ආකර්ෂණය.ඒත් ඔවුන් එන්නේ නැහැ.මොකද ඩෙංගුවලට බය නිසා.“ පසුගිය දිනෙක බටහිර රාජ්‍යතාන්ත්‍රිකයකු රජයේ කැබිනට් අමාත්‍යවරයකු සමග කියා සිටියේ එලෙසය.

නිතරම පැවැත්වෙන විරෝධතා නිසා රටේ ආර්ථික මර්මස්ථානය වන කොළඹ මහාමාර්ග අවහිර වීම තවත් ගැටලුවකි. සෞඛ්‍යය අමාත්‍යංශයට කඩාවැදුණු සරසවි විරෝධතාකරුවන් පළවා හැරීම සඳහා බැටන් ප්‍රහාර එල්ල කිරීමට ගෙවුණු සතියේ පොලිසියට සිදුවිය. අපතේ යන මිනිස් පැය ගණන, අහිමිවන වෙළෙඳ හා ව්‍යාපාරික අවස්ථා ගණන, ජනතාවගේ එදිනෙදා කටයුතුවලට එල්ල වන බාධාව, ආදී කිසිවක් මෙම විරෝධතාකරුවන්ගේ සැලකිල්ලට ලක්ව නොතිබිණ. වැඩවර්ජන අතරින් නවතම වන්නේ පසුගිය සතියේ ඇරඹි තැපැල් සේවක වැඩවර්ජනය ය.

ජල සම්පත අහිමි වෙමින් තිබෙන්නේයැයි ද, තම නිවාස විනාශ වෙමින් තිබෙන්නේයැයි ද කියමින් බණ්ඩාරවෙල දහස්ගණනක් ජනතාව පසුගියදා දියත් කළ විරෝධතා ව්‍යාපාරය හමුවේ පානීය ජල සම්පත අහිමිවීමේ අවදානම වඩාත් තීව්‍රව දැනෙන්නට ගෙන ඇත. මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව ලෙස සැලකෙන්නේ උමා ඔය ව්‍යාපෘතිය යටතේ කදුකරයේ ජලය දකුණ දක්වා ගෙනයාමට තැනෙන විශාල උමගක ඉදිකිරීම්ය. දැන් කදුකරයේ ජලය නොමැත. තිබුණු ජලය හෝ දකුණට ලැබී ද නැත.මේ ව්‍යසනය සම්බන්ධයෙන් සභාග රජයේ නායකයන් එකහෙළා චෝදනා නගමින් සිටින්නේ පසුගිය රෙජීමයටය. ඔවුනට අවැසි ද එයය. එහෙත් තමන් බලයට පත්ව මාස 30ක් ගතවූ බවද, එම සමයේ හෝ මෙවන් තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට පියවර නොගත් බවද, නගන චෝදනා හමුවේ ඔවුනට අමතකය.

“අපි ගොඩක් වැරදි කර තිබෙන බව ඔවුන් කියා සිටි හින්දයි ජනතාව ඔවුන්ව බලයට පත්කර ගත්තේ. දැන් අපිට බැන්නා කියලා වැඩක් නැහැ. ඔවුන් මොනවද කරලා තියෙන්නේ ?”

ඒකාබද්ධ විපක්ෂයේ මුල් පෙළ සාමාජිකයෙක් නම් සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.බස් ගාස්තු ඉහළ නංවා තිබෙන අතර ගෘහස්ථ ගෑස් මිල ද ඉහළ දැමීමට නියමිතය. මේ සියලු දේ අතරම රටේ නීතිය හා සාමය ද ක්‍රමයෙන් විනාශය කරා යමින් තිබෙන්නේය.

මෙම කරුණු සියල්ල රජයට එරෙහිව පහර ගැසීමට විපක්ෂයට ඇති කදිම අවස්ථාවන්ය. නමුත් දේශපාලනික වශයෙන් ඔවුන් ඒවා භාවිතයට ගැනීමේ යම් මන්දගාමී බවක් දැකගත හැකිය. රටේ ධනය විනාශ කරන රාජ්‍ය ආයතන රජය මත පැටවී තිබෙන තවත් බරක් වන අතර, ශ්‍රී ලන්කන් ගුවන්සේවය ඒ අතරින් ප්‍රධානය. එයාර්බස් ඒ 350--900 වර්ගයේ ගුවන්යානා හතරක් මිලයට ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමත්, එම ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු කිරීමත් හමුවේ රටට සිදුව තිබෙන අලාභය පසුගිය සතියේ මෙම තීරුවෙන් සවිස්තරව විස්තර කැරිණ. එහි ඇතැම් කරුණු උපුටා දක්වමින් ශ්‍රී ලන්කන් සභාපති අජිත් ඩයස් ප්‍රතිචාර දක්වා තිබේ.

(ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම පසුගිය සතියේ ලිපියට අප වෙත එවූ පැහැදිලි කිරීමත්, ඊට සන්ඬේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂකගේ ප්‍රතිචාරයත් ළඟදීම පළවෙයි.)


තවත් බිලියන ගණනක් ශ්‍රී ලන්කන්ට
ශ්‍රී ලන්කන් මෙහෙයුම් පවත්වාගැනීම සඳහා සහන ලිපි භාවිතා කර මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් මුදල් ලබාගැනීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා උත්සාහ කරමින් සිටී. පසුගිය වසරේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලන්කන් පවත්වාගෙනයෑම සඳහා කෙටි කාලීන ණය පහසුකම් ඉහත බැංකුවලින්ම ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබාගත්තේ ය. එසේ ලබාගත් ණය මුදල, ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 12.90 ක් සහ මහජන බැංකුවෙන් රුපියල් බිලියන 13.35 ක් විය. මෙම ණය මුදල් ලබාගැනුනේ 2016 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව සඳහන් වූ සහන ලිපි මාර්ගයෙන්ය. පසුව අමාත්‍යවරයාම මැදිහත්ව 2016 දෙසැම්බර් මස 20 වැනිදා එම කාලසීමාව තවත් දීර්ඝ කළේය. රටේ බදු ගෙවන ජනතාවගේ රුපියල් බිලියන ගණනක මුදලක් ගරා වැටෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගොඩනැගීම සදහා මාස 12ක වාරික යටතේ ගෙවීමට නියම වූයේ මෙලෙසය. මහා පරිමාණ වැටුප් ගෙවීම් සඳහා මෙන්ම මෙහෙයුම් පිරිවැය සපුරා ගැනීම සඳහා මෙම මුදල් යොදවා ගැනීමට නියමිත විය. රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාවයක් ඇතිකරගන්නා තෙක් ශ්‍රී ලන්කන් පවත්වාගෙන යෑම සඳහා මුදල් යෙදවීමට සිදුවන බව එවක මුදල් අමාත්‍යවරයාව සිටි කරුණානායක කීවේය.

හෂීම්ගේ නවතම ඉල්ලීමට අනුව, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වන “ක්‍රමෝපායික සම්බන්ධතාවයක් සදහා පාර්ශවකරුවකු සොයාගැනීමේ කටයුතුවල රජය නියැළී සිටින හෙයින්” එම “කටයුතු අවසන් වන තෙක් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා ආධාර අවශ්‍යය.” ඒ අනුව ඉහත සදහන් කැරුණු සහන ලිපි, එම අගයන් යටතේම, 2017 ජූලි මස 1 වැනිදා සිට වසරක කාලයක් දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කරන මෙන් ඔහු ඉල්ලා ඇත. මෙයින් පැහැදිලි වන්නේ ලබන වසරේ ජූලි මාසය වන තෙක් මෙම රාජ්‍ය බැංකු ද්විත්වය ශ්‍රී ලන්කන් පවත්වාගෙන යෑම සඳහා තවත් රුපියල් බිලියන ගණනක් පොම්ප කරනු ඇති බවය. පසුගිය වසරේ ශ්‍රී ලන්කන් සදහා පාර්ශවකරුවකු සොයාගත නොහැකි විය.මෙම වසරේ ද, පාර්ශවකරුවකු සොයා ගැනීම හෝ නොගැනීම කෙසේවෙතත්, මෙම යෙදවෙන මුදලේ බර පැටවෙන්නේ රටේ ජනතාව මතටය.

රජය හමුවේ ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකි. ආගාධයට යමින් පවතින රටේ ආර්ථිකයේ ගමන මෑත සමයේ ආපදා තත්ත්වය හමුවේ තවත් වේගවත්ව ඇත. අලාභ ලබන ශ්‍රී ලන්කන් වැනි ආයතනවලට මුදල් පොම්ප කරන අතරම, පුනරුත්ථාපන කටයුතු සඳහා මුදල් උපයා ගැනීමට දානපති සමුළු පැවැත්වීමට රජය යොමුව තිබේ. මේ සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට සහ අන්තර්ජාතික සංවිධානවලට ආරාධනා කිරීමට නියමිතය. ස්වභාවික විපත් නිසා රටට සිදුව ඇති හානිය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීමටත්, ආධාර ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටත්, රජය අපේක්ෂාවෙන් සිටී.


රබර් හිඟය
මෑතකදී අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටු හමුවක දී ස්වභාවික විපත් නිසා සිදුව ඇති හානියේ ප්‍රමාණය කොපමණදැයි අනාවරණය විය. විපත් නිසා රබර් ගස් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශව තිබෙන බවද, එහි ප්‍රතිඵලයක් ලෙස වෙළදපළේ ස්වභාවික රබර් හිගයක් ඇතිව තිබෙන බවද, හෙළි විය. මේ හමුවේ දරුණු ලෙසම පහර වැදී ඇත්තේ ටයර් නිෂ්පාදන කර්මාන්තයටය.

පිළියමක් ලෙස රාජ්‍ය වෙළද සංස්ථාව භාරයේ රබර් මෙටි්‍රක් ටොන් 1000ක් මෙරටට ආනයනය කිරීමට තීරණය විය. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශය මත මාස 3-4 කාලයක් දක්වා මෙසේ රබර් ආනයනය කිරීමට නියමිතය. අමාත්‍යංශ ලේකම්වරයාගේ නිර්දේශය මත අදාළ නිෂ්පාදකයන්ට මෙම රබර් නිදහස් කිරීම රාජ්‍ය වෙළෙද සංස්ථාව සිදුකරනු ඇත. දේශීය රබර් මිලට වඩා පහළ මිලක් නොගන්නා පරිදි ආනයනික රබර් මත පැනවිය යුතු රේගු බදු නීර්ණය කිරීම මුදල් අමාත්‍යංශයට පවරා දීමට ද තීරණය කර තිබේ.

ගංවතුරින් ආපදාවට පත්වූ එක් එක් ප්‍රදේශවලට අමාත්‍යවරයා බැගින් අනුයුක්ත කර එම ප්‍රදේශවලට අදාළව පුනරුත්ථාපන වැඩසටහන සකස් කිරීමේ වගකීම ඔවුන් වෙත පවරා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇත. ඔවුන් එකිනෙකා ලබාදෙන වාර්තා එක්කර සකස් කැරෙනු ඇති තනි වාර්තාවක් දානපති සමුළුවේ දී බෙදා හැරීමට නියමිතය. පුනරුත්ථාපන කටයුතු හා සමානව තවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන කටයුත්තක් වන්නේ නායයෑම් අවදානම් කලාපවල පදිංචිව සිටින ජනතාවට නිවාස ඉදිකරදීමය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංස්ථාව සිදුකර ඇති විමර්ෂණයකට අනුව දිස්ත්‍රික්ක 9කට අයත් නිවාස 14,860ක් ඉදිකර තිබෙන්නේ නායයෑම් අවදානම ඇති කලාපවලය. මෙම නිවාසවල හිමිකරුවන්ට නව ඉඩම් මිලදී ගැනීමට සහ නව නිවාස ගොඩනගා ගැනීම සඳහා ආධාර ලබාදීම රජයේ අරමුණය.

සේනාරත්නගේ අනාවරණය කෙසේවුවත්, නිල මට්ටමින් ගතයුතු පියවරයන් සම්පූර්ණ කිරීමෙන් පසු ගිං-නිල්වලා ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට රජය කටයුතු කරනු ඇත. ව්‍යාපෘති කටයුතු දියත් කිරීම සඳහා රජය ඩොලර් ලක්ෂ 6900ක ණය ආධාර අපේක්ෂාවෙන් සිටින අතර, බොහෝ විට මෙම ණය මුදල චීනයෙන් ලබාගැනීමට හැකිවනු ඇත.

පසුගිය සතියේ සිදුවීම් සැලකිල්ලට ගත්විට නිකරුණේ මුදල් යෙදවෙන අංශ හදුනාගැනීමේ සහ ඒ පිළිබද අවධානයෙන් සිටීමේ සමත් රාජ්‍ය යාන්ත්‍රණයක් නොමැති බව මනාව පැහැදිලි වේ. එවැනි යාන්ත්‍රණයක් තිබුණේ නම් එලෙස නාස්ති වන මුදල් සංවර්ධන කටයුතුවලට හෝ, මෙම අවස්ථාවේදී නම්, පුනරුත්ථාපන කටයුතුවලට හෝ යොදාගත හැකිව තිබුණි.

පාත්තරය රැගෙන විදෙස් දානපතියන් හමුවට යෑමට රජයට සිදුව තිබෙන්නේ මේ නිසාය. නාස්තිය අවම කරගත හැකිනම් ලැබෙන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගැනීම අපහසු නැත.



අදහස් (1)

නාස්තියයි - අකාර්යක්ෂමබවයි ආණ්ඩුව පසුබස්සයි

de silva Tuesday, 04 July 2017 11:19 PM

ජනතාවට පොරොන්දු වූ පරිදි ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ සිටි හොරු අල්ලන්නේ නැතිනම් , ලබන පලත්පලන් චන්දෙදි ආණ්ඩුවට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3814 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3689 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 8319 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1812 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 561 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 716 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 164 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 254 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site