වසරින් වසර, ගෑස් මිල ඉහළ පහළ යාම සිදුවන්නේය. ගෑස් මිල ඉහළ ගියවිට පාරිභෝගිකයා අපහසුතාවට පත්වන්නේය. පරිභෝජන ආහාර බොහොමයක මිල වැඩිවීම් සිදුවන්නේය. තේ කෝප්පයේ සිට බත් පැකට් එක දක්වා මෙය බලපාන්නේය.   
 
මෙම හේතුන් නිසාම ගෑස් සමාගම් හා පාරිභෝගික සේවා අධිකාරිය මිල සූත්‍රයකට අනුව ගෑස් මිල පාලනය කරමින් උච්චාවචනය කිරීම සිදුකරන්නේය.  
 
පාරිභෝගි සේවා අධිකාරි පනතෙහි 14 වන වගන්තිය යටතේ නිෂ්පාදකයන් හා වෙළෙන්දන් සමග ගිවිසුම්වලට එළඹීමේදී, නිෂ්පාදන රටාවන්, මිල ප්‍රවණතා, වෙළෙඳපොළ තත්ත්වයන් සහ ජාත්‍යන්තර මිල ගණන් පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සිදුකරන්නේය.   
 
එහිදී මිලකරණ යාන්ත්‍රණය නියාමනය කිරීමේ බලය 2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරි පනත මගින් ලබාදී ඇත්තේය.   
 
අංක 14 වගන්තිය යටතේ භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීම සඳහා ගිවිසුම්වලට එළඹී ඇති අතර අංක 18 වගන්තිය යටතේ නිශ්චිත භාණ්ඩවල මිල සංශෝධනය කිරීම සඳහා අධිකාරියෙහි පූර්ව ලිඛිත අනුමැතිය ලබාගැනීම සිදුකළ යුත්තේය.   
 
වගන්ති අංක 19 සහ 20ට අනුව ගැසට් පත්‍රයක පළ කරන නියමයක් මගින් උපරිම මිලක් නියම කිරීම සිදුකරනු ලබන්නේය.   
 
මෙවැනි නෛතිකමය රාමුවක් යටතේ ගෑස් මිල උච්චාවචනය වීම සිදුවේ. එය පසුගිය වසරවලට සාපේක්ෂව මෙසේය.   
 
ලංකාවේ ගෑස් පාරිභෝගිකයන්ට ගෑස් සපයන ප්‍රධාන සමාගම් දෙක වන්නේ ලිට්රෝ හා ලාෆ් ගෑස් සමාගම්ය. මෙම ගෑස් සමාගම් දෙක අතුරින් ගෑස් වෙළෙඳපොළ තුළ 72% ක ගෑස් ඒකාධිකාරය හිමිකරගෙන සිටිනුයේ ලිට්රෝ ගෑස් සමාගමය. 2010 වසර වනවිට මෙම ගෑස් සමාගම් දෙකේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිලෙහි යම්කිසි වෙනසක් තිබුණේය. එය ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු. 1652ක් ලෙසින් හා ලාෆ් ගෑස් සිලින්ඩරයක් රු. 1520 ලෙසින් විය.   
 
එහෙත් 2011 වසරේ දෙසැම්බර් සිට මෙම මිලෙහි වෙනස නැතිවී ගියේය. එනම් ගෑස් සමාගම් දෙකම රුපියල් 2046ක් වැනි මුදලකට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය අලෙවි කළේය. 2012 වසරේ අග භාගය වනවිට සමාගම් දෙකේම ගෑස් සිලින්ඩරයක මිල රු. 2246ක් විය. එය 2013 වසරේ රු. 2796ක් ලෙසින් ද 2014 වසරේ රු. 2146ක් වශයෙන් ද වූ අතර ආණ්ඩු මාරුවත් සමග රු. 1346 දක්වා මිල පහත වැටුණේය.   
2016 වසර වනවිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 1321ක් වූවේය. ක්‍රමක්‍රමයෙන් මිල පහළ ගිය ගෑස් සිලින්ඩරය 2017 වසරේ සැප්තැම්බර් සිට රු. 1431 දක්වා වැඩි වූවේය. 2018 පෙබරවාරි මාසය පැමිණ ඇත. මේ වනවිට ලාංකීය ගෑස් සමාගම් විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලෙහි වෙනසක් ඇති කළ යුතු බවට යෝජනා දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියට ඉල්ලීම් සිදුකර ඇත.   
 
එම ඉල්ලීම් සිදුකිරීම සඳහා බලපෑ හේතු සාධක පිළිබඳ කතා කිරීමට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි සහ ආයතනික සම්බන්ධතා අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා සම්බන්ධ කරගත් අතර, සැබැවින්ම මිලෙහි වෙනසක් සිදුකරනවා ද යන්න පිළිබඳ දැනගැනීමට පාරිභෝගික සේවා අධිකාරියෙහි සභාපති හසිත තිලකරත්න මහතා සම්බන්ධ කරගත්තෙමු.   
 
 
ගෑස් මිල අඩු - වැඩිවීම
 
    
   ලිට්රෝ ගෑස් ලාෆ් ගෑස් 
2010 නොවැම්බර්  රු. 1652 රු. 1520
2011 දෙසැම්බර් රු. 2046 රු. 2046 
2012 දෙසැම්බර් රු. 2046 රු. 2046
2013 දෙසැම්බර්  රු. 2796 රු. 2796 
2014 දෙසැම්බර් රු. 2341 රු. 2341 
2015 නොවැම්බර්  රු. 1346 රු. 1346
2016 නොවැම්බර් රු. 1321 රු. 1321
2017 සැප්තැම්බර් රු. 1431  රු. 1431

 

 
  
චමින්ද එදිරිවික්‍රම - අධ්‍යක්ෂ අලෙවි සහ ආයතනික සම්බන්ධතා ලිට්රෝ ගෑස් සමාගම  
 
“එල්.පී. ගෑස් කියන භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදියට ගැසට් කරලා තිබෙනවා. ඒ වගේම එය මිල පාලනය කළ භාණ්ඩයක්. ඒ නිසා සමාගම්වලට අවශ්‍ය විදියට මිලක් තීරණය කරන්න බෑ. ගෑස්වල මිල පිළිබඳ තීරණය කරන්නේ පාරිභෝගික සේවා අධිකාරිය මගින්. එහිදී පාරිභෝගිකයා සහ ආයතනය යන දෙපැත්තම පිළිබඳ සලකා බලා මිල තීරණය කිරීම සිදුකරනවා. මෙම ක්‍රියාවලිය සඳහා ක්‍රමවේදයක් තිබෙනවා. ගෑස් පිළිබඳව ආයතන දෙකක් ක්‍රියාකාරී වෙනවා. මේවාට මිල සූත්‍රයක් තිබෙනවා. (ඒත් එය දැනට ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේ නෑ.)  
 
මෙම මිල සූත්‍රයට අනුවයි මිල අඩු වැඩිවීම් සිදුවන්නේ. මෙහි කාරණා කීපයක් තිබෙනවා. පළවෙනි එක තමයි, ලෝක වෙළෙඳපොළේ ගෑස්වල මිල. දෙවැනි සාධකය වන්නේ නැව් ගාස්තුව. ලංකාවේ ගෑස් නිෂ්පාදනය සියයට 2ක් පමණ වෙනවා. ඉතිරිය ආනයනය කිරීමයි සිදුවන්නේ.  
 
ගෑස් ගේන්නේ නැව්වලින්. ඒ නිසා නැව් ගාස්තු ගෙවීම සිදුවෙනවා. නැව් ගාස්තුත් කාලයෙන් කාලයට මිල උච්චාවචනයට ලක්වෙනවා.  
 
මීට අමතරව ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරියත් සමග මිල සූත්‍රය අනුව එකඟතාවකට ඇවිත් තිබෙනවා ආයතනයට තබාගත හැකි ලාභ මට්ටම පිළිබඳව. මීළඟට ගෑස් ප්‍රවාහනය, ගෑස් ගබඩා කිරීම, ගෑස් බෙදාහැරීම, විකිණීමේ නියෝජිත මහත්වරුන්ගේ වට්ටම් වැනි කාරණාත් නියත වශයෙන් පවතින දේවල්.  
 
මේ අනුව ආයතනයේ ලාභය සහ බෙදාහැරීම සහ නියෝජිතවරුන්ගේ ලාභ කොටස් වෙනස් නොවන නියතයන් වෙනවා. වෙනස් වන කාරණා දෙක වන්නේ නැව් ගාස්තුව සහ ලෝක වෙළෙඳපොළ මිල ගණන්.  
මේ කියන සාධක හතර මත තමයි මීට වසර 8කට කලින් මිල සූත්‍රය හඳුන්වාදී තිබෙන්නේ. මේ මිල සූත්‍රය අනුව ගෑස් වෙළෙඳාම් කරන සමාගම් දෙකට අයිතියක් තිබෙනවා ඉහතකී වෙනස්වන සාධක හතර අනුව මාස දෙකකට වරක් ගෑස් අලෙවිය සඳහා ලැබිය යුතු මිල මෙයයි ලෙස පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් කිරීමට.  
 
එම අයිතිය පදනම් කරගෙන මාස දෙකකට සැරයක් මිල වෙනස් කිරීම් පිළිබඳ ඉල්ලීම් කරනවා. එය ආයතන සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලියක්. ඉන් මිල වැඩිවෙන්නත් පුළුවන්. මිල අඩුවෙන්නත් පුළුවන්. හේතුව ලෝක වෙළෙඳපොළ මිල මාස කීපයක් අඩුවෙනවා. මාස කීපයක් වැඩිවෙනවා. නැව් ගාස්තුත් ඒ හා සමානව අඩු වැඩි වෙනවා.  
 
ඒ අනුවයි අපි ඉල්ලීම් කරන්නේ. මෙම තත්ත්වයන් යටතේ මිල වෙනස්වීම පිළිගන්නවා ද? නැද්ද? යන තීරණය පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගත යුතුයි. අපි ඉල්ලීමක් විතරයි කරන්නේ. තීරණය ගන්නේ පාරිභෝගික සේවා අධිකාරියයි.  
 
මේ ක්‍රියාවලියයි අපි පෙබරවාරි මාසයේ සිදුකළේ. මෙම තත්ත්වයන් ගලපාගෙන පාරිභෝගික සේවා අධිකාරිය ක්‍රියාත්මක විය යුතුයි. එසේ සිදුනොවූ විට ආයතන පවත්වාගෙන යාමේ ගැටලු ඇතිවෙනවා.  
ලංකාවේ ගෑස් නිෂ්පාදනය කරනවා නම් මේ ප්‍රශ්න අඩුයි. ඒත් ගෑස් වැඩි ප්‍රතිශතයක් ආනයනය කරන නිසා ලෝක වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත්විය යුතු වෙනවා. ගෑස් කියන්නේ බොරතෙල්වල අතුරු ඵලයක්. බොරතෙල් මිල උච්චාවචනයයි ගෑස් මිල ගණන් පිළිබඳ බලපාන්නේ.  
 
ඒ වගේම ඉන්දියාව, චීනය වගේ රටවල ගෑස් පරිභෝජනය වසරින් වසර වැඩිවෙනවා. ඒ ඉල්ලුම වැඩිවීමත් සමග සැපයුම වැඩි නොවන නිසා මිල වැඩිවීමක් සිදුවෙනවා.  
 
ඒ වගේම යුරෝපයේ සීත කාලවලදී ගෑස් ඉල්ලුම වැඩිවෙනවා. ඒ කාලය පහුවුණාම ඉල්ලුම අඩුවෙනවා. එවැනි තත්ත්වයනුත් ගෑස් මිල උච්චාවචනය වීම පිළිබඳ බලපානවා. මේ ලෝක තත්ත්වයන් සමග ලංකාව ගනුදෙනු කිරීමේදී ප්‍රමාදවීමකින් තොරව තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවන් තිබෙනවා.”  
 
 
හසිත තිලකරත්න - සභාපති පාරිභෝගික සේවා අධිකාරිය  
 
“ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසයි සලකන්නේ. නිශ්චිත භාණ්ඩයක මිලෙහි වෙනසක් කරනවා නම් ඒකට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුයි.  
 
සාමාන්‍යයෙන් ව්‍යාපාරික ආයතන මිල වැඩිවීම් ඉල්ලලා අයැදුම්පත්‍ර එවනවා. ඒක අපි සලකා බලලා ඉල්ලීම සාධාරණ ද නැද්ද කියලා තීන්දු කරනවා. එය සිදු කරන්නේත් අපේ කමිටුවලට දාලා සාකච්ඡා කරලයි.  
 
ගෑස් කියන්නේ අපි අවධානයෙන් ඉන්න ඕන දෙයක්. මිනිහෙක්ගෙ තේ කෝප්පේ, ආප්පේ ඉඳන් මිල වැඩිවීම් වෙනවා ගෑස් ප්‍රශ්නේ නිසා. එය පාරිභෝගිකයාට ලොකු අවාසියක්. එයත් සැලකිල්ලට අරගෙන තමයි අපි නිර්දේශ ඉදිරිපත් කරන්නේ.  
 
මේ වනවිට ගෑස් ආයතන මිලෙහි වෙනස්වීමක් පිළිබඳ ඉල්ලුම් කර තිබුණත් අපි අවසන් තීන්දුවක් අරගෙන නෑ. ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය සලකා බලමින් පවතිනවා.”  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
සටහන - කුමාරි හේරත්