සාකච්ඡාවට බඳුන්ව තිබෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශ වූවද එය සිදු නොවීය. මෙවැනි පනත් කෙටුම්පතක් රජය මගින් සකස් කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පනවා තිබෙන බලහත්කාරයෙන් අතුරුදන් වූ පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකා රජය ද අස්සන් තැබූ නිසාය. 


මේ සම්මුතිය මුලින්ම ඉදිරිපත් වුණේ 2009 වර්ෂයේදී පමණය. වෙනත් රටවල් ඊට අස්සන් කළද ශ්‍රී ලංකාව ඒ අවස්ථාවේදී ඊට අස්සන් නොකළේ රටේ යුද්ධය තිබුණු නිසාය. කෙසේ වෙතත් යුද්ධය අවසන් වීමෙන් පසු 2015 වසරේ දී ශ්‍රී ලංකා රජය මේ සම්මුතියට අස්සන් කළේය. අපේ රට කිසියම් ප්‍රඥප්තියකට අස්සන් කළහොත් එය රට ඇතුළේ බලාත්මක කිරීමට නම් නීති පැනවිය යුතුය. මේ ක්‍රමය තවත් රටවල් කීපයක ක්‍රියාත්මක වෙයි. මේ වන විට සාකච්ඡාවට බඳුන්ව තිබෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පෙර සඳහන් කළ ශ්‍රී ලංකාව අස්සන් කළ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කර තිබෙන පනත් කෙටුම්පතයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළව මීට ඉහත දී සිදු කළ මහජන අදහස් විමසීම්වල දී ද බහුතරයක් දෙනා ප්‍රකාශ කොට සිටි කාරණයක් වූයේ ශ්‍රී ලංකා රජය විටින් විට අස්සන් තබන ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාළ නීති කඩිනමින් පැනවිය යුතු බවය. පසුගිය කාලයේ දී ආණ්ඩුව අස්සන් තැබූ විවිධ ජාත්‍යන්තර ගිවිසුම් බලාත්මක කිරීමට අදාළ අණ පනත් පැනවූයේ නැත. ඇතැම් අවස්ථාවල එවැනි පනත් ගෙන ආවද ඒවායෙහි අඩුපාඩු රැසක් තිබිණි. බලතල සම්බන්ධයෙන් ද සෑහීමකට පත් විය නොහැකි අවස්ථා තිබුණි. මේ පරිදි රට එළැඹෙන ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය වටාපිටාව සකස් නොකිරීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අන්තර්ජාතික සංවිධානවලට අප රටට එරෙහිව යම් යම් විවේචන ඉදිරිපත් කිරීමට ද හැකියාව තිබේ. අතුරුදන් කිරීම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා මේ පනත සම්මත නොකළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ ගැන ප්‍රශ්න කර සිටිය හැකිය. සෘජුව නොවූවද වක්‍ර මාර්ගයෙන් විවිධ පියවර ගැනීම ද ඔවුන්ට කළ හැකිය. විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් සම්බන්ධ ක්ෂේත්‍රයේ දී පසුගිය කාලයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට දිගින් දිගටම චෝදනා එල්ල කළේ ද මෙවැනි වාතාවරණයක දී ය. ශ්‍රී ලංකාවේ දී ප්‍රධාන සන්නද්ධ අරගල තුනක් මෙන්ම තවත් විවිධ වූ කැලඹිලි ද ඇති වී තිබෙන බවත් ඒවායේ දී පුද්ගල අතුරුදන්වීම් සිදු වී ඇති බවත් අපි දනිමු. එවැනි අවස්ථාවල සිදු වෙන දෙයක් නම් සමාජය ව්‍යාකූල වී එය පාලනය කිරීම ද අපහසු වීමය. එබැවින් අනාගතයේ දී සිදු විය හැකි පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙවැනි පනතක් ගෙන ඒම ඉතා වැදගත්ය.  


මේ පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධ කාරණයේ දී අතුරුදන්වූවන් පිළිබඳ කටයුතු කිරීම සඳහා පිහිටුවීමට නියමිත කාර්යාලය ගැන ද යම් යම් අදහස් ඉදිරිපත් වෙමින් තිබෙන ආකාරයක් හඳුනාගත හැකිය. මේ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත 2016 වසරේ දී සම්මත විය. මේ පනතට ඉදිරිපත් කර ඇති සංශෝධනයක් ගැන ද මේ දිනවල සාකච්ඡා මතුවෙමින් තිබේ. කාර්යාලය පිහිටුවීමට අදාළව භාර දී සම්මත කළ පනතට අනුව යුද්ධය පැවැති කාලයේ දී සිදුවූ අතුරුදන්වීම් ගැන සෙවීමේ බලය එම කාර්යාලයට ලබා දී තිබුණ ද පනතට ගෙනැවිත් තිබෙන සංශෝධනයෙන් එම බලතල ඉවත් කර තිබේ.  


බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත ක්‍රියාත්මක වන දින කාලවකවානු සම්බන්ධයෙන් ද මේ වන විට ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇති ආකාරයක් හඳුනාගත හැකිය. මේ පනත තවම පාර්ලිමේන්තුවෙන් සම්මත වී නැත. මේ පනත් කෙටුම්පත සම්මත වී ක්‍රියාත්මකවීම බොහෝවිට ඔක්තෝබර් මාසයේ දී සිදුවීමට ඉඩ ඇත. වැදගත්ම කාරණය නම් මේ පනත සම්මත වන දිනට පෙර සිදුවූ අතුරුදන්වීම් ගැන සෙවීමට හෝ ඒවාට සම්බන්ධ පාර්ශ්වලට දඬුවම් කිරීමට හෝ නොහැකිවීමය. ඒ අනුව මේ පනත එන්නේ අතීතයට බලපාන නීතියක් හැටියට නොවේ.  


අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත 2016 වසරේදී මුල්වරට ඉදිරිපත් කරන අවස්ථාවේදී අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක වන බව එහි සඳහන් විය. එනම්, මෙම පනතින් පිහිටුවීමට යෝජනා කරන අතුරුදන්වූවන් සෙවීම සම්බන්ධ කාර්යාලයට පනත ක්‍රියාත්මක වන දිනට පෙර කාලයේ සිදුවූ පුද්ගල අතුරුදන්කිරීම් ගැන ද විමර්ශනය කළ හැකි බවය. නමුත් මේ පනතට මේ වර්ෂයේ දී ගෙන ආ ස​ංශෝධන මගින් එම වගන්තිය ඉවත් කර ඇත. විශේෂයෙන්ම පනතේ සඳහන් 11 වන වගන්තිය මේ නව සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර ඇති අතර ඒ අනුව අතුරුදන් වූ තැනැත්තන් සෙවීමේ කාර්යාලයට අතුරුදන්වීම් සම්බන්ධයෙන් ලැබෙන තොරතුරුවල රහස්‍යභාවයට අදාළව දේශීය හෝ විදේශීය හෝ පාර්ශ්ව සමග ගිවිසුම්වලට එළැඹීමට ඇති හැකියාව අහෝසි වේ. ඒ අනුව ගිවිසුම් මාර්ගයෙන් දඬුවම් හෝ වෙනයම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා කාර්යාලයට තිබූ බලය ඉවත් කර තිබේ. අතීතයේ සිදුවූ අතුරුදන්වීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මේ කාර්යාලයට බලයක් නැතත් පනත් කෙටුම්පත සම්මත වී පනතක් වන දින සිට ඉදිරියට සිදුවන ඕනෑම අතුරුදන්වීමක් හෝ කිරීමක් හෝ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට හැකිය.  

 

කිසිකෙනකුට එරෙහිව චෝදනා කරන්න මේ කාර්යාලයට හැකියාවක් නෑ


මෙහිදී අප සැලකිල්ලට බඳුන් කළ යුතු නීතිමය පදනම් කීපයක් ද තිබේ. එකක් නම් අතීතයට බලපාන පරිදි නීති පැනවිය නොහැකිවීමය. තවත් පදනමක් නම් වරදක් සිදුකරන අවස්ථාවක දී නොතිබූ නීතියක් පසුව පනවා එම වරද කළ පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කළ නොහැකිවීම ය. මේ මූලික නීති පදනම් දෙකම මෙම පනතින් අාරක්ෂා කර තිබේ. ඒ අනුව ඇතැම් පාර්ශ්ව පවසන පරිදි අතීතයේ වැරැදි කළ පුද්ගලයන්ට දඬුවම්දීමක් මේ පනතින් සිදුවන්නේ නැත. එවැනි අතීත සිදුවීම් සම්බන්ධව සොයා බලා නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ ඒවා සිදුවන කාලයේ බලාත්මකව තිබූ නීතිවලට අනුවය. ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහය ඇතුළුව තවත් නීති තිබේ. ඊට අමතරව ජාත්‍යන්තර නීතිය ද යොදාගත හැකිය. පුද්ගල අතුරුදන්කරවීම් පිළිබඳ විමර්ශනය කර වැරැදිකරුවන් වන පුද්ගලයන්ට මේ නීතිය මගින් ද දඬුවම් කළ හැකිය. නමුත් ශ්‍රී ලංකාව එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ඇතැම් පාර්ශ්ව කියන පරිදි අපේ රටේ රණවිරුවන් හෝ වෙනත් කිසිවකු ජාත්‍යන්තර අධිකරණය හමුවට පමුණුවාලිය නොහැකිය. පෙර කී පරිදි මින් පෙර සිදුවූ අතුරුදන් කිරීම් හෝ වෙනත් අපරාධ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට භාවිත කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කරවීම වැනි සිද්ධි ගැන පරීක්ෂණ කෙරෙන්නේ ද දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් නීති ප්‍රතිපාදන මතය. මේ පනත සම්මත කළ ද මේ යටතේ එම සිද්ධි ගැන විමර්ශනය කළ නොහැකිය. මන්ද, මේ පනත අතීතයට බලනොපාන බැවිනි.  


අතුරුදන්වූවන් ගැන සොයන කාර්යාලයට විමර්ශන මගින් අනාවරණය වන විත්තිකරුවන්ට විරුද්ධව නඩු පැවරීමට හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට හෝ නොහැකිය. සොයා ගන්නා තොරතුරු ලේඛනගත කර තබාගත හැකිය. කිසිකෙනකුට විරුද්ධව චෝදනා කිරීමට හෝ දඬුවම් කිරීමට මේ කාර්යාලයට හැකියාවක් නැත.  

 


 

විසි වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හැරුණුවිට ගෙවී ගිය දින කීපයේ වැඩිමනත් අවධානයට ලක් වූ පනත් කෙටුම්පත වූයේ ‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පතයි.’  


මේ පනත් කෙටුම්පතට අදාළ ‘බලහත්කාරයෙන් අතුරුදන් වූ පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති’ යට ශ්‍රී ලංකා ආණ්ඩුව අස්සන් තැබුවේ 2015 වසරේ දෙසැම්බර් මාසයේ දී ය. ඒ අනුව මේ වන විට විවාදාපන්න මාතෘකාවක් වී තිබෙන්නේ මෙම සම්මුතිය රට ඇතුළත බලාත්මක කිරීමට අදාළව ආණ්ඩුව සකස් කර තිබෙන පෙර කී පනත් කෙටුම්පතයි.  


මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් එමගින් පුද්ගල අතුරුදන්වීම්වලට සම්බන්ධ යැයි කියන රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණය හමුවට පමුණුවාලීමේ දොරටුව විවෘත වන බවටත් රණවිරුවන් පාවා දෙන උත්සාහයක් මෙහි ඇති බවටත් ඒකාබද්ධ විපක්ෂය ඇතුළුව ජාතික සංවිධාන නියෝජිතයෝ කියා සිටිති. කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශ වන්නේ මේ පනත් කෙටුම්පත අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක නොවන බවත්, එය පනතක් බවට පත් වී ක්‍රියාත්මක වන දින සිට ඉදිරියට සිදුවන පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධ සිදුවීම් ගැන පමණක් සොයා බලන බවත් එබැවින් රණවිරුවන් දඩයම් කිරීමේ උත්සාහයක් මේ පසුපස නැති බවත්ය. මේ සම්බන්ධව ගෙවීගිය දින කීපයේ මතු වූ වාද විවාද නිසා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම කල් දැමීමට ද ආණ්ඩුව පියවර ගත්තේය. මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ ඉදිරිපත් වන විවිධ මතවාද ගැන නීතිඥයන් දෙදෙනකු ‘ඉරිදා ලංකාදීප’යට දැක්වූ අදහස් මෙසේය.  

 


 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට අදාළව ගෙනා වාර්තාවෙහිද මීට අදාළ නිර්දේශ කීපයක් ඉදිරිපත් කර තිබිණි. එකක් නම් ඒ වන විටත් අතුරුදන්වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමට පත් කර තිබූ පරණගම කොමිසම විසුරුවාහැර ඒ වෙනුවට වෙනත් ආයතනයක් පිහිටුවිය යුතුය යන්නයි. ඉන් බලාපොරොත්තු වූයේ පුද්ගල අතුරුදන්වීම්වලට අදාළව ශ්‍රී ලංකා රජය ගෙන යමින් තිබූ ස්වාධීන වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරීමය. 


එම පරණගම කොමිසම මගින් එල්ටීටීඊ සංවිධානය සිදු කළ අතුරුදන් කිරීම් ගැන ද විමර්ශනය කළ අතර එය තමන්ට ප්‍රශ්නයක් බව මහකොමසාරිස්වරයා සිය වාර්තාවේ 111 වැනි පිටුවේදී කියයි. ඒ අනුව පැහැදිලි වන්නේ කොටි සංවිධානයේ අතුරුදන්කිරීම් ගැන සෙවීම නැවැත්වීමේත්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා කළේ යැයි කියන අතුරුදන්වීම් ගැන සෙවීමේත් අරමුණ ඇතිව පරණගම කොමිසම වෙනුවට වෙනත් ​ආයතනයක් ස්ථාපිත කරන ලෙස මහකොමසාරිස්වරයා සිය වාර්තාව මගින් මේ නිර්දේශය කර ඇති බවය. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ අතුරුදන් කිරීම් කළැයි කියන හමුදා සාමාජිකයන් සම්බන්ධ නඩු විභාග සිදුකළ යුත්තේ ගෝලීය අධිකරණ බලය ඇති අධිකරණයක් මගින් යැයි කියාය. මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ මේ වාර්තාවෙන් පසුව ශ්‍රී ලංකා ආණ්ඩුවත් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කීපයකුත් දායකත්වය ඇතිව අප රටට විරුද්ධ යෝජනා සම්මතයක් ගෙන ඒම සිදු විය. එහි ක්‍රියාකාරී කොටසේ පළමු වගන්තියෙහි දැක්වෙන්නේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ ඇතුළත් නිගමන හා තීරණ ප්‍රශංසාත්මකව පිළිගන්නා බව ය.  මේ පරිසරය මධ්‍යයේ ආණ්ඩුව අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධව සෙවීම සඳහා කාර්යාලයක් පිහිටුවීමට නව පනතක් ගෙනාවේය. එම පනත ඉතාමත්ම භයානක ය. එම පනතට අනුව රණවිරුවන් ඇතුළුව ඕනෑම පුද්ගලයකු දිවා හෝ රාත්‍රී කාර්යාලයේ දී අතුරුදන්වූවන් ගැන සෙවීම සඳහා පිහිටුවීමට නියමිත කාර්යාලයට ගෙන්වා සාක්ෂි ප්‍රකාශ සටහන් කරගත හැකිය. එහිදී සාක්ෂි ආඥා පනත බලපවත්වන්නේ නැති බවද සඳහන් වෙයි. මෙවැනි වාතාවරණයක සිදුවිය හැක්කේ මේ කාර්යාලය මගින් සටහන් කරගන්නා විවිධ ප්‍රකාශ හා සාක්ෂි ජාත්‍යන්තරයට ලබාදුනහොත් ගෝලීය අධිකරණ බලය යටතේ වෙනත් රටකට එම සාක්ෂි හා ප්‍රකාශවලින් හෙළිවන පුද්ගලයන්ට එරෙහිව තම රටේ අධිකරණයක නඩු පැවරීමේ හැකියාව උදාවීමයි. එවැනි තත්ත්වයක් ඇති වූවහොත් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට ද ඉඩ තිබේ.  


මේ වනවිට සාකච්ඡාවට බඳුන්ව තිබෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පතෙහි සඳහන් විධිවිධාන අනුව අපේ රටේ රණවිරුවකු සම්බන්ධයෙන් වෙනත් රටක විභාග වන නඩුවක් සඳහා එම රණවිරුවා එම රටට බාරදීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට හැකිය. එමෙන්ම එවැනි අවස්ථාවකදී රණවිරුවාගේ විත්තිවාචක ගත නොහැකි තත්ත්වයක් ද මේ මගින් ඇති කර තිබේ. පැහැදිලිවම මේ ක්‍රියාත්මක වන්නේ අපේ රටත් රණවිරුවාත් දේශපාලනිකව මර්දනය කිරීමේ වැඩපිළිවෙළකි.  

 

 

මේ කාර්යාලය පිහිටුවීම මගින් අපේක්ෂා කරන්නේ අපේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයේ නඩු පැවරීමට අවශ්‍ය සාක්ෂි ආදිය එකතු කරගැනීමය.

 

 

අපේ රටේ පුද්ගලයකු සම්බන්ධයෙන් වෙනත් රටක නඩුවක් විභාග වන විටෙක අදාළ ශ්‍රී ලාංකික පුරවැසියා එම නඩුව විභාග වන රටට ලබා නොදිය යුතු යැයි ‘උදර්පණ’ පනතෙහි සඳහන් වෙයි. එම පනතෙහි දැක්වෙන්නේ දේශපාලනික ස්වරූපයෙන් විභාග වන නඩු සඳහා ඊට අවශ්‍ය පුද්ගලයන් ලබා නොදිය යුතු බවය. බලහත්කාරයෙන් අතුරුදන්කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පතෙහි 13 වැනි වගන්තියෙහි සඳහන් වන්නේ මේ පනත යටතට ගැනෙන වරදක් දේශපාලන ස්වරූපයේ වරදක් හැටියට නොසැලකිය යුතු බවය. ඒ අනුව අප රටේ රණවිරුවකුට හෝ වෙනත් පුද්ගලයකුට හෝ එරෙහිව අන් රටක විභාග වන නඩුවක පැහැදිලි දේශපාලන ස්වභාවයක් පෙනෙන්නට මේ පනතේ පෙර කී 13 වැනි වගන්තිය අනුව එවැනි නඩුවක දේශපාලනික මුහුණුවරක් ඇතැයි කියා සැලකෙන්නේ නැත. මෙහිදී මාහට මතුවන ප්‍රශ්න කීපයක් තිබේ. එකක් නම් රණවිරුවකු සම්බන්ධයෙන් විදෙස් රටක විභාග වන නඩුවකදී එකී රණවිරුවාට ශ්‍රී ලංකාවේ අධිකරණයක් හමුවට ගොස් තමාගේ නිර්දෝෂිභාවයට අදාළ කරුණු ඉදිරිපත් කළ නොහැකි ආකාරයේ විධිවිධාන මේ පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇත්තේ මන්ද යන්නය. දෙවැනි ප්‍රශ්නය නම් සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදනවලට පටහැණිව අතුරුදන්වූවන් ගැන සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනතේදී සාක්ෂි සටහන් ගැනීම සම්බන්ධ වගන්ති ඇතුළත් කර තිබෙන්නේ ඇයි ද යන්නය. මේ සියල්ලෙන් පැහැදිලි වන කාරණය නම් ජාත්‍යන්තර ප්‍රජාවේත්, දෙමළ ඩයස්පෝරාවෙහි සිටින එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේත් වුවමනා සපුරාලීම සඳහා මේ පනත් දෙක (අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත හා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත) ගෙනැවිත් ඇති බවය. අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක පනතක් සම්මත කරන පිළිගත් ආකාරයෙන් පිටපැනය. එහිදී ඒ පනතෙහි හොඳ නරක පිළිබඳ කිසිදු විවාදයකට ඉඩක් නොලැබිණි. මේ පනත සම්මත වූවාට පසු ඊට එරෙහිව මුළු රටෙන්ම විරෝධතා පැන නැගෙද්දී ජනාධිපතිවරයාත් තවත් ශ්‍රීලනිප අමාත්‍යවරයෙකුත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ‍ මේ පනතෙහි වැරැදි සංශෝධනය කර ක්‍රියාත්මක කරන බැවින් බිය විය යුතු නැති බවය. එම පනතට අදාළව සංශෝධන දාහතක් පමණ ලබාදී ඇති බවද කියවිණි. නමුත් අවසානයේදී සිදු වූයේ එක් ව්‍යාජ සංශෝධනයක් පමණක් මේ පනතට අදාළව ඉදිරිපත්වීම ය.  


බලහත්කාරයෙන් අතුරුදන්කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත අතීතයට බලනොපාන බැවින් මෙමගින් රණවිරුවන් පාවා දීමක් සිදු නොවන බවට පසුගිය දිනෙක අගමැතිවරයා කළ ප්‍රකාශය අසත්‍යයකි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13(6) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යම්කිසි ක්‍රියාවක් කරන අවස්ථාවේදී එය වරදක් නොවේ නම් එය කළ පුද්ගලයා වරදකරුවකු කළ නොහැකි බවය.  
නමුත් එකී ව්‍යවස්ථාවට අදාළ ව්‍යතිරේඛයෙහි දැක්වෙන්නේ ජාත්‍යන්තර නීතියට අනුව එම ක්‍රියාව වරදක් නම් ඊට දඬුවම් ලබාදීම සඳහා අතීතයට බලපාන පරිදි නීතිය ක්‍රියාත්මක කළ හැකි බවය. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මෙවැන්නක් සඳහන් වී තිබීම නිසා අපට අගමැතිවරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බව පැහැදිලි වේ. අනෙක් අතට මේ පනත ගෙන ඒමේ සැබෑ අරමුණ අනාගතයේ සිදුවන අතුරුදන් කිරීම් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම නම් එය කඩිමුඩියේ ගෙන ආවේ ඇයිද යන්නත් ප්‍රශ්නයකි. පැහැදිලිවම මෙය ජාත්‍යන්තර වුවමනාවක් ඉෂ්ට කිරීමකි.  
තව ද පිහිටුවීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳ සොයන කාර්යාලය සංස්ථාගත කරන ලද සමාගමකි. මේ කාර්යාලයට පත් කරන්නේ රජයේ සේවකයන් නොවේ. විදේශිකයන් වුවද පත් කළ හැකිය. ඔවුහු රටට වග නොකියති. සත්‍ය වශයෙන්ම මේ කාර්යාලය පිහිටුවීම මගින් අපේක්ෂා කරන්නේ අපේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයේ නඩු පැවරීමට අවශ්‍ය සාක්ෂි ආදිය එකතු කරගැනීම ය.

 

 

 

 

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ