ශ්‍රී ලංකාව විසින් ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගනු ලැබුවේ 1996 දීය. එකී සමයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයෙහි දෙවැනියා වූයේ තිලංග සුමතිපාලය. එනම් එවකට ඔහු උප සභාපතිවරයා විය. ඉනික්බිතිව ක්‍රිකට් මුල් පුටුවට තේරී පත්වූ තිලංග සුමතිපාල යනු එද‌ා සිටම ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයේ නියැළී සිටින සක්‍රීය චරිතයකි. තවත් විදියකට කිවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමඟ ගහට පොත්තමෙන් බැඳී සිටින චරිතයකි. පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳව දැනුම් සම්භාරයක් න්‍යායාත්මකව ලද තිලංග ප්‍රායෝගිකවද බොහෝ දේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ද‌ායාද කළ චරිතයකි. වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයාද වන තිලංග හට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හරි මගට ගන්න මග අළලා ඉරිද‌ා ලංකාදීපය ගෙන එන සාකච්ඡා මාලාව සඳහා මෙවර අපි ඇරයුම් කළෙමු.

 

දේශපාලනය, පරිපාලනය යන ක්ෂේත්‍ර ද්විත්වයෙහිම ඔබ නිරත වෙනවා. වෙසෙසින්ම ක්‍රිකට් පරිපාලනයට බොහොම ළැදියි. වඩා කැමති කුමකටද?   


වෘත්තිකයෙක් හැටියට වර්තමානයෙහි මම දේශපාලනඥයෙක්. පොඩි කාලයේ සිටම මගේ තිබූ කැමැත්ත සහ රිද්මය වුණේ ක්‍රිකට්. එනිසා ජීවිතයේ කුඩා කල සිටම ක්‍රිකට් මට සමීපයි. වෘත්තිකයෙක් ලෙස ලබාගත් දැනුම සමඟ දේශපාලනය මගේ විෂය වී තිබෙනවා.   


නිරන්තරයෙන්ම උසස් අධ්‍යාපනය ලැබීමට කැමැත්තක් ඇති වග පෙනෙනවා, ඒ ගැන සඳහන් කළොත්?   


මම ඕනෑම කර්තව්‍යයකට ද‌ායක වන්නෙ, ඒ ගැන පෙර දැනුමක් ලබා ගැනීමෙන් පසුවයි. මුද්‍රණ ශිල්පය ගැන හැදෑරුවෙ එංගලන්තයේදී. ලන්ඩන් කොලේජ් ඔෆ් ප්‍රින්ටින් සරසවියෙන්. පසුව ජපානයේ යොකොහොමා සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය හැදෑරුවා. ඇමරිකාවේ හාවඩ් සරසවියෙන් අංශ දෙකකින් අධ්‍යාපනය හැදෑරුවා. ලෝකයේ දේශපාලන විෂය ගැන හැදෑරීමට ඇති හොඳම සරසවිය තියෙන්නෙ හාවඩ් පරිශ්‍රයේ. එහි කැන්ඩිස් සරසවියෙන් ඉගෙන ගත්තා. දේශපාලනයට ආවාම රාජ්‍ය පරිපාලන අංශය ගැනත් දැනීම ලබාගත යුතු වුණා. ඒ වෙනුවෙන් ශාස්ත්‍රපති උපාධිය සඳහා හැදෑරුවෙ කොළඹ සරසවියෙන්. මෙවැනි හැදෑරීම් නිසා පරිපාලනය, මූල්‍ය පාලනය, රාජ්‍ය පරිපාලනය පිළිබඳව දේශපාලන කටයුතුවල යෙදෙන අතරේ තවදුරටත් උසස් අධ්‍යාපනයෙහි නිරත වනවා. ආචාර්ය උපාධිය සඳහා බීජී සරසවියෙන් ශිෂ්‍යත්වයක් ලැබිලා තිබෙන්නෙ. කළමනාකරණ අංශයේ රාජ්‍ය පරිපාලනය සහ දේශපාලනය එහි විෂය වී තිබෙනවා. නමුත් දැන් මට කාලය ගැටලුවක්ව පවතිනවා. මෙයින් මා කීමට හදන්නෙ පම්පෝරි ගහන්න නෙවෙයි. අපි මොනදේ කළත් වෘත්තීය දැනුමක් ලබාගැනීම අතිශයින්ම වැදගත් කියලා කීමටයි.   


තිලංග යනු හිස් නැති චරිතයක්ද?   


කියවීම මිනිසා සම්පූර්ණ කරයි, කියලා කියමනක් තිබෙනවනෙ. හැකි පරිදි අපි පරිපූර්ණ වීමට උත්සාහ ගැනීම වැදගත්. මම අංගසම්පූර්ණ නැහැ. අපට මැරෙනකල්ම ඉගෙන ගන්න තියෙනවා. 

 
ඔබ මේ විදියෙ චරිතයක් වුණත්, මේ මෑත කාලයේදී තරම් අපේ රටේ ක්‍රිකට් ආන්දෝලනයට තුඩුදුන් තවත් සමයක් නැති තරම්? හැමෝම කතා වන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවට මොනවද මේ වෙලා තියෙන්නෙ කියන දේ ගැනයි. ඇත්තටම අපේ ක්‍රිකට්වලට මොනවද මේ වෙලා තියෙන්නෙ?   


මෙවර නැවත මම ක්‍රිකට් පරිපාලනයට ආවේ වසර 11 කට පසුවයි. 2015 දී නැවත එනකොට කොහොමද මෙය පටන් ගන්නෙ? කොතැනින්ද පටන් ගන්නෙ? කියන ප්‍රශ්න තිබුණා. කිසිම දෙයක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙ තිබුණෙ නැහැ. ජාතික කණ්ඩායමට නිත්‍ය පුහුණුකරුවකු සිටියෙ නැහැ. සංවර්ධන සැලැස්මක් තිබුණෙ නැහැ, මූල්‍ය ශක්තිය බිංදුවට වැටිලා තිබුණෙ. එවැනි වාතාවරණයක් යටතේ තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් බාර ගත්තෙ. බිලියන 4 දශම 5ක් අපි ආණ්ඩුවට ණය​ වෙලා තිබුණෙ. පල්ලෙකැලේ බිල ගෙවලා තිබුණෙ නැහැ. ප්‍රේමද‌ාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ බිල ගෙවලා නැහැ, සූරියවැවට නඩු. සේවක අර්බුද්‍, ක්‍රීඩාංගණ කඩාගෙන වැටිලා. යටිතල පහසුකම් නැහැ. හතර අතට ණය වෙලා. ඉතින් එවැනි වාතාවරණයක් යටතේ තිබියදී තමයි 2015 දී මම නැවත ක්‍රිකට් බාරගත්තෙ. ඒ විදියට මම බාරගත්තට කවුරුවත් බාරගත්තෙ නැහැ. ඇයි ණය ගෙවන්න විධියක් තිබුණෙ නැහැනෙ. ඉතින් ඒක තමයි මම ක්‍රිකට් බාරගන්නකොට තිබුණු යථාර්ථය. මම ඇවිත් කෙටි කලකින් ණය සංස්කෘතියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුදවා ගත්තා. ඊළඟට ඉතා හොඳ පුහුණුකරුවකු (ග්‍රැහැම් ෆෝඩ්) ආනයනය කළා. ඔහුට තවත් තැනක ගිවිසුම් තිබියදී තමයි අපි වෙනුවෙන් ඔහු ගෙන්නුවෙ. ඊළඟට ක්‍රිකට් වෙනුවෙන් සැලැස්මක් තිබුණෙ නැහැ. සමස්ත පාලනයම සිද්ධ වුණේ කොළඹ 7 මෙට්ලන්ඩ් ක්‍රසන්ට් වෙතින්. බලය විමධ්‍යගත වෙලා තිබුණෙ නැහැ. පාසල් සංගමයටත් නිදහස් වාතාවරණයක් තිබුණෙ නැහැ. මේවාට ඉතා හොඳ විසඳුම් ලබාදී යළි හරි මාවතකට ගෙනාවා. එද‌ා ජාතික කණ්ඩායම ගත්තොත් අර්බුද රැසක් මැද හිටියෙ.   


මොන වගේ අර්බුද රැසක්ද තිබුණෙ?   


ටෙස්ට් නායකයා වෙනස්. එක්දින එකට තව නායකයෙක්. ටී ටුවෙන්ටි එකට තව කෙනෙක්. නායකයන් තුනයි. උප නායකයන් තුනයි. ඔක්කෝම හයයි. ඒ වගේම ශාරීරික යෝග්‍යතාව ගැනත් ප්‍රශ්න තිබුණා. ඒ වගේ අර්බුද රැසක් තිබුණා.   


එ්‍ කී සියල්ලෙන් ​ගොඩඑන්න ඔබට පුළුවන් වුණාද?   


ආගාධයකට වැටිලා තිබියදී ඉතා ඉක්මනින් එය ගොඩගන්න මට සහ මගේ පිරිවරට හැකිවුණා. විශේෂයෙන්ම ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 82 කට අලෙවි කර තිබුණෙ. (අන්තර් ජාතික ක්‍රිකට් සභාවට) ඒක විශාල පාඩුවක්. ජාත්‍යන්තරව අපි ක්‍රීඩා කරන තරග හරහා ලැබිය යුතු ඒ මුදල අපට ප්‍රමාණවත් වුණේ නැහැ. අපි එය ඇමරිකානු ඩොලර් මිලියන 138 දක්වා වැඩි කර ගත්තා. එද‌ා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවෙ අපට කිසිම තැනක් තිබුණෙ නැහැ. අපිව ඇතුළට ගත්තෙත් නැහැ. අපි හිටියෙ එළියෙ බංකුවෙ.   


හේතුව?   


ඇයි අතුරුපාලක කමිටුවක්නෙ අපට තිබුණෙ. මක් නිසාද කිව්වොත් මාස තුනකට වඩා අතුරුපාලක කමිටු පවත්වාගෙන යාම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීතිරීතිවලට පටහැනියි. මම සභාපති වී ආ පසුව තමයි ඔවුන් අපිව එහි ඇතුළට ගත්තෙ. විනාශ වෙලා තිබුණු මූල්‍ය ශක්තිය මේ වසර 8 දී බිලියන 7.5ක් වැඩිකරගන්න අපට පුළුවන් වුණා. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ගෞරවයත් දිනාගන්න පුළුවන් වුණා. ඉන්දියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව රටවල් තුන බිග් ත්‍රී (Big-3) කියලා නම් කර තිබුණා. ඒක අසාධාරණයි. එය ඡන්දයෙන් පරදවා ක්‍රිකට් ගහන අනෙක් රටවල් හැමෝටම සාධාරණය අැති වන පරිදි වෙනස් කරන්න අපි ද‌ායකත්වය ලබාදුන්නා. ඒවා නිකම්ම ලැබිච්ච දේ නෙවෙයි, තැනකට ගිහින් ඒ විෂයයන් ගැන කතා කරන්න දැනුමකුත් පළපුරුද්දකුත්, ඒ වගේම දැක්මකුත් තිබිය යුතුයි. එහෙම නැතුව ඒ කිසි දෙයක් නැවත අපට නිකං ලැබුණු දේ නෙවෙයි.   


ඒ කියන්නෙ අවුල්ව තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩද‌ාන්න ඔබ සෑහෙන කැපකිරීමක් කළා කියලද?   


මගේ ගැන පම්පෝරි නෙවෙයි. මම එන විට තිබූ තත්ත්වය සහ ඉන්පසු අපි කළ දේ ගැනයි කිව්වෙ. එද‌ා කුසල් ජනිත්ට වසර 4ක තහනමක් පනවා තිබුණා. ඒක ඉතා ඉක්මනින් අපි ලිහිල් කරගත්තා. අපේ රටේ අභිමානය අනන්‍යතාව රැකගන්න අතරේ අපි ජාත්‍යන්තරය සමඟ වඩා සුහද වුණා. අපි අපේ අභිමානය සඳහා සටන් කරද්දී අයිසීසී (ICC) එකේ පාලන තන්ත්‍රය පවා අපි එක්ක හිත් පළුදු කරගත් අවස්ථා, කකුලෙන් අදින අවස්ථා තිබුණා. ඒත් කරන්න දෙයක් නැහැ. අපිට ප්‍රථමයෙන් වටින්නෙ ක්‍රීඩකයන්. ඒ වගේම රටේ අභිමානය. ඒ වෙනුවෙන් අතීතයේදී සිටි ක්‍රීඩකයන් හට එද‌ා මා භේදයකින් තොරව පෙනී සිටියා වගේම මෙද‌ා කුසල් ජනිත් වැනි ක්‍රීඩකයන් වෙනුවෙනුත් භේදයකින් තොරව පෙනී සිටියා. ඒ විදියට සියලු ගැටුම් එක්ක තමයි වත්මන් ක්‍රිකට් යළි පුබුදන්න අපට සිද්ධවුණේ.   


ඔබ එලෙසින් පවසන පරිදි මූල්‍යමය අංශයෙන් සහ අනෙකුත් අංශවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ශක්තිමත් වී ඇති බව සත්‍යයක් විය හැකියි. නමුත් එලෙසින් නොවී තිබුණු යුගයකදීත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජයග්‍රහණය කළා. ඒත් අද ඔබ මේ කියන යහපත් ස්වභාවය තිබියදීත් ඇයි මේ විදියට දිගින් දිගටම අන්තපරාජයන් ලබන්නෙ?   


මේ ස්වභාවය අපි හරියට විශ්ලේෂණය කර ගත යුතුයි. අපි හිතමු ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම හදන්න ඇමරිකාවට, චීනයට හෝ ජපානයට පුළුවනි. හැබැයි යථාර්ථය එය නෙවෙයිනෙ. ලෝකයේ රටවල් සිය ගණනක් අබිබවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ හොඳම හයවැනි රට බවට අපි පත්ව සිටිනවා. නමුත් වත්මනෙහි තාවකාලික පසුබැසීමකට හේතුවී තිබෙන්නෙ. පසුගිය වසර හය හත ඇතුළතදී ක්‍රමවත් සැලැස්මක් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ නොතිබුණ නිසයි. ක්‍රීඩකයන්ගෙ ෆිට්නස් බලන්න ක්‍රමයක් තිබිලා නැහැ. මේ වගේ කාරණා නිසා ක්‍රීඩකයනුත් ගතානුගතික වෙලා. ක්‍රීඩාවට වඩා ක්‍රීඩකයන් ලොකුවෙලා. පාලක මණ්ඩලයට පාලනයක් තිබිලා නැහැ. මේ විදියට එක් හේතුවක් නොවී තවත් බොහෝ හේතු තිබුණා. ඒ ගැන මා කලින් සඳහන් කළා. මේ පරිවර්තනයට අපට ඉවසීමක් තිබෙන්නට ඕනෑ. කලබල වුණොත් කොහොමද ප්‍රශ්න විසඳන්නෙ? දැන් අපි මෙයින් ගොඩවෙන්න සැලැසුමක් හදලා තියෙන්නෙ.   


ඒ මොන විදියටද?   


ටී ටුවෙන්ටි කණ්ඩායම හද‌ාගෙන යනවා. ටෙස්ට් කණ්ඩායම ගත්තොත් 6 වැනි ස්ථානයේ සිටින්නෙ. තව පොයින්ට්ස් තුනක් ගත්තොත් අපිට තුන්වැනි තැනට ඒමට පුළුවනි. ඉන්දියාව එක්ක තරග පරාජය සසඳ‌ා කිසිවක් විශ්ලේෂණය කළ යුතු නැහැ. වත්මන් ඉන්දීය කණ්ඩායම ලෝකයේ අංක එක. ඒ නිසා එම තරග පරාජයන් දිහා බලලා කලකිරිලා, හිත් රිදවා ගන්න ඕනෑ නැහැ. අංක එක පොඩි වෙනසකින් පල්ලෙහාට එන්න පුළුවනි. ඒ වගේම අංක 6 ට පොඩි වෙනසක් කළොත් අංක 1 ට එන්න පුළුවනි. අපට තව තරග තුන හතරක් දිනා ගත්තොත් ලෝකයේ පළමු ටෙස්ට් කණ්ඩායම් තුනට ඒවි. ඉන්දියාව මේ වෙලාවෙ සෑම අතින්ම ශක්තිමත්ව සිටින්නෙ. ඒ නිසා ඒ මිම්මෙන් මනින්න එපා. මේක තාවකාලික පසුබෑමක්.   


නමුත් ඔබ එහෙම කිව්වාට සිම්බාබ්වෙටත් පරාජය වුණානේ?   


ගැටලු තිබුණා. ඒවා දිහා සසඳන්න ඕනෑ. සමහර ක්‍රීඩකයන් එයාලගෙ අන්තිම කාලයේ ක්‍රීඩා කළේ. වේග පන්දු යවන්නන්ගෙ විශාල කඩා වැටීමක් දුටුවා. ඉතින් මේ වගේ කරුණු බලපෑවා. අලුත් ක්‍රීඩකයන් ආදේශ වන විට මෙවැනි තත්ත්වවලට මුහුණ දෙනවා. අපේ වේගපන්දු බළඇණිය අසාර්ථක වෙද්දී අපි රුමේෂ් රත්නායක මහතා පුහුණුකරු ලෙස ගෙනාවා. චම්පක මහත්මයා වසර 14ක් විතර ඒ කටයුත්ත කළා. කොහොම වුණත් වේග පන්දු බළඇණිය වැටුණා. රුමේෂ් ගෙනාවෙ ඒ නිසයි. දැන් ඒ අංශය ඉතාම හොඳට හද‌ාගෙන එනවා. මුළු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදීම වේගපන්දු යවන්නකු නොතැබූ වාර්තාවක් සුරංග ලක්මාල් පිහිටෙව්වා. කාට එරෙහිවද? ඉන්දියාවට එරෙහිව. ඉතින් රුමේෂ්ගේ ගෙන්වීම අසාර්ථකද? අපට ආඩම්බර වෙන්න බැරිද? සුරංග ලක්මාල් වගේ දක්ෂ බොහෝ අය සිටිනවා. ඒ වගේ අය බැහැ, බැහැ, කියලා මානසිකව වැට්ටුවොත් නැගී සිටින්නෙ කොහොමද? හරි දේ හරි විදිහට නොකළොත්, ක්‍රීඩකයනුත් ඍණාත්මකව හිතනවා. අපට එහෙම වෙන්න බැහැ. ලෝකයේ සිටින පිතිකරණ අංශයේ හොඳම පුහුණුකරුවන් පස්දෙනා අතර සිටින තිලාන් මහතා අපි ගෙන්වා සිටිනවා. එයාට ටික කාලයක් දෙන්න වේවි. ඒ විදියට අඩුපාඩු තිබෙන තැන් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් තිබෙනවා. දඟපන්දු යැවීමේ අංශයත් දුර්වල වෙලා. දැන් අපි ඒ ගැනත් හිතනවා. ප්‍රධාන පුහුණුකරුගේ ගැටලුවකුත් තිබුණා. ඒකට අපි ලෝකයේ දැනට සිටින හොඳම තුන්දෙනාගෙන් කෙනෙක් වන හතුරුසිංහ මහතාගේ සේවය ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටිනවා.   


කවුරු මොන විදියට ආදේශ කළත්, හිටපු බොහෝ ප්‍රවීණ ක්‍රීඩකයන් පවසන්නෙ පරිපාලනයෙහි බොහෝ ප්‍රශ්න තිබෙනවා කියලයි?   


ඕක හරි පැහැදිලි දෙයක්නෙ. කවුද එහෙම කතා කියන්නෙ කියලා අපි බලමු. ක්‍රිකට්වලට ආදරේ අය අපට උපදෙස් දෙන්නෙ ක්‍රිකට් ගොඩනගන්න උදව් කරන්නයි. ඒත් ක්‍රිකට් විනාශ කරන්න හදන අය මාධ්‍යයට උපදෙස් දෙනවා. මාධ්‍යයට උපදෙස් දීලා මේක කරන්න පුළුවන්ද? එහෙම නෙවෙයිනෙ. ඒ අය කළ යුත්තෙ. අපි හැමෝම එක්ක සාකච්ඡා කරලා සුදුසුම ගමන් මාර්ගය හද‌ාගෙන යනවා. නමුත් ඒ අය එන්නෙ ක්‍රිකට් හදන්න නෙවෙයි පාලක මණ්ඩලයෙ බලය ඉල්ලන්නනෙ එන්නෙ. ඒක මාධ්‍ය සංදර්ශන තියලා මාධ්‍ය මගින් කරන්න බැහැනෙ. මෙහි නීති රීති රෙගුලාසිවලට අනුව මම තේරීපත්වූ සභාපති. අපට කමිටුවක් තිබෙනවා. ක්‍රිකට් ගැන ලොකුම වගකීම තිබෙන්නෙ අපටයි. ක්‍රිකට් ජයග්‍රාහී මාවතට ගෙන යාමේ වගකීම තිබෙන්නෙ අපටයි. 

 
නමුත් වැඩිදෙනෙක් කියන්නෙ ක්‍රිකට් පරිපාලනයට නිලධාරීන් තෝරා පත් කර ගන්නා ඡන්ද ක්‍රමය සහිත ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය කියලයි. මේ ඡන්ද ක්‍රමය නිසා අපේ රටේ ක්‍රිකට් දියාරු වෙලා කියලා ඒ අය කියනවා. පළමු පෙළ ක්‍රිකට් ගුණාත්මක නැහැ කියලත් කියනවා. මේ සියල්ලට හේතුව මේ ඡන්ද ක්‍රමයද? ව්‍යවස්ථාවද?   


95 දී මම උප සභාපති. 96 ලෝක කුසලානය අපි දිනනවා. මේ ක්‍රමයට තමයි එද‌ා තිබුණෙ. මම උප සභාපති වුණෙත් එහෙමයි. මේ ක්‍රමය නෙවෙයි ප්‍රශ්නය. ඡන්දය ඉල්ලා සමහර අයට දිනන්නට බැහැ. ඡන්දය දෙන අයට (ක්‍රීඩා සමාජ) ඒ අය ගැන විශ්වාසයක් නැහැ. ඔවුන් දන්නවා මේ විදියට එන්න හදන අයගෙ යටි අරමුණ මොකක්ද කියලා. එයාලා බලය ඉල්ලා ගෙන නිතර ප්‍රශ්න ඇති කරවන්න තමයි උත්සාහ ගන්නෙ. ක්‍රීඩා සමාජවල අයට ඒ නිසා ඒ අය කෙරෙහි විශ්වාසයක් නැහැ. ජේ.ආර්. මහත්මයා, එන්.එම්. මහත්මයාගේ සිට රොබට් සේනානායක මහතා, ගාමිණී දිසානායක මහතා මෙන්ම ආනා පුංචි හේවා මහතාත්, ඊළඟට උපාලි ධර්මද‌ාස මහතාත් ඊළඟට මාත් ඇතුළු අපි ඔක්කොම පත්වුණේ ඡන්දයෙන්.


උප සභාපති ලෙස මම අවුරුදු තුනක් කටයුතු කළා. මම පැරෂුට් එකෙන් ඇවිත් බැස්ස මිනිහෙක් නෙවෙයි. වසර තුනක් උප සභාපතිව සිට අධ්‍යයනය කරලා රට රාජ්‍ය එක්ක වැඩ කරලා, ඉගෙන ගෙන බොහෝම හෙමිහිට ගමනක් ඇවිත් තමයි සභාපති වුණේ. අද අරවින්ද ද සිල්වා මහතා උප සභාපති. කලින් ජයන්ත ධර්මද‌ාස මහතා සිටියා. මේක ඇතුළෙ මේ පරිපාලනය කියන්නෙ විශාල කර්තව්‍යයක්. වැඩක් නොකර එළියෙ ඉඳගෙන තර්ක කළාට මේකට සෙතක් වෙන්නෙ නැහැ.   


ව්‍යවස්ථාවත් පැත්තකට ද‌ාලා අපි ක්‍රීඩකයන් ගැන කතා කළොත්? ඇයි ඔවුන් මෙච්චර දුර්වල වෙලා සිටින්නෙ?   


ලංකාවේ ජාත්‍යන්තරයට ගිය අංක එකේ ක්‍රීඩාව ක්‍රිකට්. අපේ වගකීමෙන් සියයට 99 ක්ම ජාතික කණ්ඩායම ගැන තමයි යොමු කරන්නෙ. නමුත් ක්‍රිකට් මේ රට ඇතුළෙ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී පාලක මණ්ඩලය සිටින්නෙ සමස්ත ක්‍රිකට් ව්‍යුහය දියුණු කරන්නයි. ඒ අනුව සියයට විසිපහක් ජාතික කණ්ඩායමටත්, ඊළඟට පාසල්, ග්‍රාමීය සංවර්ධනය, පළාත් සංවර්ධනය, දිස්ත්‍රික් සංවර්ධනය. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය හා නිර්මාණය, පුහුණුකරුවන්, විනිශ්චයකරුවන්, ක්‍රීඩා සමාජ මේ ආදී විවිධ අංශ වගේම කාන්තා ක්‍රිකට්, කාන්තා කණ්ඩායම, ආසියානු ක්‍රිකට් සංවර්ධන ක්‍රියාවලිය තිබෙන්නෙත් අපේ යටතේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සබඳතාවය සහ ගමන් මග, මූල්‍ය ශක්තිය හද‌ාගැනීම, ආද‌ායම සුරක්ෂිත කිරීම, අලෙවිය මේක විශාල පරාසයක්. මෙවැනි සංකීර්ණ පරාසයකට නායකත්වයක් දෙන විට එක් අංශයක් දුර්වල වූ පසු සමස්තය කඩා වැටෙන්නට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම එක් කඩාවැටීමකට අනුව සියල්ල සසැඳිය යුතුත් නැහැ. කොතැනද අපට වැරදුණේ, කොතැනටද අපි යන්නෙ? කියන ප්‍රශ්නය හඳුනාගෙන අපි මේ ගැටලු ප්‍රායෝගිකව නිරාකරණය කරගත යුතුයි. ක්‍රිකට් ආයතනය ලංකා ඉතිහාසයේ ගිය වසරේදී තරම් මූල්‍ය ශක්තියක් අන් කවරද‌ාකවත් ලබලා නැහැ. දැන් අපි කාටවත් ණය නැහැ. ණය සියල්ල ගෙවා ඉවරයි. අපට දැන් තියෙන්නෙ ජාතික සැලැස්මකට අනුව මේ ගමන යාමයි. මේ තරම් ආද‌ායම් සුරක්ෂිත කරලා දුන්න පරිපාලනයක් ඉතිහාසයේ නැහැ. ඇයි අපි එහෙම කළේ? රටේ සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන්. එක් එක් කාලවකවානුවලදී මතුවන ක්‍රීඩක දුර්වලතාවලින් සියල්ල මනින්නට බැහැ.   


පළමු පෙළ ක්‍රිකට් දියාරුවෙලා. ක්‍රීඩා සමාජ 24ක් ඊට අයත්. එය වැඩියි කියලා ඔබ පිළිගන්නෙ නැද්ද?   


ඒ කාලයේ මම එන විට ක්‍රීඩා සමාජ (84)ක් තිබුණා. ඒක අඩුකරන්න කාටවත් බැරි වුණා. ඒක 24 ට බැස්සුවෙ මම ආ පසුවයි. ක්‍රිකට් පාලක මණ්ඩලය සතුව අද තිබෙන්නෙ 24ක් විතරයි. අනෙක් ඔක්කෝම ඒවා පළාත් සහ දිස්ත්‍රික්කවලට අයත්. අවුරුදු හත අට අතුරු පාලක මණ්ඩලවල හිටපු අය ඕවාට අතවත් තැබුවෙ නැහැ තවත් වැඩි කළා මිසෙක. තරගාවලි අවුල් කළා. අපි තරගාවලි ප්‍රතිනිර්මාණය කළා.   


එහෙම නම් මේ කඩා වැටීමට හේතුව ක්‍රීඩා සමාජ නෙවෙයිද? පළමු පෙළ ක්‍රීඩා කිරීමට මාතර වැනි ප්‍රදේශවලට ක්‍රීඩා පිටියක්වත් නැති බවට හිටපු ක්‍රීඩකයින් චෝදනා කරනවා? 

 
පසුගිය කාලය ගනිමු. සංගලා, මහේලලා, සනත්ලා ඔය ඔක්කෝමලා ආවේ කොහේ සෙල්ලම් කරලද? ඉන්දියාවේ සමාජවලට ගහලා ආවෙ නැහැනෙ. මාලිංග ආවේ ඉන්දියාවට ගහලද?

නැහැනෙ. මේ සිස්ටම් එකේ විදියටනෙ. එයාලව දරුවො වගේ බලාගත්තෙ මේ ක්‍රීඩා සමාජයි. ඒ නිසා අටුව කඩලා පුටුව හදන්න දෙන්න බැහැ. අටුව කඩලා ගෙයක් හදන්නයි අපට අවශ්‍ය. මේ කතා ඔක්කෝම පතුරවන්නෙ, තාවකාලික වාසි ගන්න උත්සාහ කරන අයයි. මම මගේ මමම තමයි කියන්න කාටවත් බැහැ. ආයේ දිනන්නත් බැහැ, මගේ අදහස, මගේ ප්ලෑන් එක කියලා එක්කෙනෙක් දෙන්නෙක් සැලසුම් ගේන්න හදනවා. මගේ කියලා මමම කියලා සැලසුම් මෙතැනට අවශ්‍ය නැහැ. අපේ කියන සැලසුම් තමයි මේ අංක එකේ ජාතික ක්‍රීඩාව, ලෝකයට ගිය ක්‍රීඩාව සංවර්ධනය සඳහා අවශ්‍ය වෙන්නෙ. ලංකාවේ ක්‍රිකට් සැලැස්මට නායකත්වය දෙන්න මම වග කියනවා. ඕනෑම කෙනෙකුගේ හොඳ අදහසකට අපි ඉඩ දීලා තියෙන්නෙ.   


දේශීය ක්‍රිකට් ඇතුළේ තරග පාවාදීම්, අක්‍රමිකතා, දූෂණ ගැනත් පසුගිය දිනවල මාධ්‍යවල හෙළිදරව් වුණා. හිටපු ප්‍රවීණ ක්‍රීඩකයනුත් ඒ ගැන චෝදනා කළා. ඔබට එයින් ගැලවෙන්න පුළුවනිද? අන්තර්ජාතික ක්‍රිකට් සමුළු නියෝජිතයන් පවා මේ ගැන ප්‍රශ්න කළා නේද?   


මේවා ඉතින් අද ඊයේ ආපු කතා නෙවෙයිනෙ. අර්ජුන, අරවින්දට එද‌ා ලක්නව්වලදී ඩොලර් 15,000ක් ගත්තාය කියලා බොරු චෝදනා කරලා අමු අමුවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව කඩද‌ාසියක් යොමු කළානෙ. ඒවා පස්සෙ අපි එල්ලිලා ගියාද? නැහැනෙ. එද‌ා මෙද‌ාතුර සෑම යුගයේදීම එල්ල වුණා. මේවායේ ඇත්තක් තිබේ නම්, ඒ ගැන විමර්ශනය කරන්න, බලන්න, තීන්දු ගන්න ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව වෙනමම නිලධාරීන් පත්කරලා තියෙන්නෙ. ඒක අපට අයිති දෙයක් නෙවෙයිනෙ. මැච් එකක් අතරමග ද‌ාලා (සරා මැච් එක) තහනම් කරලා තිබුණු දකුණු අප්‍රිකාවට කණ්ඩායමක් ගිය රටක්නෙ මේක. යුගයෙන් යුගයට ඔය පාවාදීම් කතා ආදී ඔක්කෝම ආවනෙ. වසර 25ක තහනමක් එද‌ා දකුණු අප්‍රිකා ගිය ක්‍රීඩකයන්ට පැනවුවාම අපට එය ලිහිල් කරගන්න පුළුවන් වුණා. පසුව බන්ධුල වර්ණපුර මහතාට ක්‍රිකට් පාලක මණ්ඩලයේ රැකියාව පවා ලබාදුන්නා. මමයි මුලින්ම එය කළේ. එද‌ා ප්‍රවීණ ක්‍රීඩකයන් දෙපළකට විශාල අර්බුදයක් එද‌ා තිබුණා. සනත් ජයසූරිය මහතාට මෙද‌ා මුහුණ දෙන්න වුණා. මේවා ඔක්කෝම ස්වභාවයෙන් හදනවා. ඒවා පසුපස එල්ලිලා යන්න ගියොත් මේක හදන්න පුළුවන්ද? වතාවක අතුරුපාලක කමිටුවකට එක් මහත්මයකු පත්වුණාම එයා මුලින්ම කළේ ඩොලර් 90,000ක් සහෝදර තිදෙනා අතර මුලින්ම බෙද‌ාගැනීමයි. හිටපු ක්‍රීඩකයන්ට කියලා සල්ලි දුන්නාට ඒක මුලින්ම තමන්ගෙ පවුලට බෙද‌ාගැනීම සද‌ාචාරාත්මකද? ඒවත් එහෙම වුණා. ඒත් අපි ඒවා කතා නොකළේ ඒ අයගෙන් ක්‍රිකට් වෙතින් රටට සේවයක් සිදුවුණ නිසයි. නමුත් දැන් සුදුම සුදු වෙලා කතා කරනවා නම් ඒක ඉතින් සාද‌ාචාරාත්මකද කියන එක එයාලගෙම හෘද සාක්ෂියේ ප්‍රශ්නයක්. දේශීය ක්‍රිකට් පිටියේ පානදුරට යම් ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒකට තහනමක් පනවා තිබෙන්නෙ. මේක එක කොණකින් අරගෙන සමස්ත ව්‍යුහය දිහා බලන්න එපා. යමෙකු වැරදි නම් ඊට නීතියෙන් දඬුවම් ක්‍රියාත්මක වේවි.  


තිලංග ඔබ පැවසූ පරිදි ක්‍රිකට් පරිපාලනය වෙතින් ඔබ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ පල නෙලා දී ඇති වග පෙනෙනවා. නමුත් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා වෙතින් ඔබට නිතරම ප්‍රහාර එන්නෙ ඇයි?  


ඕක මහත්තයෝ බොහෝදෙනෙක් කියන කතාවක් නෙවෙයි. සුළු පිරිසක් කරන දෙයක්. ඕක ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය ලබාගැනීමට තිබෙන සටනක් මිසක, ක්‍රිකට් වෙනුවෙන් කරන අරගලයක් නෙවෙයි. මම මේ ක්ෂේත්‍රයට ආවේ (පරිපාලන) 95 දීයි. ප්‍රජාතන්ත්‍රවාදීව මිසක වෙනත් ක්‍රමයකින් ආවෙ නැහැනෙ. ඇවිත් එද‌ා සිට මා කළ සේවය සසඳ‌ා බලන්න. වචනවලට වඩා ඒවා මොන තරම් ප්‍රායෝගිකද කියා බලන්න. පරාජය සද‌ාකාලික නැහැ. ජයග්‍රහණත් සද‌ාකාලික නැහැ. ජයග්‍රහණයේ මාවත වෙනුවෙන් තමයි අපි මේ මහන්සි වෙන්නෙ.

 

 

 

 

 

 

 

 

 

 

සාකච්ඡාව  
සඳුන් ගමගේ