මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව තවමත් අවසාන විසඳුමකට පැමිණ නැත. ඒ අතර ඉකුත් 17 වැනි දින නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරාදීමද සිදුවිය. ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරන්නේ එම පියවර සයිටම් අර්බුදය විසඳීම සඳහා ගත් සාධනීය ක්‍රියාමාර්ගයක් හැටියටය. 

 


කෙසේ වෙතත් ශිෂ්‍ය ව්‍යාපාරය පවසන්නේ සයිටම් ආයතනය වසා දැමීමෙන් තොර ඉන් මෙහා විසඳුමක් මේ ප්‍රශ්නයට නොමැති බවය. ඒ පිළිබඳවත් සයිටම් අර්බුදය නිසා පැන නැගී ඇති වෙනත් අධ්‍යාපනික ප්‍රශ්න පිළිබඳවත් මෙවර සරසවි සිසු හඬෙන් හඬ අවදි කිරීමට එක්වන්නේ රාගම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන කවින්දිකා රන්සරනි දිසානායක ශිෂ්‍යාවය.  

 

 
ප්‍රශ්නය:- සයිටම් ප්‍රශ්නය විසඳීමට අද‌ාළව විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් සමහර ඒවා ක්‍රියාත්මක වෙන බවකුත් දකින්න ලැබෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට මේවා ගැන දරන ස්ථාවරය මොකක්ද?  

පිළිතුර:- සයිටම් එක පටන් ගත්ත දවසෙ ඉඳලම ඒක අහෝසි කරන්න ඕන කියන ස්ථාවරයෙ ශිෂ්‍ය ව්‍යාපාරය හිටියා. අපි අදටත් ඒ ස්ථාවරයේම ඉන්නවා. නමුත් මේ ප්‍රශ්නය සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය ගත්තොත් එකවෙලාවක කිව්වා මේක කොටස් වෙළෙඳපොළේ ද‌ාන්න ඕන කියලා. මේ වෙනකොට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අරගෙන තියෙනවා. 

  
ප්‍රශ්නය:- නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට ගත්ත තීරණය මේ සයිටම් අර්බුදය විසඳීම සඳහා ගත් සාධනීය ක්‍රියාමාර්ගයක් හැටියට සමහර පාර්ශ්ව අදහස් දක්වනවා. ශිෂ්‍ය ව්‍යාපාරය මේ ගැන දරන අදහස මොකක්ද?  

පිළිතුර:- අපේ පදනම වෙන්නෙ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය. මේ දෙක සුරැකීම අපේ උරමත තියෙන වගකීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ. ඒ නිසා අපි කියන්නෙ සයිටම් ආයතනය අහෝසි කිරීමෙන් තොරව මේ සටනෙ කෙළවරක් නෑ කියලා.  
 

ප්‍රශ්නය:- නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසත් තහවුරු විය යුතුයි යන තර්කය මෙතනදී ඉදිරිපත් වෙනවා. ඒ ගැන අදහස මොකක්ද?  

පිළිතුර:- රටේ ඉන්න හැම ළමයෙකුටම අධ්‍යාපන අවස්ථා හදන එක රජයේ වගකීමක්. ඒක පැහැර හැරලා තියෙන නිසා තමයි පෞද්ගලික අධ්‍යාපනයට යොමුවෙන්න ඉඩ හැදිලා තියෙන්නෙ.  

 

 

ප්‍රශ්නය:- මේ සයිටම් අර්බුදය විසඳන්න නම් ඒ ආයතනය ජනසතු කිරීමෙන් මෙහා විසඳුමක් නෑ කියලද ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නෙ?  

පිළිතුර:- ඔව්.  

 

ප්‍රශ්නය:- ඉහත තර්කයට අද‌ාළව මතුකරන තව කාරණයක් තමයි ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට ලියන ශිෂ්‍යයන්ගෙන් සියයට ද‌ාහතක පිරිසකට පමණක් වෛද්‍ය විද්‍යා පීඨවලට ඇතුළත්වීම සඳහා වරම් ලැබෙන තත්ත්වයක ඉතිරි සීයට අසූ තුනක පිරිස සඳහාද වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය හැදෑරීම සඳහා රටේ අවස්ථා ඇති කළ යුතුයි කියන එක. මෙහි සාධාරණත්වයක් නැද්ද?  

පිළිතුර:- අපි කියන්නෙත් ඒකමයි. උසස් අධ්‍යාපනය සඳහා තියෙන අවස්ථා වැඩි කළ යුතුයි. ඒකට තියෙන විසඳුම සල්ලි තියෙන අය මේවට බඳවා ගන්න එක නෙවෙයිනෙ. සයිටම් ආයතනය ජනසතු කළාට පස්සෙ උසස් පෙළ කඩයිම් ලකුණුවලින් විශ්වවිද්‍යාල වරම් අහිමි වෙන ළමයින්ට මේකට එන්න අවස්ථාවක් තිබිය යුතුයි කියලයි අපි විශ්වාස කරන්නෙ. වෛද්‍ය විද්‍යාව හද‌ාරන්න ඇත්ත සුදුසුකම් තියෙන ළමයින්ට ඒ සඳහා අවස්ථාවක් දෙන්නයි සයිටම් ආයතනය ජනසතු කළ යුත්තෙ.   

 

ප්‍රශ්නය:- මේ සයිටම් විරෝධී අරගලයේදී සමහර දේශපාලන පක්ෂවල සහ වෘත්තික සංගම්වල අතකොළුවක් බවට ශිෂ්‍ය ව්‍යාපාරය පත් වෙලා තිබෙන බවටත් ප්‍රබල චෝදනාවක් නැගෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?  

පිළිතුර:- ඒක ඉස්සර ඉඳන්ම තිබුණු එකක්. සමාජ අසාධාරණයට විරුද්ධව කතා කරන පුද්ගලයන් පවා එහෙම දේවල් කියනවනෙ. ශිෂ්‍ය ව්‍යාපාරයට ඒකෙ ආරම්භයේ ඉඳලම මේ වගේ චෝදනාවලට ලක්වෙන්න සිද්ධ වුණා.  

 

ප්‍රශ්නය:- මේ සයිටම් විරෝධී අරගලයෙදී ශිෂ්‍ය ව්‍යාපාරය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් කටයුතු කරනවා. ඒ සංගමය කලින් යොද‌ාගත් සමහර වැඩවර්ජන ආණ්ඩුවේ ප්‍රධානීන් සමග කරපු සාකච්ඡාවලින් පස්සෙ අතඇරපු අවස්ථාත් අපි දැක්කා. මේ අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කිරීම සඳහා වෛද්‍ය සංගමයෙ සහාය අඛණ්ඩව ශිෂ්‍ය ව්‍යාපාරයට ලැබෙයි කියලා විශ්වාසද?   

පිළිතුර:- සයිටම් අහෝසි කිරීමේ සටනෙදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙ ස්ථාවරයත් අපේ ස්ථාවරයමයි. ඒ නිසා මේ අරගලය ජයග්‍රණය කරන තෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙ සහාය අපිට ලැබෙයි කියලා විශ්වාස කරනවා.  

 

ප්‍රශ්නය:- ෙවෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා හරි හරියට නිදහස් අධ්‍යාපන අයිතිය ගැන කතා කළාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ උපාධි කාලසීමාව අවුරුදු හතරක් කරනවට විරුද්ධ වුණ ඉතිහාසයකුත් තිබුණා. එවැනි පසුබිමක මේ නැගෙන නිදහස් අධ්‍යාපනය පිළිබඳ හඬ සැබෑ හඬක්ද කියන ප්‍රශ්නය සමහර පාර්ශ්ව මතු කරනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?  

පිළිතුර:- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙ අදහස සයිටම් අහෝසි කළ යුතුයි කියන එක. ඒක නිදහස් අධ්‍යාපනයද කියන එක ඒගොල්ලො හරියටම කියලා නෑ මම හිතන්නෙ. ඒ කියන්නෙ ඒ අය මේකට මැදිහත් වෙන්නෙ ජනතාවගෙ සෞඛ්‍ය පැත්තෙන් හිතලනෙ. ඒගොල්ලොන්ගෙ ස්ථාවරයත් එක්ක තමයි ඒ අය මේ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්නෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙයි ශිෂ්‍ය ව්‍යාපාරයෙයි මතවාද දෙකක් තිබුණට මේ සයිටම් සම්බන්ධ ප්‍රශ්නෙදි අපි දෙගොල්ලන්ටම තියෙන්නෙ එක මතවාදයක්.  

 

ප්‍රශ්නය:- මේ සයිටම් විරෝධී අරගලය නිසා රජයේ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල අධ්‍යාපන කටයුතු ඇනහිට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. රාගම වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතුවල තත්ත්වය මොන වගේද?   

පිළිතුර:- මාස හයකට වැඩි කාලයක් තිස්සෙ අපි අඛණ්ඩ පන්ති වර්ජනයක ඉන්නෙ. ඒකට රජයේ නිසි අවධානය යොමු කරලා නෑ. දැනටම අනාගත වෛද්‍යවරු බිහිවෙන එක ප්‍රමාද වෙලා තියෙන්නෙ.   

 

ප්‍රශ්නය:- රාගම වෛද්‍ය පීඨයත් ශිෂ්‍ය අරගලයකින් පස්සෙ ආණ්ඩුවට පවරා ගත්ත එකක්. වර්තමානය වනවිට රාගම වෛද්‍ය පීඨයට විතරක් අනන්‍ය වුණ ප්‍රශ්න අඩුපාඩු තියෙනවද?  

පිළිතුර:- මම ඉගෙන ගන්නෙ රාගම වෛද්‍ය පීඨයෙ හතරවන අවුරුද්දෙ. රාගම වෛද්‍ය පීඨය ආණ්ඩුවට පවරා ගත්තට පස්සෙ මේකෙන් සෑහෙන වෛද්‍යවරු පිරිසක් බිහි වෙලා තියෙනවා. ආචාර්ය හිඟය ගත්තොත් ඒක රටේ මුළු විශ්වවිද්‍යාල පද්ධතියටම මුහුණපාන්න වෙලා තියෙන ප්‍රශ්නයක්. මේ ළඟදී උසස් අධ්‍යාපන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා රාගම වෛද්‍ය පීඨයෙ ආචාර්ය මණ්ඩලයෙ පුරප්පාඩු 19ක් තියෙනවා කියලා. වෛද්‍ය පීඨ ගත්තොත් රජරට, නැගෙනහිර විශ්වවිද්‍යාලවල තියෙන වෛද්‍ය පීඨවල ආචාර්ය හිඟය මීට වඩා දරුණුවට තියෙනවා.  

 

ප්‍රශ්නය:- මේ ප්‍රශ්න ගැන ශිෂ්‍ය සංගම් කතා කරනවද?  

පිළිතුර:- පුරප්පාඩු තිබුණට ඒවට පත් කිරීමට සුදුසු බුද්ධි මට්ටම් සහිත අය ලංකාවෙ නෑ. ඒකයි ප්‍රශ්නය.  

 

ප්‍රශ්නය:- වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය නිසි පරිදි පිළියෙල නොවී තිබුණු නිසා සයිටම් ප්‍රශ්නය මේ තරම් දුරදිග ගිය බවටත් ඇතැමුන් මත පළ කරනවා. මෙතන ඒ විදියෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා ශිෂ්‍ය ව්‍යාපාරය හිතනවද?  

පිළිතුර:- අවම ප්‍රමිතියක් එක්ක අනිත් පැත්තෙන් එන්නෙ පෞද්ගලීකරණයමයි. සයිටම් කියන්නෙ ප්‍රෝඩාකාරී ආයතනයක්. එතන වෙලා තියෙන දූෂණ වංචා බැලුවම අවම ප්‍රමිතියක් දීලා මේකට විසඳුමක් දෙන්න පුළුවන් කියලා අපි හිතන්නෙ නෑ. සයිටම් අහෝසි කරන්න ඕන කියන තැනට අපි එන්නෙත් ඒ නිසයි.  

 

සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ  

 

 

රාගම වෛද්‍ය පීඨයේ අවසන් වසර ශිෂ්‍යා කවින්දිකා රන්සරනි දිසානායක